රාජපක්‍ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව-02
උදයංග වීරතුංග මිග් ගනුදෙනුවේ
කේන්ද්‍රීය චරිතය බවට පත්වූ හැටි...

සී. ඒ. චන්ද්‍රප්‍රේම


2006 දී මිග් යානා මිලදී ගැනීම හා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මගඩියක්‌ ගැන මුලින්ම ඉංගී්‍රසි පුවත්පත් වල පළවූ වාර්තා වල උදයංග වීරතුංග කේන්ද්‍රීය චරිතයක්‌ නොවීය. ඔහු රාජපක්‍ෂවරුන්ගේ කිට්‌ටු ඥතියකු බවත්, 2006 පෙබරවාරියේදී ඔහු සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ අධිපති ටී. එස්‌. ලී මහතා හමුවීමට ගොස්‌ එම පුද්ගලයා හරහා යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම සමඟ අදාළ ගනුදෙනුව කිරීමට දැන හැඳුනුම්කම් ඇතිකරගත් බවත්, මේ ගනුදෙනුව සම්බන්ධ කටයුතුවලට ඔහු කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට 25 වතාවක්‌ පමණ පැමිණ තිබූ බවත් මිග් ගනුදෙනුව සම්බන්ධව පළවූ මුල් ඉංගී්‍රසි ලිපි වල සඳහන් විය. එකල මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග ගැන කියවුණේ එවැනි සීමිත කාරණා කීපයක්‌ පමණි. 'යුක්‌රින්මාෂ්' සමාගම සමඟ සම්බන්ධතා හදා ගැනීමට සිංගප්පූරුවේ ලී මහතා හමුවූ බව එම මුල් ලිපිවල කියා තිබුණ ද එවැනි හැඳුනුම්කමක්‌ සිංගප්පූරු ජාතිකයකු හරහා ඇතිකර ගැනීමට උදයංගට හේතුවක්‌ නොවීය. ඔහු අවුරුදු ගණනක්‌ යුක්‌රේනයේ ජීවත් වී යුක්‌රේන භාෂාවද කතාකරන අයකු වූ අතර යුක්‌රින්මාෂ් සමාගම ද හොඳින් හඳුනන අයෙක්‌ විය. යුක්‌රේනයේ ව්‍යාපාරිකයකු වූ උදයංග 1990 ගණන්වල මුල සිට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ කිට්‌ටු සම්බන්ධකම් පවත්වමින් යුක්‌රේනයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර නායකත්වයක්‌ ගෙන කටයුතු කළ අයෙක්‌ විය.

1991 දී එකල ප්‍රේමදාස ආණ්‌ඩුවේ වෙළෙඳ ඇමැති ඒ. ආර්. මන්සූර් මහතා වෙළෙඳ නියෝජිත පිරිසක්‌ සමඟ යුක්‌රේනයට පැමිණි අවස්‌ථාවේදී එම දූත පිරිසට අවශ්‍ය උදව් පදව් ඔහු විසින් කරනු ලැබූ අතර ඔවුන් වෙනුවෙන් තම නිවසේදී භෝජන සංග්‍රහයක්‌ ද පවත්වා තිබිණි. 1999 දී එවක විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා යුක්‌රේනයේ ශ්‍රී ලාංකික "කොන්සල්" පදවිය උදයංගට පිරිනමමින් රුසියානු තානාපති කාර්යාලයට ලිපි නිකුත් කර තිබිණි. ගරු සේවයක්‌ වන මෙම පදවිය යුක්‌රේන ආණ්‌ඩුවෙන් ද පිළිගත යුතු වූ අතර ඒ සඳහා උදයංග යුක්‌රේන පුරවැසිභාවය ලබාගත යුතු විය. යුක්‌රේන පුරවැසිභාවය ලබා නොගැනීම නිසා යුක්‌රේන පාර්ශ්වයෙන් එම පත්වීමට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්‌ නොලැබුණත් ලංකාව පැත්තෙන් නිල වශයෙන්ම ඔහුට එම ගරු සේවය පවරා තිබිණි. 2002 දී එවක එජාප ආණ්‌ඩුවේ වැවිලි කර්මාන්ත ඇමැති වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල යුක්‌රේනයට පැමිණ එරටට ලංකාවෙන් අපනයනය කරන කිලෝග්‍රෑම් තුනට අඩු තේ ඇසුරුම්වලට පනවා තිබුණු විශේෂ රේගු බද්ද ඉවත් කර ගැනීමට උත්සාහ දැරුවද ඒ ප්‍රයත්නය අසාර්ථක විය. පසුව යුක්‌රේනයේ වෙළෙඳ ඇමැති ලංකාවට පැමිණි අවස්‌ථාවේදී උදයංගගේ මැදිහත්වීමෙන් එකල අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමක්‌ පරිදි ඒ බද්ද ඉවත් කරනු ලැබුවේය. 2003 දී එවක අභ්‍යන්තර කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ද යුක්‌රේනයට පැමිණි අතර ඒ අවස්‌ථාවේදී උදයංග විසින් අමරතුංග ඇමැතිවරයා යුක්‌රින්මාෂ් සමාගමට ද රැගෙන ගොස්‌ තිබිණි. එකල යුක්‌රින්මාෂ් සමාගමේ අධ්‍යක්‍ෂකවරයා කොටි සංවිධානයේ අවි සැපයුම නතර කිරීමට නම් ලංකාවට චන්ද්‍රිකා තාක්‍ෂණය සහිත මුහුදුබඩ නිරීක්‍ෂණ පද්ධතියක්‌ තිබීමේ වැදගත්කම අමරතුංග ඇමැතිවරයාට පැහැදිලි කොට තිබිණි. කිරිඇල්ල හා අමරතුංග ඇමැතිවරුන්ගේ සංචාරවලදී උදයංග ඒ රටේ සිටි වෙනත් ශ්‍රී ලාංකිකයන්ට ද ආරාධනය කොට කිව් නගරයේ තම අවන්හලේ භෝජන සංග්‍රහද පවත්වා තිබිණි.

