2017 අගෝස්‌තු මස 01 වැනිදා අඟහරුවාදා

ප්‍රභාකරන් පටන් ගත්ත තැනටම


ඊයේ අවසන් වූ ජුලි මාසය මේ රටේ ඉතිහාසය තුළ විශේෂිත මාසයක්‌ ලෙස සැළකිය හැක. ජුලි යෑයි කිවූ සැණින් පළමුව මතකයට එන්නේ 80' ජුලි වර්ජකයන්ගේ කතාවය. දෙවනුව සිහියට එන්නේ 83' කළු ජූලිය ගැන මතකයයි. තව තවත් සිදුවීම් තිබෙන මුත් එම සිදුවීම් කාට කාටත් මතක තිබේ. ඊට අමතරව 1975 ජුලි 27 වැනිදා යාපනය පුරපති වූ ඇල්µ්‍රඩ් දොරේඅප්පා තිරුනෙල්වේලි විශ්වවිද්‍යාල මාවතේදී වෙඩි තබා ඝාතනය කළ බවද අපි සිහිපත් කරමු. ජුලි වැඩ වර්ජකයන්ගේ කතාව අමතක කළද 83' කළු ජූලියත්, ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ ඝාතනයත් අපට එහෙම ලෙහෙසියෙන් අමතක කරන්නට හැකියාවක්‌ නැත. හේතුව ඒ කාරණා දෙකම මේ රටේ දශක තුනක්‌ පුරා ඇදී ගිය යුද්ධයට සෘජුව සම්බන්ධ නිසාය.

1975 වර්ෂයේ ඇල්ප්‍රඩ් දොරේඅප්පාට, වෙස්‌ මුහුණක්‌ දමාගත් තුවක්‌කුකරුවෙකු වෙඩි තබන විට මේ රටේ මිනිස්‌සුන්ගේ ඔළුවල "ප්‍රභාකරන්" කෙනෙක්‌ හිටියේ නැත. රටේ හතර දිග්බාගයේම මිනිස්‌සු දැන හිටියේ අතන මෙතන රස්‌තියාදු ගසමින් ගෝරිවලට පැටළෙන කණ්‌ඩායම් ගැනත්, කසිප්පුකාරයන්, මංකොල්ලකාරයන් ගැනත්, වැඩිම වුණොත් හැත්තෑ එකේ කැරැල්ලේ උදවිය ගැනත් පමණි. දොරේඅප්පා ඝාතනයේ වගකීම ප්‍රභාකරන් නමැති මස්‌වැද්දා භාර ගත්තද ත්‍රස්‌තවාදය ගැන අපේ රටේ මිනිස්‌සුන්ට හරි අත්දැකීමක්‌ ලැබුණේ නැත. 83 ජුලි මාසයේදී හමුදා භටයන් 13 දෙනකු උතුරේදී ඝාතනය වීමත් සමගම කාගේ කාගෙත් ඇස්‌ ඇරිණි. ඒ වන විට අපට ඉතිරිව තිබුණේ "තත්ත්වය මැඩ පැවැත්වීමේ" ක්‍රියාන්විතයක්‌ නොව සටන්වැද ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුමක්‌ය. එහෙත් ඒ වැඩේ කොතරම් සීරියස්‌ද කිවහොත් අපට ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට හැකිවුණේ ඊටත් අවුරුදු ගණනාවකට පසු 2009 වර්ෂයේදීය. 1975 දොරේඅප්පා ඝාතනයෙත් ඇරැඹි මේ කාලකණ්‌ණි කතාව ජාත්‍යන්තරය දක්‌වා ඇදී යන දෙයක්‌ බවට පත්වූයේ පොඩි පොඩි දේවල් ගැන මේ රටේ වගකිව යුතු කිසිවෙකුත් අවධානය යොමු නොකළ නිසාය.

ගෙවුණු ජුලි මාසයේද මේ ආකාරයේම "පොඩි" සිදුවීම් දෙකක්‌ වාර්තා විණි. පළමුවැන්න යාපනය මහාධිකරණ විනිසුරු ඉලංෙච්ලියන්ගේ ප්‍රධාන ආරක්‍ෂක සැරයන් සරත්ට වෙඩි තැබීමේ සිදුවීමයි. දෙවැන්න පසුගිය 30 වැනිදා කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට එල්ලවූ කඩු ප්‍රහාරයයි. මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ 'ෆුල්ෆේස්‌' හෙල්මට්‌ පැලඳි යතුරුපැදි කල්ලියකි. අප කාගෙත් අවධානයට ලක්‌විය යුතු ප්‍රධානම කාරණය මේ ප්‍රචණ්‌ඩකාරීන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බව අනාවරණය වී තිබීමයි. 2009 වර්ෂයේ යුද්ධය අවසන් වූ පසු කලක්‌ නිහඬව සිටි යාපනය දැන් නැවත "ප්‍රභාකරන්" කාඩරයන්ගේ මට්‌ටමේ අපරාධකාරයන්ගෙන් සක්‍රීය වීමට පටන්ගෙන තිබේ. ජුලි මාසයේ ඇතිවූ සිද්ධීන් දෙකට අමතරව තවත් බොහෝ සිදුවීම් ගැන පසුගිය කාලය පුරාම අපට අහන්නට දකින්නට ලැබිණි. 'ආවා ගෲප්' නම් කල්ලියක්‌ පසුගිය කාලය පුරාම යාපනයේ භීෂණය පැතිරවූ බව කාටත් අමතක නැත. සංහිඳියාව ගැන කතා කරන උදවිය, යාපනයේ සිදුවීම්වලදී "ත්‍රස්‌තවාදය" යන නම භාවිත කරනවාට කැමති නැත. ඒ නිසාම අපට කියන්නට ඇත්තේ මේ වන විට යාපනයේ ඇත්තේ පාතාලයක්‌ බවය. මේ පාතාලය අද හෙටම මර්දනය කිරීමට කටයුතු කළේ නැත්නම් අපට කොහොමටවත් සංහිඳියාව ගැන කතා කරන්නට වෙන්නේ නැත. නැවත සිහිපත් කළ යුතුය. ප්‍රභාකරන් පටන් ගත්තෙත් එහෙමය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.