ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩ ඉල්ලන
සංදේශය අද කැබිනට්‌ හමුවට


රනිල් ධර්මසේන

මේ වන විට රට පුරා තහනමට ලක්‌ව ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශකය, සීමිත තත්ත්ව යටතේ යළි භාවිතා කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කර ඇති විශේෂ සංදේශය අද (18 දා) ඇමැති මණ්‌ඩලය හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම සංදේශය ඉකුත් 07 වැනිදා අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ 'දිවයින'ට පැවසූහ.

ජනතාව අතර වකුගඩු ආබාධ හා පිළිකා වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හා දැඩි පරිසර හානියට ග්ලයිෆොසෙට්‌ වල්නාශක භාවිතය හේතු වන බවට ඇති වූ දැඩි විරෝධය හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේදී මෙම වල්නාශකය ආනයනය කිරීම, විකිණීම හා භාවිතය තහනම් කරන ලදී.

යළි ග්ලයිෆොසෙට්‌ ආනයනය කිරීමට අදාළ කැබිනට්‌ සංදේශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල කමිටුවට හෝ ඉදිරිපත් නොකර සෘජුවම ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද මෙම තත්ත්වය දැඩි ගැටලුසහගත බවද උන්වහන්සේ සඳහන් කළහ.

ග්ලයිෆොසෙට්‌ තහනමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට මීට පෙර පත් කළ රජයේ වල්නාශක හා පලිබෝධ නාශක පිළිබඳ ප්‍රතිපත්තිය යළි සමාලෝචනය කිරීමේ කමිටුව මනා වෘත්තීමය ස්‌වභාවයකින් කටයුතු කර නැති බවද කමිටුව එහි සාමාජිකයන්ට අදහස්‌ දැක්‌වීමට ද සාධාරණ ඉඩක්‌ ලබාදී නැති බවද රතන හිමියෝ පැවසූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.