උදයංග යුක්‌රේනයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා වශයෙන් සිටි අවධියේ ඇතිවූ විශේෂ සිදුවීමක්‌ වූයේ 2004 කිව් නගරයේ අලුත්වැඩියා කර ලංකාවට ආපසු පැමිණෙමින් තිබූ ගුවන් හමුදාවේ ඒ එන් - 32 ප්‍රවාහන ගුවන් යානා දෙකක්‌ රුසියාව හරහා පියාසර කිරීමට අවසර නොතිබීම හේතුවෙන් රුසියාවේ රොස්‌ටොව් ගුවන් තොටුපළේ රඳවා ගැනීමේ සිද්ධියයි. ඒ අවස්‌ථාවේදී එම ගුවන් යානා දෙක තුළ ගුවන් හමුදා සාමාජිකයන් තිස්‌දෙනකු පමණ සිටියේය. මෙය සිදුවන අවස්‌ථාවේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විදේශ ගතවී සිටි අතර රුසියානු තානාපතිවරයා ද ලංකාවේ නොසිටියේය. එවක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වහාම කොළඹ සිටි වැඩ බලන රුසියානු තානාපතිවරයා ගෙන්වා කරුණු පැහැදිලි කොට උදයංග වීරතුංගව රුසියානු බලධාරීන්ට සම්බන්ධ කර දී ඇත. උදයංගගේ මැදිහත් වීමෙන් මේ ප්‍රශ්නය සමතයකට පත් කරනු ලැබූ අතර රුසියානු බලධාරීන් කළේ ශ්‍රී ලංකාවේ ගුවන්යානා දෙක කිසිදාක රුසියාවට ඇතුළු නොවූ ලෙසත් කිසිදු රඳවා ගැනීමකට ලක්‌ නොවූ ලෙසත් ලියවිලි වෙනස්‌කොට ගුවන්යානා දෙකම ආපසු කිව් නගරයට යෑවීමයි.

