ඉන්දියාවේ හිරේ ඉඳන්
අංගොඩ ලොක්‌කා පුරුදු 'ගේමට' බසී

කොළඹ ව්‍යාපාරිකයින්ගෙන්
ලක්‍ෂ ගණන් කප්පම් ඉල්ලයි


හේමන්ත රන්දුණු

පාතාල නායක අංගොඩ ලොක්‌කා ඉන්දියාවේ සිරකඳවුරක සිට කොළඹ ධනවත් ව්‍යාපාරිකයන්ට දුරකථන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් ලක්‌ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට පටන්ගෙන ඇති බව පරීක්‌ෂණවලින් හෙළි වී තිබේ.

අංගොඩ ලොක්‌කාට කප්පම් නොදුන් මුල්ලේරියාව නව නගරයේ ව්‍යපාරිකයකුට අයත් ව්‍යාපාරික ස්‌ථානයකට ඉකුත් 13 වැනිදා පාතාල කල්ලියක්‌ විසින් වෙඩි තබා තිබිණි. මෙම වෙඩි තැබීම කර තිබුණේ අංගොඩ ලොක්‌කාට මෙම ව්‍යාපාරිකයන් රුපියල් ලක්‌ෂ 25 ක්‌ නොදුන් නිසයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ ප්‍රබලයකු වන පෙතියාගොඩ සංඛ නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා 16 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

කළුතර බන්ධනාගාර බස්‌ රථයට ප්‍රහාර එල්ල කර රණාලේ සමයා නමැති පාතාල නායකයා ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අංගොඩ ලොක්‌කා ඉන්දියාවට පලා ගියේය.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්‌ උපයෝගී කරගෙන ඩුබායි බලා යැමට උත්සාහ කරද්දී අංගොඩ ලොක්‌කා ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදීය.

ඉන්දීය පොලිසිය මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර සිටී.

බන්ධනාගාර ගත කිරීමෙන් පසු අංගොඩ ලොක්‌කා කොළඹ ව්‍යාපාරිකයන්ට දුරකථනයෙන් අමතා මරණ තර්ජනය කරමින් රුපියල් ලක්‌ෂ ගණනින් කප්පම් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇත.

කප්පම් නොදෙන ව්‍යාපාරිකයන්ට ඔහු සිය ගෝලබාලයන් යොදවා විවිධ හිරිහැර කිරීමට පටන්ගෙන ඇති බවද වාර්තා වෙයි.

මුල්ලේරියාවේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් පාතාල සාමාජිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‌ෂක පද්මලාල් ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.