ජනපති ප්‍රධානත්වයෙන් නෙවිල්
ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනේ


කුෂාන් සුබසිංහ - ඔරුවල, සරත් ද සිල්වා

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී ඊයේ (17 වැනිදා) පෙරවරුවේ සිදුකෙරිණි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ඉදිරියේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස මහතා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

ඒ අනුව අගෝස්‌තු මස පළමු වැනිදා සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක්‌ ලෙස ක්‍රියාත්මක වන අතර වර්ග අඩි එක්‌ලක්‍ෂ අසූදහස්‌ හයසියයක (1,80,600) ක පරිශ්‍රයක්‌ පුරා ඇති එම රෝහල මහල් 4 කින් යුත් ගොඩනැඟිල්ලකින් සහ මහල් 8 කින් යුතු ගොඩනැඟිලි දෙකකින් සමන්විත වේ.

විශේෂඥ වෛද්‍යවරු 44 ක්‌ සහ තවත් වෛද්‍යවරු 70 දෙනෙක්‌ පමණ එම රෝහලේ සේවය කරති. රෝහල රජයට පවරා ගැනීමේ අවස්‌ථාවට මහා මාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති µයිසාල් කාසීම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගිවී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.