2006 දී මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් පළවූ මුල් ඉංගී්‍රසි ලිපි වල උදයංග ගැන තිබුණේ අඩු සඳහනක්‌ වුවද අද ඔහු මිග් ගනුදෙනුවේ ප්‍රධාන චරිතය බවට පත් වී ඇත. වත්මන් ආණ්‌ඩුව බලයට පත්වූ අවස්‌ථාවේ සිට උදයංග වීරතුංගට විවිධ චෝදනා එල්ල වූ අතර මිග් ගනුදෙනුවේ අතරමැදියා වීමද ඉන් එක්‌ චෝදනාවක්‌ විය. අලුත් ආණ්‌ඩුවෙන් ඔහුව රුසියානු තානාපති ධුරයෙන් ඉවත් කළ පසු උදයංග නැවතත් යුක්‌රේනයේ පදිංචියට ගොස්‌ තිබිණි. යහපාලන ආණ්‌ඩුවේ පොලිසියෙන් ඔහුව සොයමින් සිටින බව ආරංචි වූ විට උදයංග කළේ රාජපක්‍ෂවරුන්ට හා ඔවුන් සමඟ සිටි නිලධාරීන්ට එරෙහිව යහපාලන ආණ්‌ඩුව දඩයමක්‌ දියත් කර ඇති බවත්, ඒ දඩයම පහසු කර දීම සඳහා ලංකාවට පැමිණීමට කිසිදු බලාපොරොත්තුවක්‌ තමාට නැති බවත්, දඩයම්කරුවන්ට උපරිම අපහසුතාවය ඇතිවන ආකාරයට කටයුතු කිරීම තමාගේ යුතුකම ලෙස සලකන බවත් කියමින් පිටරට සිට ලංකාවේ මාධ්‍යයට නිවේදන නිකුත් කිරීමය. උදයංග ලංකාවට නොඑන නිසා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මේ වන විට මහෙස්‌ත්‍රාත් උසාවිය හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක්‌ ලබාගෙන ඇත. 2006 දී මිග් ගනුදෙනුවේ එතරම් වැදගත් චරිතයක්‌ ලෙස නොපෙනුණු උදයංග අද වන විට එහි කේන්ද්‍රීය චරිතය බවට පත්වී ඇති ආකාරය අපට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ වාර්තාවලින් බලාගත හැක. මේ මිග් ගනුදෙනුව ආරම්භ වන විට උදයංග යුක්‌රේනයේ ශ්‍රී ලාංකික කොන්සල්වරයා වශයෙන් ගරු සේවයක්‌ කරමින් සිටි අතර ඒ ගනුදෙනුව අතරතුර ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති හැටියට පත්විය. ඔහු දැරූ මේ තනතුරු නිසා මිග් ගනුදෙනුව සම්බන්ධව කටයුතු කිරීම ඔහුගේ රාජකාරියේ කොටසක්‌ද විය. එමෙන්ම උදයංගට ගුවන් හමුදාවේ දන්න හඳුනන අයද බොහෝ දෙනෙක්‌ සිටියේය. ගුවන් හමුදාව 1991 දී මුල් වරට යුක්‌රේනයෙන් ඒ එන් 32 වර්ගයේ ප්‍රවාහන යානා මිලදී ගත් තැන සිට ගුවන් හමුදා නිලධාරීන් නිතරම යුක්‌රේනයට පැමිණි අතර ඒ සියලු දෙනාම උදයංගව දැන හඳුනගෙන තිබිණි.

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම මහෙස්‌ත්‍රාත් උසාවියට කරුණු දක්‌වනු ලැබුවේ 2015 මාර්තු 26 වැනිදා අංක 639/15 දරන බී වාර්තාවෙනි. ඒ අවස්‌ථාවේදී අවධානයට යොමු වී තිබුණේ 2006 දී ඉංගී්‍රසි පුවත්පත් දෙකක්‌ විසින් ගෙනහැර දක්‌වා තිබිණු ප්‍රහාරක යානා වල මිල වෙනස්‌වීම පිළිබඳ කාරණයත්, ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කර තිබීම යන කාරණයත්ය. නමුත් අවුරුදු එකහමාරක්‌ පමණ විමර්ශනය කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ අවධානය වෙන පැත්තකට යොමු විය. 2016 සැප්තැම්බර් 26 වැනිදා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර සිටියේ මිග් 27 යානා 4 ක්‌ මිලදී ගැනීමටත් තවත් මිග් යානා 4 ක්‌ අලුත්වැඩියා කිරීමටත් 2006 දී ඇතිකර ගන්නා ලද ගිවිසුම අත්සන් කර තිබුණේ ස්‌ථාන දෙකකදී බවත් එයට යුක්‌රින්මාෂ් හා බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ යන පාර්ශ්වකරුවන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ නිල නිවසේදී අත්සන් තැබූ බවත් ඉන්පසු තානාපතිවරයා විසින් එම ගිවිසුම කොළඹට ගෙනවිත් ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ලබාගත් බවත් ය. මෙතැන් සිට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් හැම කෙනකුගෙන්ම උදයංග වීරතුංග ගැනත් අසා තිබුණු බව ඔවුන්ගේ වාර්තා වලින් පෙනේ.

