මිනීමැරුම් චෝදනාවක්‌ ඇතුළු
තවත් චෝදනා 06 කට වරදකරු වෙයි
කුරුණෑගල හිටපු සභාපති
වසර 10 ක්‌ සිරගෙට

සොයුරාටත් එම දඬුවමම නියම කරයි

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

මිනීමැරුම් චෝදනාවක්‌ ඇතුළු තවත් චෝදනා 06 කට වරදකරුවන් වූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (එ. ජ. නි. ස.) පැටි්‍රක්‌ කරුණාසිංහ සහ ඔහුගේ සොයුරු ප්‍රියන්ත කරුණාසිංහ යන දෙදෙනාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය විසින් ඊයේ (17 දා) වසර 10 ක සිරදඬුවමක්‌ නියම කරන ලදී.

1999 වසරේ දෙසැම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මාවතගම මැතිවරණ කොට්‌ඨාසයේ මහව ප්‍රදේශයේ පැවති එ. ජා. ප. රැස්‌වීමකට වෙඩිතබා එ. ජා. ප. ආධාරකරුවන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුවේදී විත්තිකරුවන් චෝදනා 6 ක්‌ යටතේ වරදකරුවන් බවට ප්‍රකාශ කිරීමෙන් පසු සිරදඬුවමට අමතරව එක්‌ චෝදනාවකට රුපියල් 10,000 බැගින් රුපියල් 60,000 ක දඩයක්‌ ගෙවන ලෙස ද එම දඩ මුදල් නොගෙවන්නේ නම් එක්‌ චෝදනාවකට මාස 03 බැගින් තවත් මාස 18 ක කාලයක්‌ සිරදඬුවම දීර්ඝ කරන බව ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

මෙම නඩු විභාගයේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ලහිරු ජයමාන්න මහතා ද විත්තිය වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.