කිලෝ මීටර් අටක්‌ පයින් ගොස්‌ අකුරු කළ දාලිත් ජනපති

මීට මාස කිහිපයකට පෙර රාම් නාත් කෝවින්ද් හා ඔහුගේ පවුලේ පිරිස ශිම්ලා වෙත ගියේ නිවාඩුවක්‌ ගත කිරීම සඳහාය. ශිම්ලා හි ජනපති මන්දිරය වෙත ගිය රාම් නාත් ඇතුළු පිරිසට එහි බලධාරීහු ඇතුළුවීමට ඉඩ ලබා නොදුන් අතර ඉන්දීය ජනපති කාර්යාලයෙන් නිසි අවසර ලබාගෙන එන්නැයි දැනුම් දුන්හ. ඒ වන විට රාම්නාත් බිහාරයේ ආණ්‌ඩුකාරවරයා විය. ශිම්ලා නිලධාරීන් සමඟ ආරවුලකට නොගිය අතර ඔහු ආපසු හැරී ආවේය.

එහෙත් ඊට මාස දෙකකට පසු ඔහුගේ දෛවය වෙනස්‌ විය. භාරතීය ජනතා පක්‍ෂය සිය ජනපති අපේක්‍ෂකයා ලෙස නම් කළේ රාම්නාත්ය. හිටපු කථානායිකා මීරා කුමාර් මහත්මිය පරදා 65% ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ජයග්‍රහණය කිරීමට ඔහුට හැකිවිය. දැන් ඔහු ඉන්දියාවේ 14 වැනි ජනපතිවරයා ලෙස පත්වී තිබේ. වඩා විශේෂය වන්නේ ඉන්දියාවේ ජනපති ධුරයට පත්වූ දෙවැනි දාලිත්වරයා ඔහු වීමයි. මීට පෙර එම තනතුරට පත්වූ දාලිත්වරයා වූයේ කේ. ආර්. නාරායන්ය. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයෙන් බිහිවූ පළමු ජනපතිවරයාද වන්නේ මේ 71 හැවිරිදි රාම්ය.

රජයේ නීතිඥවරයකු ලෙස වසර 20 ක්‌ කටයුතු කර ඇති හෙතෙම භාරතීය ජනතා පක්‍ෂය හා එක්‌වූයේ 1991 දීය. භාරතීය ජනතා පක්‍ෂය වඩාත් ආකර්ෂණය කරගත්තේ කුල හීන හින්දුන් නම් නොවේ. ඉහළ කුලවල හින්දුන්ගේ ඡන්දයයි. නමුත් කුල හීනයන් අතර විශේෂයෙන් දාලිත්වරුන්ගේ ඡන්ද ආකර්ෂණය කිරීම වෙනුවෙන් රාම්නාත් භාරතීය ජනතා පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා ලෙස තෝරාගෙන ජනපති ධුරයට පත්කෙරිණි. 2019 මැතිවරණයේදී දාලිත් ඡන්ද වඩා ආකර්ෂණය වෙනුවෙන් මෙය සිදුකර ඇත.

වර්තමාන ඉන්දීය ජනපතිවරයා උපත ලැබුවේ 1945 ඔක්‌තෝබර් 01 වැනිදා කාන්පූර්හි පරොන්ක්‌ ග්‍රාමයේය. ඔහුගේ දෙමාපියෝ කෝරිස්‌ නමැති කුලයට අයත්ය. සාම්ප්‍රදායිකව මොවුන් වියන්නෝ වෙති. මොවුන් සතුව ඉඩම් නොමැත. මේ පවුලේ දරුවන් නව දෙනෙකු වූ අතර රාම්ගේ පියාවූ මයිකුලාල් කෝරි මේ සිය දරුකැළ නඩත්තු කළේ කුඩා කඩයක්‌ කිරීමෙනි.

