තිස්‌සට එරෙහි නඩුවේ සාක්‍ෂියට
ජනපතිට - අගමැතිට
තෙවැනි වරටත් සිතාසි


ඒ. ඡේ. ඒ. අබේනායක

එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන්, සාක්‍ෂි ලබාදීම සඳහා ලබන දෙසැම්බර් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට නැවත සිතාසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (17 දා) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා දෙවැනි සාක්‍ෂිකාර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙර අවස්‌ථා දෙකකදී අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබූ නමුත් එකී සිතාසි අනුව පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරුවරයා එලෙස නැවත සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

එම සාක්‍ෂිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්‌කාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් රාජකාරිමය හේතූන් මත ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් ඒ සඳහා වෙනත් දිනයක්‌ ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම සාක්‍ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටින උගත් ජනාධිපති නීතිඥ මහතා ඉදිරි දිනයේදී ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ වගකීම භාරගන්නේ නැතිනම් ඔවුනට නැවත සිතාසි නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ බව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් දෙදෙනාට දැනුම්දීමේ වගකීම තමාට භාරගත හැකි නමුත් ඔවුන් නිශ්චිතවම අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම තමාට භාරගත නොහැකි බව එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. එම කරුණු සලකා බැලූ අධිකරණය එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 12 වැනිදා දක්‌වා පැවැත්වීමට දින නියම කර එම සාක්‍ෂිකරුවන් අධිකරණයට කැඳවීම සඳහා ඊයේත් සිතාසි නිකුත් කිරීමට නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කූට ලේඛනයක්‌ ඉදිරිපත් කර 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හා එවකට විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස්‌ ගිවිසුමක්‌ ඇති බවට කරුණු අනාවරණය කිරීම ඇතුළු අධිචෝදනා තුනක්‌ යටතේ නීතිපතිවරයා විසින් තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා ඇතුළු නීතිඥමණ්‌ඩලයක්‌ පෙනී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.