ඩෙංගු මඬින සංග්‍රාමයේ
ග්‍රාම සංවර්ධන ප්‍රජා දායකත්වය

"ඩෙංගු" මහා ජාතික උවදුරක්‌ බවට පත්ව තිබේ. ඩෙංගු වසංගතයක්‌ ලෙස මෙසේ හිස එස වූ තවත් කාලයක්‌ නැත. එය මොනවාට පසක්‌ කරමින් ගත වූ මාස හය හමාරක කාලය තුළ දිවයිනෙන් මරණ 272 ක්‌ වාර්තා වී තිබේ. එසේම මෙම කාලය තුළ ඩෙංගු රෝගීන්a 91,000 (අනූ එක්‌ දහසක්‌) වාර්තා වීම මේ වසංගතයේa බරපතලකම කියාපායි. මේ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවත්, එනම් රෝගීන් 38,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ බස්‌නාහිර පළාතෙනි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කරන පරිදි ගෙවී ගිය දෙසතිය තුළ ඩෙංගු කීටයන් බෝවී සිටි ස්‌ථාන ලක්‌ෂ දෙකක්‌ පමණ හඳුනාගෙන තිබේ. මෙසේ ඩෙංගු වසංගතයක්‌ ලෙස පැතිර යැමට නිශ්චිත එක්‌ හේතුවක්‌ හඳුනාගෙන නැත. නමුත් බස්‌නාහිර පළාතේ කසළ ප්‍රශ්නය, අක්‍රමවත් කසළ බැහැර කිරීම, නිවාස, පාසලA ආශ්‍රිත අපිරිසිදු බව, වර්ෂාව පැවතීම යනාදී ප්‍රධාන හේතු සාධක රැසක්‌ම පවතී. ඒ නිසා ඩෙංගු මදුරුවන් හා අනෙකුත් මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන වනසා දැමීමත් පරිසරය පිරිසිදුව තබා ගැනීමත් මේ වසංගතයෙන් ගැලවීමට හොඳම විසඳුම ලෙස යෝජනා කරනු ලබයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රජා දායකත්වයෙන් ශ්‍රමදාන සංවිධානය කර, පිරිසිදු කිරීමේ කටයුතු ලහි ලහියේ හා වේගවත්ව සිදුකරමින් පවතී.

මේ සඳහා ජාතික ඩෙංගු මර්දන දිනයක්‌ද ප්‍රකාශයට පත් කරන ලද අතර, සෞඛ්‍ය අංශ, පොලිසිය, හමුදාව, ප්‍රජාව දායක කර ගනිමින් ඩෙංගු අවම කර ගැනීමේ මෙහෙයුම් හා ශ්‍රමදාන ක්‍රියාවට නඟන අතර, ඩෙංගු කීටයන් වාර්තා වන නිවාස හිමියන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමද සිදුකෙරේ.

බස්‌නාහිර පළාතට මුල්තැනක්‌ දෙමින් පැවැත්වෙන මෙවන් ඩෙංගු මර්දන වැඩසටහන්වල කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු මර්දනයට විශේෂ අවධානයක්‌ යොමුව පවතී. ඒ මීගමුව, ගම්පහ අවට ප්‍රදේශවලින්ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන නිසාය. මේ නිසා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු මර්දනය සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම හා පරිසරය පිරිසිදුකරන කසළ කළමනාකරණය සහ ශ්‍රමදාන ව්‍යාපාර දිනපතාම පාහේ සිදුකෙරේ. එවන් ශ්‍රමදාන මාලාවක්‌ නිරීක්‌ෂණය කිරීම සඳහා පසුගියදා අපද එක්‌වූයේ විශේෂයෙන්ම රාජ්‍ය අංශ සමඟ බස්‌නාහිර පළාත් ග්‍රාම සංවර්ධන ප්‍රජා පාදක සංවිධාන දක්‌වන අති විශාල දායකත්වයද මේ සඳහා යොදවා ගන්නා නිසාය.