2016 ඔක්‌තෝබර් 11 වැනිදා වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කියා සිටියේ උදයංග වීරතුංග 2006 මිග් ගිවිසුමේ පිටපත් හතරකට රුසියාවේදී යුක්‌රින්මාෂ් හා බෙලිමීසා යන සමාගම්වල නියෝජිතයන්ගේ අත්සන් ගෙන ඉන්පසු එම පිටපත් සමඟ ලංකාවට පැමිණ ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ඒවාට ලබාගෙන ඉන් එක පිටපතක්‌ ගුවන් හමුදාපතිවරයාට දී ඉතිරි පිටපත් තුන යුක්‌රින්මාෂ් හා බෙලිමීසා සමාගම්වලට දීමට යෑයි කියමින් ගෙනගිය බවයි. මේ වාර්තාවේ මුලු විමර්ශනයම වෙනත් අතකට යොමු කළ ලිපියක්‌ ගැන ද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සඳහන් කොට තිබිණි. ඔවුන් මේ ගනුදෙනුව ගැන ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය හරහා යුක්‌රේනයේ අධිකරණ අමාත්‍යාංශයෙන් විමසා තිබුණු අතර යුක්‌රේනයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2016 ජුනි 24 දිනැති ලිපියෙන් ලංකාවට දැනුම් දී ඇත්තේ යුක්‌රින්මාෂ් සමාගම හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ගිවිසුමක්‌ අත්සන් කර නැති බවත්, එවැනි ගිවිසුමක්‌ යුක්‌රින්මාෂ් හා බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම අතරද අත්සන් කර නැති බවත්ය. යුක්‌රේනයෙන් ලැබුණු ඒ ලිපිය මත පදනම්ව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර සිටියේ මිග් - 27 යානා 4 ක්‌ මිලදී ගැනීමටත් තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීම සඳහාත් 2006 ජුලි 26 වැනිදා එළඹුණු එස්‌. එල්. ඒ. එෆ්. 2006/07/ඒ. අයි. ආර් අංකය දරන ගිවිසුම උදයංග වීරතුංග විසින් සකසන ලද කූට ලේඛනයක්‌ බවත් ඔහු එයට වංචනිකව ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ද ලබාගෙන ඇති බවත්ය.


මේ ලියවිල්ල කූට ලේඛනයක්‌ බව තහවුරු කිරීමට යුක්‌රින්මාෂ් සමාගමේ අධ්‍යක්‍ෂ ඩී. ඒ. පෙරුගුඩොව් මේ ගිවිසුමට තබා ඇති අත්සනත් ඔහු ශ්‍රී ලංකා රජය සමඟ හුවමාරු කරගෙන තිබුණු වෙනත් ලිපිවල තිබූ අත්සනත් අතර වෙනසක්‌ ඇති බවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කියා සිටියේය. මේ ගිවිසුමට රුසියාවේ උදයංගගේ නිල නිවසේදී යුක්‌රින්මාෂ් සමාගමේ හා බෙලිමීසා සමාගමේ නියෝජිතයන් අත්සන් තැබූ අවස්‌ථාවේ ඒ අත්සන්වලට සාක්‍ෂිකරුවකු වශයෙන් අත්සන් කළ තානාපති නිලධාරියා ද මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පවසා තිබුණේ එදා ඒ ගිවිසුම අත්සන් කළ පුද්ගලයන් ඔහු පුද්ගලිකව හඳුනන්නේ නැති බවත්, එම ගිවිසුමේ ඩී. ඒ. පෙරුගුඩොව්ගේ අත්සන් වෙනත් ලිපිවල ඇති අත්සනට වඩා වෙනස්‌ බවය. මේ සාක්‍ෂි මත පදනම්ව උදයංග වීරතුංග දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූඨටලේඛන සැකසීමක්‌ කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කර සිටියේය. තවද 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෙවීම් කර ඇත්තේ යුක්‌රින්මාෂ් සමාගමට නොව බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ නමැති තුන්වැනි පාර්ශ්වයකට බවත් බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම විසින් එම මුදල් යුක්‌රින්මාෂ් සමාගමට ලබාදී නැති බවත් එමනිසා උදයංග වීරතුංග කූට ලේඛනයක්‌ සකසා රජයෙන් මුදල් වංචා කර ඇති බවත්, මෙය දණ්‌ඩ නීති සංග්‍රහයේ 400 සහ 459 වගන්ති යටතේ අපරාධයක්‌ බවත් ව්‍යාජ ලේඛන යොදාගෙන රජයේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 1982 අංක 12 දරන රාජ්‍ය දේපළ සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ පනතේ 5 වැනි වගන්තිය යටතේ ද උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කෙරෙන බවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කළ තවත් කාරණයක්‌ වූයේ එස්‌. එල්. ඒ. එෆ්/2006/07/ඒ. අයි. ආර්. අංකය දරන ගිවිසුමේ මුල් පිටපත 2009 ජුනි 4 වැනිදා තෙක්‌ ගුවන් හමුදාව සතුව තිබුණු බවත් ඉන්පසු එය ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියට ඉදිරිපත් කිරීම සඳහා දැන් විශ්‍රාම ගොස්‌ ඇති එයාර් වයිස්‌ මාර්ෂල් ජයනාත් කුමාරසිරි මහතාට ලබාදී තිබුණු බවත් කුමාරසිරි මහතා 2014 සැප්තැම්බර් 12 වැනිදා විශ්‍රාම ගිය බවත් ඔහු විශ්‍රාම යාමට පෙර එම ලියවිල්ල තම අංශයේ නිලධාරීන්ට බාරදී ඇති බව නොපෙනෙන බවත්, එම ගිවිසුමේ මුල් පිටපත දැන් සොයා ගැනීමට නොහැකි බවත්ය.

