"තිස්‌ස චාරුලතාව දැක්‌කෙ
කොළ, කහ, රතු ට්‍රැෆික්‌ ලයිට්‌ එකක
මැද කහ පැහැය වගේ"


"මට ඕන උනේ තාත්තව ආරක්‍ෂා කරන්න. මං ආදරේ කළේ එහෙමයි"
මේ සංවේදී මිනිසා අතිසංවේදී වූයේ තමාට වඩාත් සමීප දේ කෙරෙහිය.
"මේ පාට පාට ගිනි ජාලා මැද සුදුපාට බුදුරුවක්‌ තියෙනවා. හරියට දාහක්‌ ප්‍රශ්න මැද්දෙ මට ඔයාව පේනවා වගෙයි දුව"

කුඩා කල තමා දමා ගිය එක ගැන තිස්‌ස තුළ විශාල කනගාටුවක්‌ හා පසුතැවිල්ලක්‌ තිබුණා යෑයි චාරුලතා සිතන්නේ තම පියා නිතර කී යමක්‌ හේතු කොට ගෙනය. පසු කලක යළි ඇසුරට වරම් ලද විට තිස්‌ස ඇතැම් තැනකට තම දියණියවද කැටුව යන්නට ආශා කළේය. එවන් විටෙක තිස්‌ස තම දියණියව යම් අයෙකුට හඳුන්වා දුන්නේ. " මේ මං දාල ගිය කෙල්ල" යනුවෙනි. තමා ඇයව දමා ගිය නොවේදැයි ඔහු කොතරම් පශ්චාත්තාප වී දැයි එයින්ම හැඟෙයි. චාරුලතා පවසනුයේ තම පියා කිසිදාක තම මව විවේචනය නොකළ බවයි. විවේචනය නොකළා පමණක්‌ නොව තිස්‌ස සැමවිට චාරුගේ මවට බොහෝ සේ ගරුසරුව කතා කළේය. තිස්‌ස තම දියණිය සමඟ ඇගේ මව් ගැන කතා කළේ සුබවාදීවය. පුෂ්පා ශ්‍රේෂ්ඨ මවකැයි තිස්‌ස චාරු සමඟ කියා ඇත. තම අත් දෙක එකතු කොට තමා ඇයට ආචාර කරන්නේ යෑයි තිස්‌ස දිනක්‌ පුෂ්පා ගැන දියණිය චාරුලතාට කීවේය. ඔහු මෙලෙස කීවේ අසනීපව රෝහලේ සිටියදීය. චාරු ඔහුව බලන්නට ගිය විටෙකය.

තාත්තා ගැන අංශු මාත්‍රයක වත් වෛරයක්‌, තරහවක්‌ තම සිත් තුළ නූපදින්නේ තම මව නිසා යෑයි චාරු කියයි. තම පියාගේ කිසිදු තරමක වරදක්‌ ඇය තමා සමඟ කියා නැතැයි ඇය කියයි. "අම්මා මාව හැදුවේ කුමාරිකාවක්‌ වගේ" යෑයි මේ දියණිය කියයි. ඒ තරමටම චාරු සැප වින්දාය. එනම් කිසිදු දුකක්‌ නොදැනෙන්නට සිය මව වග බලා ගත්තාය. මැය නොලද්දේ එකම එක යමකි. එනම් ඒ තාත්තාගේ ඇසුර සෙනෙහසය.

තමාට තම පියාගෙන් ලැබුණු දේ වින්දා මිස අන් කිසිවිටක තමා තරග කළේ නැතැයි චාරුලතා කියන්නීය. තමා සහ තම පියා අතර දැඩි බැඳීමක්‌ පැවතියේ කතාබහ කළ දේවල් සමඟ යෑයි ඇය කියයි. අන්කිසිවකු ඒවා නොදන්නා බව ඇය කියයි. මින් ඇය ඉඟි කරන්නේ තමා සහ ඔහු පමණක්‌ දන්න දැඩි බැඳීමක්‌ පසු කලක ඔවුන තර ගොඩ නැගුණු බවයි. එසේ නම් තිස්‌සගේ තෙවැනි දියණිය තිස්‌සව දකින්නේ කෙසේද? තිස්‌ස තමාට දුරින් පිහිටි දෑ කෙරෙහි ඉතා සෘජු තීරණ ගනිමින් ප්‍රතිපත්තිගරුක වූ නමුත් තමන්ට කිට්‌ටු සමීප දේ හමුවෙහි සැලුණු බව චාරුලතා කියයි.

