ජනාධිපති දියණියක්‌ මව්කිරි
දෙනු දැක ලෝකය කැළඹෙයි...



කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක්‌ අතම්බයෙෆ් ගේ බාල දියණිය, අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මවුකිරි පොවන ආකාරය දැක්‌වෙන ඡායාරූපයක්‌ සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීමෙන් අනතුරුව එය ලොව කලඹන විවාදයක්‌ බවට පත්වෙමින් ඇත.

'මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්‌ද? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්‌ද ?'

සමාජ මාධ්‍ය ජාල සංවාදය තුළ දිග හැරෙමින් පවතින විවාදයේ මාතෘකාව එයයි.

ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක්‌ කරනු ලැබ තිබුණේ පහත දැක්‌වෙන පාඨයත් සමඟයි.

'මම මගේ බිලිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මවුකිරි පොවනවා'

සිය දරුවාට මවුකිරි පොවන අවස්‌ථාවක්‌ දැක්‌වෙන සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ සිය පිංතූරය සදාචාරාත්මක නොවන පියවරක්‌ ලෙස දෝෂ දර්ශනයට ලක්‌ වීමත් සමඟ අලියා ෂගීවා එම පිංතූරය මේ වන විට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර ගනු ලැබ ඇතත්, ඇය සිය ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටිමින් එය යුක්‌ති සහගත කරන්නීය.

බීබීසී ලෝක සේවයේ කිර්ගීසියානු අංශය සමඟ සාකච්ඡාවකට සහභාගි වූ අලියා ෂගීවා,තම පිංතූරය මුල් කර ගත් විවාදය විග්‍රහ කළේ කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්‌කෘතියේ පලයක්‌ ලෙසයි.

'මට ලැබිච්ච ශරීරය අසැබි වූවක්‌ නොවෙයි. එය ප්‍රායෝගික දෙයක්‌. මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික වුවමනා සම්පූර්ණ කිරීමේ ෙච්තනාවෙන්. එය සරාගී ලෙස ප්‍රදර්ශනය කරන්න නොවෙයි' ඇය එම සාකච්ඡාවේ දී සඳහන් කළාය.

එහෙත් බාහිර ලෝකය පමණක්‌ නොව අලියා ෂගීවා ගේ පවුලේ සාමාජිකයෝ පවා ඇය සමඟ එකඟ නොවෙති.

විවාදයට ලක්‌වූ එම පින්තූරය ඇයගේ පියා ජනාධිපති අල්මාෂ්බෙක්‌ අතම්බයෙෆ් මෙන්ම මව රේෂා ඇතුළු පවුලේ සාමාජිකයන් අසතුටට පත්කර ඇතිබව වාර්තා වෙයි.

'ඔව්¾ ඒ ගොල්ලෝ කොහෙත්ම මාත් එක්‌ක එකඟ නැහැ. හේතුව තේරුම් ගත හැකියි. බාල පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන් සමඟ සංවාදය අඩුයි' අලියා ෂගීවා පැහැදිලි කරයි.

අලියා ෂගීවා තමාගේ සෙසු කලා නිර්මාණ මෙන්ම තම සැමියාගේ සහ දරුවාගේ රූ ඇතුළත් කරමින් ප්‍රවේසමෙන් සකස්‌ කරනු ලබන නිර්මාණ සමාජ මාධ්‍ය ජාලයට එක්‌ කරන්නියකි.

මව් කිරි දීම යළි යළිත් මතු වෙන තේමාවකි.

'මගේ දරුවාට මව්කිරි දෙනවිට මට දැනෙන්නේ මේ ලෝකයේ හොඳම දෙය මම දරුවාට දෙනවා කියලයි. මිනිස්‌සු මා ගැන කියන කතන්දරවලට වැඩිය මට වැදගත් වන්නේ, දරුවාගේ උවමනා තේරුම් ගනිමින් මගේ දරුවා බලා ගැනීමයි'

අලියා ෂගීවා ලෝකයට පිළිතුරු දෙන්නීය.


**********************************************************

ඇමරිකාව උතුරු කොරියාවට
ප්‍රතිචාර දක්‌වයි...