මුලින්ම බෝගසක්‌ යට අකුරු හැදැරූ රාම්ට සිය පාසල වෙත යැම සඳහා දිනපතාම කිලෝ මීටර් අටක්‌ පයින් ගමන් කිරීමට සිදුවිය. එසේ දුෂ්කර ලෙස අධ්‍යාපනය ලැබුවද අවසානයේ නීතිඥවරයකු වීමට ඔහුට හැකිවිය. පුරා වසර 12 ක්‌ රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ හෙතෙම දාලිත්වරුන්ගේ අයිතිය උදෙසා සටන් කළේය. අතීතයේදී උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී භාරතීය ජනතා පක්‍ෂයට රාම්නාත් වැදගත්වූයේ දාලිත් කුල රැජින වූ මායාවතීට එරෙහිව ප්‍රබල අපේක්‍ෂකයකු ලෙස යොදා ගැනීමටය. මායාවතීට එරෙහිව භාරතීය ජනතා පක්‍ෂයේ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස රාම්ව ඉදිරිපත් කිරීමට උත්සාහයක්‌ තිබුණද එම පක්‍ෂයේ බ්‍රහ්මණයෝ එයට අකමැති විය. එහෙත් අවසානයේ ජනපති ධුරයට පත්වීමට රාම්ට වාසනාව උදාවිය. මීට පෙර ඉන්දියාවේ දහවැනි ජනාධිපතිවරයා වූ කේ. ආර්. නාරායන් අයත් වූයේ පරමාත් කුලයටය. මොවුනගේ වෘත්තිය වූයේ පොල් කැඩීමයි. 14 වැනි කුලහීන ජනපතිවරයාට කිලෝ මීටර් අටක්‌ පයින් යැමට සිදුවූවා සේම නාරායන් ජනපතිට ඊට වඩා දුරක්‌ පාගමනින් යැමට සිදුවිය. ඇත්තෙන්ම ඔහුගේ නිවසේ සිට පාසල වෙත යැමට කිලෝ මීටර් 15 ක්‌ පයින් ගමන් කළ යුතුවිය. කුඹුරු මතින් ගමන් කරමින් ඔහු පාසල කරා පියනැගීය.

නිසි පරිදි පාසල් ගාස්‌තු ගෙවීමට නොහැකි වූ නිසා පන්තියට ගොස්‌ වැඩිවීමට ඔහුට අවසර නොලැබිණි. එනිසා පන්තියේ එළියේ සිට පාඩම් අසා ගැනීමට මේ කුලහීන දරුවාට සිදුවිය. ඉන්දීය කුලහීනයින්ගේ ජීවිත කතාව සැබවින්ම ෙ€දයකි. දාලිත්වරුන් භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුවට එතරම් කැමැත්තක්‌ නොදක්‌වන්නේ මොවුන්ගේ උග්‍ර හින්දු ප්‍රතිපත්ති නිසා තමන්ගේ පීඩනය වැඩිවන නිසාය. ඒ දාලිත් විරෝධය සමනය කිරීමට රාම් ජනපති කිරීමෙන් පමණක්‌ සෑහේද? මෙය ඇස්‌බැන්දුමක්‌ පමණක්‌ද?

ඉන්දියාවේ වෙසෙන දාලිත් නොඑසේ නම් කුලහීනයන්ගේ ප්‍රමාණය මිලියන 300 ක්‌ පමණ වෙතැයි ගණන් බලා ඇත. දෙවැනි දාලිත් ජනපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය 25 වැනිදාය. කාමර 340 ක්‌ ඇති අක්‌කර 330 ක්‌ පුරා විහිදුණු රාෂ්ට්‍රපති භවන රාම්නාත්ගේ නිල නිවසය. මෙය රෝහලක්‌, පාසලක්‌, ගොල්ෆ් ක්‍රීඩාංගණයක්‌, පෝලෝ ක්‍රීඩාංගණයක්‌ මෙන් ටෙනිස්‌ පිටියක්‌ද ඇතුළත්ය. අක්‌කර 13 ක්‌ පුරා පැතිරුණු මුගල් මල් උයන මාස කිහිපයකට පමණක්‌ නරඹන්නන්ට විවෘතය. ඉන්දීය ජනපති හා කාර්ය මණ්‌ඩලයට ආහාර පිසීම සඳහා කෝකියන් 25 ක්‌ අනුයුක්‌ත කර ඇති අතර එයින් දෙදෙනෙක්‌ පළමු පුරවැසියා වෙනුවෙන්ම වෙන්කර තිබේ. එදා රාම්නාත්ට ඇතුළුවීමටවත් ඉඩ නොලැබුණු ශිම්ලා ජනපති නිවසට දැන් ඔහුට දොර විවෘත වූයේ උත්සව ශ්‍රීයෙනි. ශිම්ලාහි පිහිටා ඇත්තේ ඉන්දීය ජනපතිගේ ග්‍රීෂ්ම මන්දිරයයි.

චතුර පමුණුව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.