මේ අනුව 2006 දී ඉංගී්‍රසි පුවත්පත් දෙකක්‌ විසින් මුලදී නැගූ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම පසකට තල්ලු වී වෙනත් කාරණා ඉදිරියට ඇවිත් තිබෙන බව පෙනේ. මා පසුගිය සතියේ ලිපියෙන් පෙන්වා දුන් පරිදි මිග් යානා වල මිල හෝ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කිරීම ගැන විමර්ශනය කිරීමට නිමිත්තක්‌ නැති නිසා මේ ආකාරයට මිග් විමර්ශනය උදයංග වීරතුංග වටා කැරකෙන බව පැහැදිලිය. මොන විමර්ශනයක්‌ වුවත් ව්‍යවහාර ඥනයට හා සාමාන්‍ය බුද්ධියට අනුකූලව සිදුවිය යුතුය. යුක්‌රින්මාෂ් සමාගම හා ගුවන් හමුදාව අතර කිසිදු ගිවිසුමක්‌ නොතිබුණ බවත් උදයංග වීරතුංග ගුවන් හමුදාවට කූට ලේඛනයක්‌ ඉදිරිපත් කොට රජයේ මුදල් වංචා කළා යෑයි කීවද 2006 දී යුක්‌රින්මාෂ් සමාගම, අලුත් ගුවන්යානාවලට සමාන සේවා කාල සහතික සහිත මිග් - 27 ප්‍රහාරක යානා හතරක්‌ ලංකාවට ගෙනත් දුන් අතර ගුවන් හමුදාව සතුව තිබුණු තවත් මිග් යානා 4 ක්‌ යුක්‌රේනයට ගෙන ගොස්‌ එහිදී මාස ගණනක්‌ තිස්‌සේ අලුත්වැඩියා කර නැවත ලංකාවට ගෙනත් දුන්නේය. ඒ මිග් ගුවන් යානා අටම යුද්ධ කාලයේදී භාවිතා කර, යුද්ධයත් දිනා ඉන් එකක්‌ වත් විනාශ නොවී අදටත් ගුවන් හමුදාව සතුව තිබේ.

2006 ජුලි 26 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් යුක්‌රින්මාෂ් සමාගමත් බෙලිමීසා සමාගමත් අතර ඇතිවූ ත්‍රිපාර්ශ්වික ගිවිසුමට යුක්‌රින් මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් කළ ඩී. ඒ. පෙරුගුඩොව්ගේ අත්සන වෙනත් ලියවිලි වල තිබෙනවාට වඩා වෙනස්‌ බව කියමින් මෙය කූට ලේඛනයක්‌ බව තහවුරු කිරීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උත්සාහ ගෙන තිබුණ ද, එදා එම ලියවිල්ලට අත්සන් කළේ ඩී. ඒ. පෙරුගුඩොව් නොව ඔහු වෙනුවෙන් යුක්‌රින්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා වූ ගෙනාඩි ස්‌ටුඩෙනිකින් බව උදයංග වීරතුංග කියයි. ඒ ගනුදෙනුව සඳහා පෙරුගුඩොව්ගේ බලය ලත් නියෝජිතයා වූයේ ස්‌ටුඩෙනිකින්ය. යුක්‌රින්මාෂ් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ස්‌ටුඩෙනිකින් මේ ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණ තිබුණා පමණක්‌ නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් ගුණතිලක හා ගුවන් යානා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ඊ. ජී. අයි. පී. ද සිල්වා වැනි නිලධාරීන් යුක්‌රේනයට ගිය විට ඔවුන්ව යුක්‌රින්මාෂ් සමාගම වෙනුවෙන් පිළිගෙන තිබුණේ ද මේ ස්‌ටුඩෙනිකින්මය. එපමණක්‌ ද නොව මිලදී ගත් මිග් 27 යානා හතර සහ අලුත්වැඩියා කරන ලද මිග් යානා හතර ලංකාවට බාරදීමේදී එකල ගුවන් කොමදොaරු ඊ. ජී. අයි. පී. ද සිල්වා සමඟ "අවසන් භාර දීමේ සහතික" වලට යුක්‌රින්මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් තැබූ පුද්ගලයා ද මේ ස්‌ටුඩෙනිකින්ය.

