පළාත් පාලන පනත් කෙටුම්පත
ලබන සතියේ පාර්ලිමේන්තුවට

- ජනාධිපති මෛත්‍රී කියයි

කුෂාන් සුබසිංහ - චමින්ද සිල්වා

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර මැඬලීම සඳහා පළාත් පාලන ආයතනවල සැලසුම් සකස්‌ කිරීම වෙනුවෙන් (17 දා) කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව අමතමිනි.

ආණ්‌ඩුව මැතිවරණ නොපවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්‌ඩුව මැතිවරණ නොපැවැත්වීම නොව පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට අදාළව මීට පෙර සකස්‌ කළ පනතේ තිබූ අක්‍රමිකතාවය සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක්‌ නිර්මාණය වීම බවද ජනාධිපතිවරයා පැවසීය.

කැළි කසළ කළමනාකරණය පිළිබඳ මෙතෙක්‌ කිසිදු රජයකින් ස්‌ථිරසාර වූ විද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවූ බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා දේශපාලන කුහකත්වයෙන් තොරව හෘද සාක්‍ෂියට අනුව සිතන සියලු දෙනා ඒ බව පිළිගතයුතු බවත් මින් ඉදිරියට පත්වන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන අයුරින් රටේ කැළි කසළ ප්‍රශ්නය අවසන් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඒ මහතා කීය.

"තිරසර යුගයක්‌ - පිරිසිදු පුරයක්‌" තේමාව යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.