අපගේ නිරීක්‌ෂණ සංචාරයට ලක්‌වූ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ දින ගණනාවක සිට මේ දක්‌වා තවදුරටත් ක්‍රියාත්මක ශ්‍රමදාන ව්‍යාපාරය බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය මුල්කරගෙනය. ඒ නිසා මෙම නිරීක්‌ෂණය සඳහා බස්‌නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂවරයා, ගුණපාල පතිරණ මහතා විශේෂ නිරීක්‌ෂයකු වශයෙන් මේ සඳහා සහභාගි විය. එසේම අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. රත්නායක මහතාගේ පූර්ණ අධීක්‌ෂණයෙන් සිදුකරනු ලබන මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාද සහභාගි වූ අතර, මේ සඳහා තවත් වැඩි වැඩ කොටසක්‌ කරනු ලබන්නේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසිනි. ඒ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සහභාගිත්වය, මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේද සහයෝගය ලබාදෙමිනි. ඒ අනුව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමීර අබේසිංහ මහතාද සහභාගි වූ අතර, අත්තනගල්ල ග්‍රාම සංවර්ධන නිලධාරි විඡේකෝන් අත්තනගල්ල ග්‍රාම සංවර්ධන බල මණ්‌ඩල සභාපති තිස්‌ස වික්‍රමසිංහ, ලේකම් සමරකෝන් යන අයද මෙම නිරීක්‌ෂණ චාරිකාවට එක්‌වූහ. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවද මීට සක්‍රීයව දායක වේ.

ඩෙංගු ශ්‍රමදාන නිරීක්‌ෂණ චාරිකාව අප ආරම්භ කරන ලද්දේ නිට්‌ටඹුව - වලව්වත්ත, හොරගොල්ල හා හොරගොල්ල වත්ත, ජනවසම වත්ත, කන්ද හේනවත්ත යන ගම්මානවලිනි. මෙම ප්‍රදේශවල ග්‍රාම සංවර්ධන සමිතිවල ප්‍රජා දායකත්වයෙන් ආරම්භ කර තිබූ ශ්‍රමදාන සඳහා පොලිසිය සහ යුද හමුදාවද පූර්ණ දායකත්වය ලබා දී තිබූ අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පිරිස්‌ද ඒ සඳහා එක්‌ව සිටියහ.

දැවැන්ත ශ්‍රමදාන මට්‌ටමෙන් පැවැත් වූ මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන්වලදී විශේෂයෙන්ම නිවාස, කාර්යාල, පාසල්, රජයේ ආයතන, මොන්ටිසෝරි සහ ප්‍රජාශාලා, ගොඩනැඟිලි, වෙළෙඳසැල්, කාණු පද්ධති, ඇළ මාර්ග යනාදිය පරීක්‌ෂාවට බඳුන් කරමින් ඩෙංගු බෝවීමට ඉඩකඩ ඇති ස්‌ථාන අහුරාලීම සිදුකරන අයුරු අපට පැහැදිලි විය. මේ අතරතුර නිරීක්‌ෂණ චාරිකාවට සමගාමීව මඩුවේගෙදර සහ අලවල ප්‍රදේශවල නිවාස නැති දිළිඳු පවුල් දෙකක්‌ සඳහා නිවාස දෙකක්‌ සෑදීමේ මුල්ගල් තැබීමේ අවස්‌ථාවන්ටද පිරිස එක්‌වූහ.

අනතුරුව එළැඹියේ, වල්පොල, හග්ගල්ල සහ හාල්පන්දෙණිය ප්‍රදේශවල දැවැන්ත ඩෙංගු මර්දන ශ්‍රමදාන ව්‍යාපාර දෙකක කටයුතු නිරීක්‌ෂණ සඳහාය. මේ සඳහා ග්‍රාම සංවර්ධන ප්‍රජා සාමාජිකයන් පන්සියයකට වඩා එක්‌ව සිටි අතර, හමුදාව සහ පොලිසියේ පිරිස්‌ද මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු දෙසීයකට වැඩි පිරිසක්‌ද එක්‌ව සිටියහ. අත්තනගල්ල ග්‍රාම සංවර්ධන බලමණ්‌ඩලයේ සභාපති තිස්‌ස වික්‍රමසිංහ මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ශ්‍රමදාන ව්‍යාපාරයට තරුණ කණ්‌ඩායම්වල දායකත්වය සුවිශේෂයෙන් කැපී පෙණිනි.