 


මතභේදයට තුඩු දී තිබෙන සිය මිසයිල නාශක පද්ධතිය සාර්ථකව අත්හදා බැලූ බව පවසන ඇමරිකා එක්‌සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට ඉහළින් සිය ඊ -1 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා පියාසර කළ බව කියා සිටී.

ඇමරිකාව මිසයිල නාශක අභ්‍යාසයක යෙදුණේ උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කරන ලද මිසයිල අත්හදා බැලීමට සෘජු ප්‍රතිචාරයක්‌ වශයෙනි.

ඇමරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද මිසයිලය අලෙස්‌කාවේ පිහිටි තාඩ් ආරක්‌ෂණ පද්ධතිය යොදා ගනිමින් ශාන්තිකර කලාපයේ දී ව්‍යර්ථ කර තිබේ.

ඇමරිකානු හමුදාවට අයත් ඊ -1 බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියානු සහ ජපාන ගුවන් යානා සමග එක්‌ව කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ අභ්‍යාසයක යෙදී තිබේ.

උතුරු කොරියාව විසින් පසුගිය සිකුරාදා සිය දෙවන අන්තර්මහද්වීපික බැලස්‌ටික්‌ මිසයිලය අත්හදා බලනු ලැබීය.

එම මිසයිලයට ඇමරිකාවේ සියලුම ප්‍රදේශ වෙත ළඟා වීමට හැකි බව උතුරු කොරියාව නිවේදනය කළේය.

චීනයේ දැඩි විරෝධය හමුවේ දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල නාශක ආරක්‌ෂණ පද්ධතියක්‌ ස්‌ථාපනය කිරීමට ඇමරිකාව කටයුතු කළේය.

උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එල්ල කරනු ලබන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීම එහි අරමුණ විය.

සෙනසුරාදා (ජුලි 29) අදහස්‌ දක්‌වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ප්යොංයෑං අවි වැඩසටහන නැවැත්වීම සඳහා චීනය ප්‍රමාණවත් පියවර නොගන්නා බවය.

චීනය උතුරු කොරියාව සමග වෙළෙඳ සබඳතා පවත්වමින් 'ඩොලර් බිලියන ගණනින්' මුදල් උපයන බවටත් ඔහු චෝදනා කළේය.

ට්‌විටර් පණිවුඩයක්‌ නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ තමන් චීනය සම්බන්ධයෙන් 'කලකිරීමට' පත්ව ඇති බවය.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් පළ කරන ලද අදහස්‌ අර්බුදකාරී වාතාවරණය සමනය කිරීම සඳහා උපකාරී නොවන බව හිටපු තානාපතිවරයකු සහ චීන ආණ්‌ඩුවේ උපදේශකයකු වන වික්‌ටර් ගාඕ පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරයා 'නරක ළමයෙකු' ලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ලබන සතියේ රැස්‌වීමට නියමිත එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කරනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.


***********************************************************


ඇමෙරිකාවේ සම්බාධකවලට
රුසියාව 'එකට එක කරයි...



ඇමෙරිකා එක්‌සත් ජනපදය විසින් පනවන ලද නව සම්බාධක සම්බන්ධයෙන් රුසියාව එකට එක කිරීමේ ප්‍රතිචාරයක්‌ දක්‌වා තිබේ.

මොස්‌කව් අගනුවර පිහිටි තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස 455 දක්‌වා අඩුකරන මෙන් ඇමෙරිකාවට දැනුම් දුන් රුසියාව, තානාපති කාර්යාලයට අයත් ඇතැම් දේපළ පරිහරණය කිරීම ද තහනම් කර තිබේ.

ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස, වොෂින්ටන් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ සේවක පිරිස හා සමාන සංඛ්‍යාවකි.

එමෙන්ම එක්‌සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් රුසියාව තුළ නිවාඩු ගතකිරීම පිණිස භාවිත කරන නිවාස සහ ඔවුන්ගේ ගබඩා සංකීර්ණයක්‌ ද පවරා ගනු ලබන බවත් රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුක්‌රේනයේ කොටසක්‌ව තිබූ ක්‍රිමියාව 2014 දී රුසියාව විසින් පවරාගනු ලැබීම ඇමෙරිකා එක්‌සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක හේතුවකි.

