ඇසළ පෙරහැරට මහනුවර
එන අය ප්‍රවේශම් විය යුතුයි


සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර ප්‍රදේශයේ ඩෙංගු උග්‍ර ලෙස ඉහළ ගොස්‌ තිබෙන බැවින් ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව මේ පිළිබඳ අවධානය දැක්‌විය යුතු යෑයි මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර සංවිධාන කටයුතු සාකච්ඡා කළ රැස්‌වීමකදී ප්‍රකාශ විය.

ජුලි මස ගතවූ මුල් සතිය තුළදී මහනුවර නාගරික සීමාවෙන් ඩෙංගු රෝගීන් 206 ක්‌ වාර්තා වූ බව මහනුවර දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය නිලධාරි ආර්. එම්. වීරබණ්‌ඩාර මහතා සාකච්ඡාවේදී අනාවරණය කළේය.

මෙම වර්ෂය තුළදී මහනුවරින් වාර්තා වූ මුළු ඩෙංගු රෝගී සංඛ්‍යාව 806 ක්‌ වූ නමුත් ජුලි මස මුල් සතියේදී පමණක්‌ 206 ක්‌ වාර්තාවීම දැඩි ලෙස අවධානයට ලක්‌විය යුතු කරුණක්‌ බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වීරබණ්‌ඩාර මහතා පැවසීය.

මෙතෙක්‌ මහනුවර දිස්‌ත්‍රික්‌කය ඩෙංගු රෝගයෙන් එකොළොස්‌වැනි ස්‌ථානයේ සිටි නමුත් දැන් තුන්වැනි ස්‌ථානයට පත්වී සිටින බවද මෙය උග්‍ර තත්ත්වයක්‌ බවද ආර්. එම්. වීරබණ්‌ඩාර මහතා පැවසීය.

ඉදිරි පෙරහැර සමයේ මෙම තත්ත්වය මහනුවර පැවතුණහොත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ යෑයිද ඒ මහතා තවදුරටත් පැවසීය.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතාගේ සහ මහනුවර අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් ඡේ. සී. රණේපුර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේ රැස්‌වීම් ශාලාවේදී සාකච්ඡාව පැවැත්විණ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.