සිම්බාබ්වේ දගයන් මට්‌ටු කිරීම
මෙන්ඩිස්‌ සහ මැතිව්ස්‌ගේ කරමත පැටවෙති


අසේල විතාන

සිම්බාබ්වේ සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වාර්තාගත ඉලක්‌කයක්‌ (388) ලුහු බඳිමින් පිති ප්‍රහාරයේ යෙදෙන ශ්‍රී ලංකාව තරගයේ සිව්වැනි දිනට (17 දා) නවතා දමන විට කඩුලු 03 ක්‌ දැවී ලකුණු 170 ක්‌ ලබා සිටියේය. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 218 ක්‌ ලබා ගත යුතුව තිබේ.

පන්දුව තදින් දඟ කැවෙද්දී කඩුල්ලේ රැඳී සිටීමත් ලකුණු ලබා ගැනීමත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක්‌ වෙද්දී කුසල් මෙන්ඩිස්‌ සිව්වැනි ටෙස්‌ට්‌ අර්ධ ශතකය ලබා ගත්තේය. සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් පා ඉන්නේ සිට පිට ඉන්නට පන්දුව දඟ කවමින් මෙන්ඩිස්‌ව මුලාවේ දැමීමට උත්සහයක නිරත විය. එහිදී ස්‌විප් පහරවල් කිහිපයක්‌ම එල්ල කළ මෙන්ඩිස්‌ පාදයේ මස්‌පිඩු පෙරළීමෙන් කිහිප වරක්‌ම වේදනාවට පත්වුවද ඔහුට හිටපු නායකයා වූ මැතිව්ස්‌ සමග ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටන දියත් කිරීමේ භාරදූර කර්තව්‍යයක්‌ කරමත පැටවී තිබේ.

සිව්වැනි ඉනිමේදී අවමය මුළු ලකුණු 650 කට වඩා රැස්‌ කළ පිතිකරුවන් අතර ලොව වැඩිම සාමාන්‍යයක්‌ වාර්තා කරගෙන සිටින ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක්‌ දෙවැනිව සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ තවමත් කඩුල්ලේ රැඳී සිටීම සිම්බාබ්වේට එතරම් සුවදායක නොවන තත්ත්වයක්‌ බවට පත්ව තිබේ. මැතිව්ස්‌ සිව්වැනි ඉනිමේ පිති ප්‍රහාරයේ යෙදුන ඉනිම 17 කදී ලකුණු 680 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 68.00 ක්‌ ලෙස සටහන් වේ. ඒ අතරවාරයේ ඔහු ශතකයක්‌ සහ අර්ධ ශතක හතරක්‌ ලබා ඇත. සිව්වැනි ඉනිමේ ඉහළම සාමාන්‍යයක්‌ රඳවා සිටින ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම 15 කදී මුළු ලකුණු 734 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 73.40 කි.

ඉතිහාසයේ 13 වැනි ටෙස්‌ට්‌ ජය උදුරා ගැනීමට සිහින මවන සිම්බාබ්වේ පිල ඊයේ යවන ලද පන්දු වාර 48 ම දඟ පන්දු යවන්නන්ව භාවිතා කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව කරකවා දැමීමේ සැලසුමක්‌ දියත් කළේය. එහිදී උපුල් තරංග පළමු කඩුල්ල ලෙස ක්‍රීමර්ගේ පාදඟ පන්දුවට හසුවෙද්දී දිමුත් කරුණාරත්න විලියම්ස්‌ගේ පන්දුවක්‌ නිදැල්ලේ යෑවීමට උත්සහ කරද්දී එය අඩියක්‌ පමණ කැරකී ඔහුගේ කඩුල්ල වෙත ඇදී ඒමෙන් පිටියෙන් ඉවත් විය. චන්දිමාල්ගේ මැද ඉන්නෙන් එළියට ක්‍රීමර් දෝලනය කළ පන්දුවට ඉදිරි පාදයේ තට්‌ටු දැමීමට ගොස්‌ ඔහුගේ ඉනිම පන්දු 17 කදී අවසන් විය.

ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්‌ට්‌ තරගයකදී සිව්වැනි ඉනිමේදී කණ්‌ඩායමක්‌ හඹා ගොස්‌ ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ඉකුත් 2015 වසරේදී පකිස්‌තාන් පිල පල්ලකැලේදී කඩුලු 3 ක්‌ දැවී ලබාගත් ලකුණු 382 වේ. මෙම තරගය ජය ගතහොත් වසර 35 ක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේදී ශ්‍රී ලංකාව සිව්වැනි ඉනිමේ හඹා ගොස්‌ ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද සන්තකයට ගනු ලබයි. ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 410 ක්‌ සහ පකිස්‌තානයට එරෙහිව 391 ක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරගයකදී සිව්වැනි ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන්ව තිබේ.

තම මව්බිමේදී ශ්‍රී ලංකාව සිව්වැනි ඉනිමේ හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී කඩුලු 9 කට ලබාගත් ලකුණු 352 ක වේ. මීට අමතරව 1998 දී සිම්බාබ්වේට එරෙහිවද ශ්‍රී ලංකාව එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී ලකුණු 326 ක්‌ හඹා ගොස්‌ ජය ගෙන තිබේ.

පළමු පිතිකරුවන් පස්‌දෙනා ලකුණු 59 ක්‌ තුළදී රාජකාරිය අවසන් කළද ෂිකන්දර් රාසා යෙදුනු ධෛර්යවන්ත පිති ප්‍රහාරය හමුවේ පීඩනයෙන් ගැලවුණු සිම්බාබ්වේ මැද පෙළ පිතිකරුවෝ අවසන් කඩුලු පහට ලකුණු 318 ක්‌ එකතු කර ගනිමින් ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට ඇද දැමූහ. කෙසේ වෙතත් රංගන හේරත් අට වැනි වරටත් ටෙස්‌ට්‌ තරගයකදී කඩුලු දහයක්‌ ලබා ගත් අවස්‌ථාව සටහන් කිරීමට සමත්වෙද්දී ඔහුගේ සමස්‌ත ටෙස්‌ට්‌ කඩුලු සංඛ්‍යාව 384 දක්‌වා ඉහළ ගියේය. හේරත් විසින් මෙම තරගයේදී ලකුණු 249 කට කඩුලු 11 ක්‌ බිඳ දැමුවේය.

පළමු දින හතරේදීම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඊයේ දිනයේ තරගය ආරම්භයට පෙර එක රොත්තට එකතුවී කතිකාවතක නිරත වූහ. එහිදී සිය මංගල ටෙස්‌ට්‌ ශතකය හත්වැනි ටෙස්‌ට්‌ තරගයේදී ලබාගත් ෂිකන්දර් රාසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව වෙහෙසට පත්කරමින් පන්දු 205 කදී හතරේ පහර නවයකින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසා ගත්තේය. ඔහු හේරත්ගේ පන්දුවකට රිවර් ස්‌විප් පහරක්‌ ගැසීමට ගොස්‌ පිටියෙන් ඉවත් වන විට පීටර් මූර් සහ මැල්කම් වෝලර් සමග අර්ධ ශතක සබඳතා පවත්වමින් සිම්බාබ්වේ පිලක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කර ගත්තේය. මීට පෙර සිම්බාබ්වේ කණ්‌ඩායම දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා තිබූ ඉහළම දක්‍ෂතාව වන්නේ 1998 දී අස්‌ගිරියේදී ලබා ගත් ලකුණු 338 යි.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු නික්‌ පෝතස්‌ තම කණ්‌ඩායමේ පන්දු රැකීම විශිෂ්ට යෑයි කටට ආ පමණින් පෙරේදා පැවසුවද ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩපන්දු දෙකක්‌ම බිම ඇද වැටුණි. එහිදී ළහිරු කුමාර මිඩ් ඕµa හී සිටියදී අතටම පැමිණි උඩපන්දුව බිම වැටීම අදහාගත නොහැක්‌කක්‌ විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.