ඇමෙරිකාව එම සම්බාධක නිවේදනය කළේ 2016 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික අපේක්‌ෂිකා හිලරි ක්‌ලින්ටන් ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවිවලට රහසිගතව ඇතුළුවීමේ චෝදනාව මත ජනාධිපති බරක්‌ ඔබාමා ගේ පරිපාලනය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් මාස කිහිපයකට පසුවය.

ඒ අවස්‌ථාවේ ඇමෙරිකාවේ පිහිටි රුසියානු රාජ්‍යතාන්ත්‍රික සංකීර්ණ දෙකක්‌ පවරාගත් ඔබාමා පරිපාලනය, රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 35 දෙනකු පිටුවහල් කළේය.

සිකුරාදා (ජුලි 28) නිවේදනයක්‌ නිකුත් කරන රුසියාවේ විදේශ අමාත්‍යාංශය 'අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ව්‍යාජ චෝදනාව යොදාගනිමින් එකක්‌ පසුපස එකක්‌ ලෙසින් දැඩි රුසියානු විරෝධී පියවර' ගනිමින් සිටින බවට එක්‌සත් ජනපදයට චෝදනා කරයි. එමෙන්ම රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම 'රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියෙනා ප්‍රඥප්තිය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ පිළිගත් ක්‍රමවේදයන් ද උල්ලංඝනය කිරීමක්‌' බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
 


***********************************************************

ජනාධිපති උදහසට
ලක්‌ නගරාධිපතිට මරණය...




පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ දුටාර්ටේ ගේ විවේචනයට ලක්‌වෙමින් සිටි නගරාධිපතිවරයෙක්‌ මරා දමනු ලැබ ඇත.

මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත වෙතැයි පවසමින් ජනාධිපතිවරයාගේ උදහසට ලක්‌ව සිටි නගරාධිපතිවරයා මරා දමනු ලැබ තිබෙන්නේ පොලිසිය ඔහුගේ නිවසට කඩා පැනීමක දී බවත් වාර්තා වෙයි.

දකුණු පිලිපීනයේ ධ්aපස' නගරයේ පුරපතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් දහදෙනෙක්‌ (30 දා) උදෑසන සිදු වූ එම පොලිස්‌ මෙහෙයුමේ දී වෙඩි තබා මරා දමනු ලැබ ඇති බව පිලිපීනයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ප්‍රචණ්‌ඩ තත්ත්වයක්‌ මතුවෙන විට එම කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණ බව පිලිපීන පොලිසිය පවසයි.

මෙයින් අවුරුද්දකට පමණ පෙර ජනාධිපති රොඩ්රිගෝ දුටාර්ටේ බලයට පත්වීමෙන් අනතුරුව පොලිස්‌ කඩා පැනීම් හෝ නිල නොවන කල්ලිවල ප්‍රහාර මගින් මේ වන විට නව දහසකට ආසන්න ජනතාව මරා දමනු ලැබ ඇත.

දුටාර්ටේ බලයට පත්වුණේ පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන බවට මැතිවරණ පොරොන්දුවක්‌ දෙමිනි.

පිලිපීනයේ නගරාධිපතිවරයකුව සිටි කාලයේ තමා අපරාධ වලට හවුල් සැකකරුවන් සියතින්ම මරා දැමූ බව ජනාධිපති රොඩ්රිගෝ දුටාර්ටේ වරක්‌ ප්‍රකාශ කළේය.

එහෙත් එලෙස මිනීමැරුම් සිදු කළ බව ඔහු විසින්ම තවත් වරක ප්‍රතික්‌ෂේප කරනු ලැබ ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දැමීමට තමා පුරුදුව සිටියේ පොලිසියටද එලෙස කළ හැකි බව පෙන්වීම සඳහා බව තවත් වරක්‌ මොහු මැනිලා නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක්‌ අමතමින් කියා සිටියේය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.