එසේ නම් යුක්‌රේනියානු නීති බලධාරීන් යුක්‌රින්මාෂ් සමාගම හා ලංකාව අතර එස්‌. එල්. ඒ. එෆ්/2006/07/ඒ. අයි. ආර්. අංකය දරන ගිවිසුමක්‌ නොතිබුණ බව කියමින් ලංකාවේ නීති බලධාරීන්ට දන්වා එවා තිබුණේ මන්ද යන ප්‍රශ්නය පැනනගී. මෙහිදී අප මතක තබාගත යුත්තේ මේ මිග් ගනුදෙනුවට පසුව යුක්‌රේනයේ ප්‍රචණ්‌ඩකාරී ආණ්‌ඩු වෙනසක්‌ සිදුවී, ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු බලයෙන් පහකොට රටද කැබලිවලට කැඩී ගොස්‌ මහා කලබැගෑනියක්‌ සිදුවූ බවය. යුක්‌රින්මාෂ් සමාගම රජයට අයත් ආයතනයක්‌ වන නිසා එහි බලධාරීන් ද ආණ්‌ඩු වෙනසත් සමඟ වෙනස්‌ වූ බවට සැකයක්‌ නැත. යුක්‌රේනයේ අද සිටින දේශපාලන බලධාරීන් කලින් සිටි බලධාරීන්ගේ පරම සතුරන්ය. යුක්‌රේනයේ නීතිපති දෙපාර්මේන්තුවෙන් ලංකාවට එවා තිබෙන ලිපිය සැලකිල්ලට ගැනීමේදී යුක්‌රේනයේ සිදුවූ ප්‍රචණ්‌ඩකාරී ආණ්‌ඩු පෙරළියත් සැලකිල්ලට ගත යුතුය.

මම අද මේ මිග් ගනුදෙනුව ගැන "ඉරිදා දිවයින"ට ලියන්නේ මීට කලින් "ද අයිලන්ඩ්" පුවත්පතට ලියූ විශේෂ වාර්තාවක අන්තර්ගතයයි. පසුගිය ඉරිදා දිවයිනේ මේ ලිපියේ මුල් කොටස පළවීමෙන් පසු මට අපූරු ආරංචියක්‌ ලැබිණි. මේ සම්බන්ධයෙන් මම ද අයිලන්ඩ් පුවත්පතට ලියූ ලිපි පෙළ දැක යුක්‌රේන බලධාරීන් මේ කාරණය ගැන නැවත සොයා බැලීමට පටන්ගෙන තිබිණි. ඒ අනුව යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුව 2006 දී යුක්‌රින්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකව සිටි ගෙනාඩි ස්‌ටුඩෙනිකින් මහතාගෙන් දීර්ඝ කටඋත්තරයක්‌ ලබාගෙන තිබුණු අතර එහිදී ස්‌ටුඩෙනිකින් මහතා විමර්ශන නිලධාරී වයි. ඩී. කොවල්ෂුක්‌ට පවසා ඇත්තේ 2006 ජුලි 26 වැනිදා එස්‌. එල්. ඒ. එෆ්/2006/07 ඒ. අයි. ආර්. අංකය යටතේ යුක්‌රින්මාෂ් සමාගමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගමත් අතර සැබවින්ම ගිවිසුමක්‌ තිබුණු බවත්, එයට යුක්‌රින්මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් කළේ තමන් බවත් ඒ ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඔහු ලංකාවට ගොස්‌ තිබෙනවා පමණක්‌ නොව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් යුක්‌රේනයට පැමිණ කළ සාකච්ඡාවලට ද සහභාගි වී ඇති බවත් ය. මේ කටඋත්තරය නිසා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව ගැන මෙතෙක්‌ කරමින් සිටි විමර්ශනය සම්පූර්ණයෙන්ම කනපිට හැරවේ. යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුව ලංකාව සමඟ මෙම ගනුදෙනුවට සම්බන්ධ යුක්‌රින්මාෂ් සමාගමේ තවත් සේවකයන්ගෙන් කටඋත්තර ඉදිරියේදී ලබාගැනීමට නියමිතය.