තිස්‌ස කළේ තමාට රිසි දේය. එහි හරි වැරදි බැලුවේ පසුවය. ඇතැම් තීරණ වැරදි බව හැඟුණද පෙරට තැබූ පය පසුපසට නොගත්තේ ඔහු තුළ වූ අභිමානය නිසාය. එකී අභිමානය ඔහු තුළ වූයේ සිය සුදුසුකම් නිසා විය හැකි බව චාරු කියයි. එබැවින් ඔහු ආඩම්බරකාර මිනිසකු බව පවසන්නේ තිස්‌සගේ තුන්වැනි දියණියයි. ඈ තම පියා ගැන සිතන පතන අන්දම අතිශයින්ම වැදගත්ය.

තිස්‌ස තුළ වූ අභිමානයම අවදානමක්‌ ලෙස ඇයට දැනුණාදෝ අපට සිතෙයි. චාරුලතා තම පියා දෙස එක්‌ අන්තයකට නොවැටී, අතිසංවේදී නොවී උපේක්‍ෂාවෙන් බලන්නට තරම් පොහොසත් වෙයි. දැනුවත් වෙයි.

තමාට සිය වැඩිමහල් වයසේදී තම පියාව දැනුණේ වුවද තමාගේම දරුවකු ලෙස යෑයි චාරුලතා කියයි. එම කතාවෙහි මහා අරුතක්‌ ඇත. තමාට වුවමනා වූයේ තම පියාව ආරක්‍ෂා කරන්නැයි චාරු කියයි. එනම් ආරක්‍ෂා කරන්නට සහ ආදරේ කරන්නැයි ඇය කියයි. එයින් එහා තමාට තම පියා ගැන විවේචනයක්‌ නැතැයි ඇය පවසයි. ආදරෙන් ආරක්‍ෂා කරගත් නිසා නැවත වරක්‌ තම පියා තමාට ලැබුණේ අගනා වස්‌තුවක්‌ ලෙස යෑයි චාරුලතා කියන්නීය. ආදරේ හැටි එහෙමය. එනම් එය නොලැබෙන තරමටම ලැබීමකි.

තිස්‌ස වරක්‌ චාරුලතා කෙරෙහි සිය කවි සිතෙහි පහළ වූ හැඟුම් මෙපරිදිව පබැඳුවේය. පියා තම දියණියව දකිනුයේ කොළ කහ රතු වීදි ලාම්පුවල මැද කහ පැහැය සේය.

''Amber light
Now there are others
As there were others
before you
Born of the same seed
Blown in the wind''

චාරුලතා මේ කව ගැන කියන්නේ තමා මේවා ගැන සතුටු වූයේ හෝ දුක්‌ වූයේ හෝ වාද කළේවත් නැති බවය. " මම තවමත් ඉන්නෙ තාත්තා මාත් එක්‌ක කතා බහ කළ දේවල් එක්‌ක. මට ලියා එවූ දේවල් එක්‌ක" චාරුලතා ස්‌ව සිත විවර කරන්නීය.

මේ සංවේදී මිනිසා අතිසංවේදී වූයේ තමාට වඩාත් සමීප දේ කෙරෙහිය. දරුවන් බිරිඳ ආදී වූ සමීප අය කෙරෙහි ඔහු සංවේදීව වෙහෙසුනේය. සියල්ලන්ම නොරිදවා සිටින්නට ඔහුට වුවමනාය. පීඩනය වැඩිම අන්තයට විසඳුමක්‌ වන්නට ඔහු පෙළැඹුනේය. අඩු පීඩනයක්‌ සහිතව ළතැවුණු කෙනෙකු විඳි දුක ගැන තකන්නට ඔහුට නොහැකි විය. මන්දයත් තිස්‌ස ඒ වනවිට වැඩිම පීඩනය සහිත අන්තයට බැඳී සිටි නිසාය. වැඩිපුරම හඬ නඟන කෙනෙකුට පිළිතුරු සොයන්නට ඔහු එදෙසට හැරෙයි. එවිට නිහඬව දුක්‌ පීඩාව දරාගෙන සිටි කෙනෙකුව තිස්‌සට මග හැරෙන්නට ඇත. ඇතැම් විටක වඩාත් නිවැරදිව තීරණය ගන්නට තිස්‌සට නොහැකි වන්නට ඇත්තේ මේ නිසා විය හැකිය. ඇතැම් තීරණ අපක්‍ෂපාතී නැතැයි සිතෙන්නේ ඒ නිසාය.

