කතරගම ඇසළ පෙරහැර අත ළඟයි
මැණික්‌ ගඟේ මැසි මදුරුවෝ බොහොමයි

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

මේ දිනවල වගකිව යුතු කතරගම රජයේ ආයතනවල නිලධාරීන්ගේ අවධානය කතරගම ඇසළ පෙරහැරට යොමු වුවද, මුළු කතරගමටම ජලය සැපයෙන මැණික්‌ ගඟට සිදුව ඇති පාරිසරික හානිය සම්බන්ධව කිසිදු ආයතනයක අවධානය යොමු වී නොමැත.

කතරගම මැණික්‌ ගඟ තුළ මේ වනවිට කැළි කසළ පිරී මදුරුවන් වැනි කීටයන් පවා බෝවී ඇත.

ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය හා පොලිතින්වලින් මැණික්‌ ගඟේ අංක 01 පාලම අසලත් අංක 02 පාලම අසලත් පිරී පවතින අතර, මැණික්‌ ගඟේ ඉවුරුද පොලිතින්වලින් හා ප්ලාස්‌ටික්‌වලින් පිරී ඇත.

මෙයට අමතරව ගං ඉවුරු තුළ වල් බිහි වී කිසිදු අයකුට දිය නෑමට බැසීමට නොහැකි ලෙස ගං ඉවුරු විවිධ ගස්‌වලින් පිරී පවතී. මැණික්‌ ගඟ අසල කිසිදු ස්‌ථානයක කසළ දැමීමට එකම කසළ බඳුනක්‌වත් නොතැබීම මත කතරගමට පැමිණෙන බැතිමතුන් මේ අයුරින් කැළි කසළ ගඟට මුදාහැර ඇත. මෙම හේතුව මත මැණික්‌ ගඟ අපායක්‌ මෙන් පාරිසරික හානියකට ලක්‌ව ඇත.

කතරගම නගරයත්, පුදබිමේ භූමියත් පිරිසිදු කිරීම පිණිස කතරගම ප්‍රාදේශීය සභාවත්, භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවත් බැඳී සිටින ආයතන වුවත් මැණික්‌ ගඟට සිදුව ඇති හානිය සම්බන්ධ මෙම ආයතනවල ප්‍රධානීන් අවධානය යොමු නොකර අඳ ගොළු බිහිsරන් ලෙස සිටිති.

ලබන (24දා) වැනි දින කතරගම ඇසළ මංගල්‍යය පැවැත්වෙන අතර, දස අතින් එන ජනයා විසින් මෙම මැණික්‌ ගඟේ දිය නෑමටත් ජලය ආහාර පිසීමටත් භාවිතා කරන අතර, මේ වනවිට ගඟේ පවතින අපද්‍රව්‍ය නිසා දිය නා ගන්නා බැතිමතුන් වෙත විවිධ ලෙඩ රෝග බෝවීමට ඉඩ තිබේ. වගකිය යුතු අංශ ඇසළ පෙරහැරට එන බැතිමතුන්ගෙන් මුදල් ඉපයීම සඳහා සැළසුම් සකස්‌ කරමින් සිටින අතර, නිමල දියෙන් බැතිමතුන්ගේ පව් කුණු සෝදා හරිනු ලබන මැණික්‌ ගඟ සම්බන්ධව කිසිදු අයකුගේ අවධානය යොමු නොවීම සම්බන්ධව බැතිමත්තු මවිතය පළ කරති. ඡායාරූපයේ දැක්‌වෙන්නේ කතරගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු මැණික්‌ ගඟ පරීක්‍ෂාවට ලක්‌ කළ අයුරුයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.