යුක්‌රින්මාෂ් යනු 1990 ගණන්වල මුල සිටම ලංකාවට හා විශේෂයෙන්ම ගුවන් හමුදාවට භාණ්‌ඩ සැපයූ ආයතනයකි. ලංකාවත් යුක්‌රින්මාෂ් සමාගමත් අතර එක්‌ ගනුදෙනුවක්‌ නොව දශක දෙක තුනක්‌ මුළුල්ලේ ගනුදෙනු රාශියක්‌ම විය. 2006 ජුලි 26 දින දරන ගිවිසුමේ මුල් පිටපතක්‌ අද සොයා ගැනීමට නොහැකි වුවත් මේ ගිවිසුමට සම්බන්ධ නිලධාරීන්ගේ කටඋත්තරවලින් හා එම ගනුදෙනුවට අදාළ වෙනත් ලියවිලි වලින් එවැන්නක්‌ ඇත්තටම තිබුණු බව තහවුරු කළ හැක. එම ගිවිසුමට අදාළ මුල් ලියවිල්ල ලංකාවේදී ජයනාත් කුමාරසිරි මහතා විසින් ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියට සාක්‍ෂි වශයෙන් ලබා දුන් පසු එය අවතැන් වූ බව කීවත් ගල්කිස්‌ස උසාවිය සතුව ඇත්තේ මුල් ගිවිසුමේ සත්‍ය පිටපතක්‌ බව සක්‌සුදක්‌සේ පැහැදිලිය. යුක්‌රින්මාෂ් සමාගම හා ලංකාව අතර ගිවිසුමක්‌ තිබුණු බව තහවුරු කිරීමට 2006 ජුනි 09 වැනිදා එවක ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා යුක්‌රින්මාෂ් අධ්‍යක්‍ෂක ඩී. ඒ. පෙරුගුඩොව් ට යෑවූ "සහතික කිරීමේ ලිපිය" වැනි වෙනත් ලියවිලි ද ඇත. මේ සහතික කිරීමේ ලිපියෙන් එවක ගුවන් හමුදාපතිවරයා ඉල්ලා තිබුණේ යුක්‌රින්මාෂ් සමාගම සමඟ එකඟ වූ පරිදි ගෙවීම් කරන බවට තමා සහතික කරනු ලබන අතර, අවසන් ගිවිසුම අත්සන් කරන තුරු බලා නොසිට ලංකාවේ තිබෙන තත්ත්වය නිසා ඉක්‌මනින්ම ගුවන් යානා අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලෙසය.

2006 ජුලි 27 වැනිදා මේ ගිවිසුම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේ අත්සන් කිරීම ද අක්‍රමිකතාවයක්‌ නොවේ. ලංකාව පිටරටවල තානාපති කාර්යාල පවත්වාගෙන යන්නේ ද මෙවැනි කටයුතුවලටය. මෑතකදී මිග් ගනුදෙනුවට අදාළ පුවතක්‌ හැටියට මාධ්‍යයේ පළවූ ප්‍රවෘත්තියක්‌ වූයේ උදයංග වීරතුංග ලංකාවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් අත්හිටුවා ඇති බවත් ඒවායේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 කට සමාන මුදල් ප්‍රමාණයක්‌ තිබෙන බවත් ය. මේ මුදල් මිග් ගනුදෙනුවේ කොමිස්‌ මුදල් යෑයි හැඟවෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කොට තිබුණත් මෙය 1990 සිට පිටරට ජීවත් වෙමින් තමන් කරන ව්‍යාපාරවලින් ලැබෙන ලාභය ලංකාවට එවීමෙන් කාලයක්‌ මුළුල්ලේ එකතුවුණු මුදලක්‌ බව උදයංග කියයි. කොමර්ෂල් බැංකුවේ සහ එච්. එස්‌. බී. සී. බැංකුවේ මෙකී අනේවාසික ගිණුම් ඔහු ආරම්භ කරනු ලැබුවේ පිළිවෙළින් 1990 හා 1999 යන වසර වල බව උදයංග කියයි. එය එසේ නොව මේ ගිණුම්වල ඇත්තේ කාලාන්තරයක්‌ මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් එකතු වූ මුදලක්‌ නොව එකවර ඉපයූ කොමිස්‌ මුදලක්‌ බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පෙන්වා දී නැත. 1990 ගණන්වල මුල සිට යුක්‌රේනයේ ව්‍යාපාර කරමින් ලංකාවෙන් එන ඇමැතිවරුන් ඇතුළු දූත පිරිස්‌වලට තම පුද්ගලික වියදමෙන් සංග්‍රහ කරමින් සිටි අයකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක්‌ පමණ බැංකු ගිණුම් වල තිබීම අමුතු දෙයක්‌ යෑයි කිව නොහැක. ලංකාව වෙනුවෙන් ගරු සේවයක්‌ කිරීම පිණිස පිරටවල කොන්සල්වරුන් පත් කරන විට සැලකිල්ලට ගන්නා ප්‍රධානම කාරණයක්‌ වන්නේ එම පුද්ගලයාට ඒ තත්ත්වය පවත්වාගෙන යැමට ආර්ථික ශක්‌තියක්‌ තිබෙනවාද යන කාරණයයි.