එසේම අත්තනගල්ල ග්‍රාම සංවර්ධන බලමණ්‌aඩලයේ ලේකම් සමරකෝන් මහතාගේ නායකත්වයෙන් සිදුකෙරුණු කන්දහේනවත්ත හා හොරගොල්ලවත්ත ශ්‍රමදාන ව්‍යාපාරයද, වලව්වත්ත "අරුණලු" ග්‍රාම සංවර්ධන සමිතියේ දායකත්වයෙන් සිදුකෙරුණු වලව්වත්ත හා හොරගොල්ල ජනවසම ශ්‍රමදාන ව්‍යාපාරය සහ ඩෙංගු මර්දන වැඩසටහන්ද කැපී පෙනුණු වැඩසටහන් අතරට ගැණිනි. තවත් ඩෙංගු මර්දන වැඩසටහන් රාශියක්‌ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පුරා පැවති අතර, මේ සෑම ව්‍යාපාරයකදීම කැපී පෙනුණු වැදගත්කම වූයේ මෙතෙක්‌ අනිසි භාවිතය මත නිවාස, පාසල්, වෙළෙඳසැල් තුළ ගොඩගැසී පැවතුණු ඩෙංගු ව්‍යාප්තියට හේතු වූ ප්ලාස්‌ටික්‌, පොලිතින්, යකඩ, බෙලෙක්‌ක හා වීදුරු බෝතල් යනාදිය වෙන් වෙන් වශයෙන් එකතු කර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව වෙත භාරදීමය. ඒ අනුව ප්‍රධාන කාණ්‌aaඩ හතරක්‌ යටතේ පොලිතින් - ප්ලාස්‌ටික්‌, යකඩ හා බෙලෙක්‌ක, සුදු වීදුරු බෝතල් හා පාට වීදුරු බෝතල් එකතු කරන ලද අතර ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යද වෙන්ව එකතු කරනු ලබයි. මෙසේ ටොන් ගණනාවක්‌ එකතු කරන ලද කසළ වර්ගිsකරණය කර අදාළ ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත භාරදීමට කටයුතු කරන බව අත්තනගල්ල ග්‍රාම සංවර්ධන නිලධාරි යූ.කේ. විඡේකෝන් මහතා ප්‍රකාශ කළේය. මෙසේ ප්‍රදේශයෙන් ඉවත් වන නොදිරන කසළ හේතුවෙන් පරිසරය ඩෙංගු සතුරාගෙන් ව්‍යqක්‌ත වන අතර, ඇළ වේළි ශුද්ධ පවිත්‍ර කර, මාර්ග දෙපස පවිත්‍ර කිරීමෙන් ඩෙංගු වසංගතය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි නිලධාරීහු මෙහිදී පැවසීය. හාල්පන්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. රත්නායක සහ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමීර අබේසිංහ යන මහත්වරු පැවසූහ. මෙහිදී අදහස්‌ දැක්‌වූ බස්‌නාහිර පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්‌ෂ ගුණපාල පතිරණ මහතා සඳහන් කළේ ඩෙංගු වසංගතයක්‌ මෙන් පැතිරී යන මෙවන් මොහොතක ග්‍රාම සංවර්ධන ප්‍රජා සංවිධාන ව්‍යාපාරය මඟින් එය මැඬලෙන්නට ශ්‍රමදාන පදනමින් දක්‌වන දායකත්වය සුවිශේෂ බවත් එම දායකත්වය අගය කළ යුතු බවත්ය. බස්‌නාහිර පළාත තුළ මෙම ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ශක්‌තිමත් ලෙසම ක්‍රියාත්මක වන අත්තනගල්ල ආසනය තුළ ඕනෑම ප්‍රජා කටයුත්තකට මෙම ව්‍යාපාරයේ දායකත්වය ලබාදිය හැකි ශක්‌තිමත් මට්‌ටමක පවතින බවද ගුණපාල පතිරණ මහතා මෙහිදී පැවසීය.

සැබැවින්ම ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළත් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළත් මේ දිනවල ඩෙංගු මර්දන වැඩසටහන උපරිම මට්‌ටමින් ක්‍රියාවට නැඟේ. ඒ තුළ විශේෂත්වය වන්නේ මෙතෙක්‌ මිශ්‍ර කොට පරිසරයට මුදාහල දිරන - නොදිරන කසළ වෙනුවට ඒවා තෝරා බේරා දිරන කසළ තමන් විසින්ම බැහැරලීමට කටයුතු කරගැනීමත් දිරන කසළ තවදුරටත් වෙන්කර අදාළ අංශයන්ට ලබාදීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන්ය. මේ වන විට ජනතාව සතුව තිබූ නොදිරන කසළ ටොන් ගණනාවක්‌ ඩෙංගු මර්දන වැඩසටහන වෙත ලබා දී ඇති බවද, ඒවා තවදුරටත් වෙන්කර අදාළ ප්‍රතිචක්‍රීයකරණ ආයතන වෙත භාරදී ඉදිරියේදී ප්‍රාදේශීය සභාවට හා ප්‍රජා පාදක සංවිධානවලට ආදායමක්‌ ලබාගත හැකි පරිදි කටයුතු සංවිධානය කරන බවද මෙහිදී ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. රත්නායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

සටහන/ ඡායාරූප -
ජගත් කණහැරආරච්චි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.