තරගයෙන් පැරදුණු ගල් වඩුවා
ගල් පර්වතයෙන් බිමට පැන දිවි නසා ගනී


කලාවැව කිට්‌ටුව පිහිටි අවුකන බුදු පිළිමය හා කැකිරාවෙන් ඔබ්බෙහි පිහිටි රැස්‌වෙහෙර බුදුපිළිමය සමකාලීනව නිර්මාණය වූ බුදුපිළිම දෙකකි. පිහිටි ගලේ නෙළා ඇති මේ යෝධ හිටි බුදුපිළිම පිහිටි ගලේම නෙරා ඇති බුදුරූ ඉදිරියට විදහාපායි. බුද්ධ රූප පිටුපසින් ස්‌වාභාවික ගල්තලාවට පෑහී පවතී. වඩාත් කලාත්මක පරිසමාප්ත බුදු පිළිමය අවුකනයි. රැස්‌ වෙහෙර අවුකන සමඟ සසඳනවිට මටසිලිටු බව අඩුය. බිමින් මේ බුදු පිළිම දෙක අතර පරතරය සැතපුම් පහළොවකට කිට්‌ටුය. ඒ වටරවුමේ මාර්ග ඔස්‌සේ යා යුතු බැවිනි. එහෙත් අහස්‌ දුර සැතපුම් පහකට අඩුය. රැස්‌ වෙහෙර පිළිමය ගැන රසවත් ජනකතාවක්‌ පවතී. ගලේවෙල මහා විද්‍යාලයේ උපගුරුවරයකු ව අප සිටියදී අප මිත්‍ර ජයතිලක මහතා සමඟ අසීරු පටු රැස්‌වෙහෙර පාරේ ගිනියම් අව්වේ පාපැදියකින්

රැස්‌වෙහෙරට යැමට හැකිවිය. ගිනියම් අව්ව ඇඟපත පුළුස්‌සයි. පාපැදිය පැදවූ ජයතිලක විඩාවෙන් හෙම්බත් ව ඇත. ඉදිරියේ හිඳගෙන ගිය මගේ දෙපා හිරි වැටී ඇත.

තේ කෝප්පයක්‌ බීමට අසල පිහිටි කුඩා කඩයකට අපි ගොඩ වැදුනෙමු. එහි සිටි මහල්ලෙකු මේ කතාවට මුල පිරුවේය. මේ කිට්‌ටුව ගමක එක පවුලක්‌ හිටියා බුදු පිළිම ගලෙන් නෙළන ශිල්පි පරම්පරාවක්‌ . බොහෝම ලස්‌සනට රුවට ඔපයට හැඩ වැඩ කරලා බුදු පිළිම නෙළන්නට ඒ පවුලට පරම්පරාවෙන් උපන් හපන්කම් තිබුණා. පියා මහලුය. දැන් ළඟ පාතක මිසක්‌ ඈත වැඩට ගියේ නෑ. ඔය කාලේ තමා අවුකන පිළිමෙයි රැස්‌ වෙහෙර පිළිමෙයි නෙළන්නට ඉදිරිපත් වෙන්න කියලා ශිල්පීන්ට දන්වලා රඡ්ජුරුවෝ රටේ අණබෙර ගැහැව්වේ. ගමේ අණබෙර ගහන කොට අර මහලු පියා ගිහින් අණ බෙරය නැවැත්තුවා. මගේ පුත්තු දෙන්නා ඔය බුදුපිළිම දෙක නෙළන්න --- හපන්නු කියලා දැන්නුවා අණ බෙරකාරයා එක්‌ක පියයි පුත්තු දෙන්නයි රජවාසලට ගියා.

රඡ්ජුරුවෝ සන්තෝෂවෙලා එකම දවසේ පිළිම දෙකේ වැඩ නැකතට ආරම්භ කරන්නට කීවා. හොඳ සුබ වේලාවක්‌ බලලා පුත්තු දෙන්නා පිළිමවල වැඩ ආරම්භ කළා. ඒ අයගේ පවුලට රජවාසලෙන් කෑම බීම යෑපුම් ආහාර ද්‍රව්‍ය සැරෙන් සැරේ ලැබුණා. අවුරුදු තුනක්‌ දෙන්නා වෙන වෙනම පිළිම දෙක නෙළුවා. අයියා තමා අවුකන පිළිමේ නෙළුවේ. රැස්‌වෙහෙර පිළිම නෙළුවේ මල්ලී. හැම පසළොස්‌වක පෝයකම දෙන්නා ගෙදර ඇවිත් පිළිමවල කරපු වැඩ කොටස්‌ විස්‌තර කරනවා. ඔහොම පිළිම දෙක නෙළුවේ තරගෙට වාගේ.

මහල්ලා බුලත් විට සපමින් ගිනියමෙන් පුපුරු ගහන අව්වේ මිදුලට බැස කඩේ ඉදිරිපිට තිබූ රූස්‌ස ගහයට තබා ඇති බංකුවේ වාඩිවී අප දෙස බලයි.

"ඉතින් මොකද වුණේ?"

අවුරුදු තුනක්‌ ගතවෙලා ගියා. අයියා නෙළපු අවුකන පිළිමේ වැඩ ඉවරයි. හරියටම පසළොස්‌වක පෝයදා වෙන කොට පිළිමේ වැඩ මුළුමනින්ම ඉවර කරන්න පුළුවන්කම ලැබෙනවා. රැස්‌වෙහෙර පිළිමය නෙළුවේ බාල සහෝදරයා ඒකේ ඔපමට්‌ටම් කරන්නට තව වැඩ ඉතිරි වුණා. තවත් කාලයක්‌ ගියාමයි රැස්‌වෙහෙරේ පිළිමේ වැඩ ඉවර වෙන්නේ.

පසළොස්‌වක පෝයට දෙබෑයෝ ගමට ආවා. තමන්ගේ පිළිමේ වැඩ ඉවරයි කියලා අවුකන පිළිමේ නෙළු අයියා කීවා. බාල සහෝදරයාට ලොකු වේදනාවක්‌ ඇති වුණා. වැඩි කතාබහක්‌ නැතිව පසළොස්‌වක පොහොය ගෙවිලා එයා රැස්‌ වෙහෙරට ගියා. තමන් නෙළපු පිළිමේ දිහා පැය ගණනක්‌ ගල් ගැහිලා වගේ බලා සිටියා. හිත එක අරමුණකට ගත්තා. සහෝදරයාට වුණත් පරාජය ලැඡ්ජාවක්‌. බුදු පිළිමයත් එක්‌ක තියෙන ගල් පර්වතයට ශිල්පියා නැග්ගා. දැස්‌ පියා ගත්තා. හුලඟත් එක්‌කම බිමට පැන්නා. මුළු ශරීරයම ලේ විලක්‌ මැද කෑලි කෑලි විසිරිලා ගියා. රඡ්ජුරුවෝ ගම්වැසියෝ බොහෝම විස්‌සෝපවෙලා ගෞරවයෙන් ශිල්පියාගේ ආදාහනය සිද්ධ කළා. නෙළන්නට ඉතිරිවෙලා තිබුණු කොටස්‌ අදත් ඒ විදිහටම තියෙනවා.

ඔහු කතාව නවතා අප දෙස බලයි.

තුනුරුවන්ගේ පිහිටයි. මහත්තයලා ගිහින් එන්න.

රැස්‌වෙහෙර පිළිමය අවට පරිසරය නරඹන විට මහලු ගැමියා කී කතාව අපට මතක්‌ විය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ
එස්‌. කේ. ජයවර්ධන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.