උදයංග වීරතුංගගේ ගිණුම්වලට විටින් විට පැනමාව හා ලැට්‌වියාව වැනි රටවල්වලින් මුදල් බැරවී ඇති බවට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සොයාගෙන ඇති බවට ද පසුගියදා පුවතක්‌ පළවිය. පැනමාව ගැන කතා කරන විට කලු සල්ලි සඟවන රූකඩ සමාගම් කාගේත් සිහියට නැගුණ ද පැනමාවේ ඇත්තේ නීති විරෝධී සමාගම් නොව සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූල සමාගම්ය. නමුත් මේ රූකඩ සමාගම් නීත්‍යානුකූල ව්‍යාපාරිකයන් පමණක්‌ නොව නොයෙක්‌ ජාවාරම්කරුවන් ද භාවිතා කරන බව සත්‍යයකි. මේ සම්බන්ධයෙන් උදයංග වීරතුංග කියන කතාව වන්නේ ලංකාවේ සියලුම අපනයනකරුවන්ට මෙන්ම තේ අපනයනකරුවකු වන ඔහුට ද ගැනුම්කරුවන් ගෙන් ගෙවීම් ලැබෙන්නේ පැනමාව වැනි රටවල් හරහා බවය. ලංකාවේ බොහෝ අපනයනකරුවන්ට පැනමාව වැනි රටවල් වල ගිණුම් වලින් නීත්‍යානුකූල ගනුදෙනු සඳහා ගෙවීම් ලැබෙන බවද ප්‍රත්‍යක්‍ෂ කරුණකි. යමෙකුට ගනුදෙනුවක්‌ ගැන විස්‌තර සැඟවීමට අවශ්‍යතාවයක්‌ තිබුණේ නම් කිසිදාක පැනමාව වැනි රටක සිට තම ශ්‍රී ලාංකික ගිණුම්වලට මුදල් ගෙන්වාගන්නේ නැති බවද කිව හැකිය. උදයංග වීරතුංගගේ ගිණුම්වලට පැනමාවෙන් මුදල් ලැබුණා යෑයි කීමෙන් නිත්‍යානුකූල නොවන දෙයක්‌ සිදුවී ඇති බවක්‌ ඔප්පු වන්නේ නැත. පිටරට සිට ලංකාවට එවන සියලුම මුදල් මහ බැංකුවේ මූල්‍යමය බුද්ධි අංශයට වාර්තා වන අතර උදයංග වීරතුංගගේ ගිණුම්වලට කාලාන්තරයක්‌ මුළුල්ලේ එන මුදල් ගැන සැක සහිත තත්ත්වයක්‌ තිබුණේ නම් එය මීට බොහෝ කලකට පෙර මහ බැංකුවේ අවධානයට යොමු වී තිබිය යුතුය.

උදයංග වීරතුංග ගැන විටින් විට විවිධ තොරතුරු මාධ්‍යයට ලබා දෙමින් මිග් ගනුදෙනුවේ කුමක්‌ හෝ සැක සහිත දෙයක්‌ තිබෙනවාය යන අදහස පවත්වාගෙන යැමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ උත්සාහයක්‌ තිබෙන බව පැහැදිලිය. මෙය නීතියට අදාළ කාරණයක්‌ ද නැතිනම් දේශපාලනයට අදාළ කාරණයක්‌ ද යන්න තීන්දු කිරීම පාඨකයාට භාරය.


 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.