හදිසි මුදල් අවශ්‍යතාවක්‌ ඇතැයි මුදල්
ඇමැති හෝ ලේකම් දැනුම් දුන්නේ නෑ
මහා භාණ්‌ඩාගාරයේ නි. ලේකම්
බැඳුම්කර කොමිසම හමුවේ කියයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන, ඡායාරූපය පිංතූරය - නිමල් දයාරත්න

රජයේ මුදල් අවශ්‍යතාවය පිළිබඳ මුදල් ඇමැතිවරයා විසින් කෙළින්ම මහ බැංකු අධිපතිවරයාට ලිපියක්‌ ලියමින් දැනුම් දුන් අවස්‌ථාවක්‌ තම දැනුමට අනුව මින් පෙර සිදුවී නැතැයි මහා භාණ්‌ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්‌. ආර්. ආටිගල මහතා ඊයේ (17 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආටිගල මහතා මේ බව කීවේය.

එසේම 2015.02.27 දිනට පෙර හෝ 2015 පෙබරවාරි මස අගදී හෝ රජයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයට අමතරව හදිසි මුදල් අවශ්‍යතාවක්‌ ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ මුදල් ඇමැතිවරයා තමාට දැනුම් දීමක්‌ නොකළ බවද ආටිගල මහතා කොමිසමට කීවේය.

රජයේ වෙනත් දෙපාර්තමේන්තුවක්‌ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක්‌ විසින් හෝ එවැනි හදිසි අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති බව දැනුම් දුන් බවක්‌ තමාට මතක නැති බවද ආටිගල මහතා කීවේය.

එවැනි අතිරේක මුදල් අවශ්‍යතාවක්‌ තිබුණේ නම් එය රජයේ අරමුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දැක්‌විය යුතු බවද එය හැම විටම මහා භාණ්‌ඩාගාරය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලිතව දන්වන බවද එය සාමාන්‍යයෙන් සිදුවන සම්මත ක්‍රමය බවද එස්‌. ආර්. ආටිගල මහතා තවදුරටත් කොමිසමට කීවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මියගේ මෙහෙයවීමෙන් මහා භාණ්‌ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්‌. ආර්. ආටිගල මහතා සාක්‌ෂි දුන්නේය.

මීට පෙර මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් (හිටපු) මුදල් ඇමැති රවි කරුණානායක මහතා අත්සන් කර රු. බිලියන 75 ක අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති බව කියමින් මහ බැංකු අධිපතිවරයාට දාතමක්‌ රහිතව යවන ලදැයි කියන ලිපියක්‌ කොමිසමට ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය කොමිසමේ ලේඛනයක්‌ ලෙසද සලකුණු කරනු ලැබිණි.

කොමිසම යළි අද (18 දා) උදේ 10.00 ට රැස්‌ වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.