සාමාන්‍ය දැනුමක්‌ ඇතිව ඔහු දෙස බලන පිටස්‌තර කෙනෙකුට ඔහුව පෙනෙන්නේ වැරදි විදියකට විය හැකි නමුත් ඔහු පුදුමාකාර මිනිසෙක්‌ යෑයි දියණිය, චාරුලතා විග්‍රහ කරයි. එය දියණියක තම පියා ගැන කරන ආත්ම වර්ණනාවක සංවේදීකම අභිබවා යන්නකි. චාරුලතා ඒ ගැන මුමුනන වදන් මෙබඳුය.

තාත්ති වැඩියෙන් හඬ නැගෙන තැනට පිළිතුරු දුන්නා. එවිට නිහඬව දුක්‌ විඳින කෙනාව මග හැරුණා. නමුත් නොහිතා හිටියෙ නෑ. මේ වගේ දේවත් ඔහුට සදාකල්ම හිතට වද දුන්නා.

රාජ කුමාරිකාවක සේ තම දියණියව රැක බලා ගන්නට වෙහෙසුණු පුෂ්පාගේ එකම, එකායන අරමුණ වූයේ තම දියණියට හොඳ අධ්‍යාපනයක්‌ දී දෑස පාදන්නටය. වැරදුනු, වැටුණු, අහිමිවුනු
පැරදුනු තැන් හිඩැස්‌ මැකිය හැකි එකම පිළියම එය බව ඇය සිතුවාය. ඇය ගුරු මාතාවකි. දරුවකු සමඟ තනිවූ මාතාවකි. සම වයසේ අන් දරුවකුට වඩා ඇඳුම් පැළඳුම් සපත්තු බෑග් සෙල්ලම් බඩු යනාදියෙන් තම දරුවාව සපුරාලන්නට ඈ උත්සාහ කරන්නේ මන්දැයි අනුමාන කිරීම පහසුය. විශාලතම අඩුවක්‌ මකාලනු පිණිස අන් අඩුපාඩු සියල්ල පමණටත් වඩා සපුරාලන්නට ඇය වග බලා ගත්තාය. එහෙත් චාරුලතාගේ ජීවිතයේ අවශ්‍යම කාලයක සිය පියා ඈ අසල නොසිටියේය. එබැවින්ම තම ජීවිතයට රිංගාගත් දුබලකම් ද රැසක්‌ ඇතැයි චාරුලතා පවසයි.

පිරිමියකු වූ පමණින්ම තමා කිසිවකුට ගරු කරන්නේ නැතැයි ඇය කියයි. තම දිරිය මව කිසිදු කෙනෙක්‌ ඉදිරියෙහි හිස නමනවා තමා දැක නැති බව ඇය පවසයි. තම පියාගේ ඇසුර අහිමිවීමෙන් සිදු වූ යහපත වන්නේ චිත්‍රපට හෝ කලාව දෙසට හිත නොයොදවා අධ්‍යාපනය කෙරෙහිම යොමු වන්නට හැකිවීම යෑයි ඇගේ අදහසයි. ඇයට ඉලක්‌කයක්‌ තිබිණි. එම අරමුණකරා යා යුතු මාර්ගයට බාධක අවම විය. පසු කලක පියා සමඟ වූ කතා බහ නිසා චාරුලතා ලද පරිණත බව වටින්නේ මිනිසුන්ගේ සිත් වටහා ගැනීමට හැකිවීම නිසාය. මිනිසුන් යම් යම් දේ කරන්නේ ඇයි? අප නොසිතන හේතු තිබිය යුතුය. එබැවින් මිනිසුන් සහ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳව ඉක්‌මනින් තීරණ වෙත නොයා යුතුය. තමා තම පියා ගැන පවා එලෙස සිතන්නට හුරු වූ බව චාරුගේ අදහසයි.

නව යොවුන් වියේදී චාරුලතා පෙම්වතියක වූවාය. මෙම සම්බන්ධතාවයට මව එරෙහි වූවාය. පියා උපේක්‍ෂා සහගත ලෙස තම බිය පළ කළේය. තමා ඉතා අඩු වයසින් තීන්දු ගත් බවත්, විවාහයක්‌ ගැන සිතන්නට වුවමනා පරිණත බවක්‌ එකල නොවූ බවත්, කියූ තිස්‌ස තම ජීවිතය වැරදුනේ එබැවින් බවත්, චාරුට කීවේය. දෙවරක්‌ම විවාහය වරද්දා ගත් තිස්‌ස තම දියණියට එසේ නොවිය යුතු යෑයි ප්‍රාර්ථනා කළේය. තම වයසට වඩා වැඩි පරිණත බවක්‌ සතු ඇය දැන සිටියාය. ඉක්‌මනින් විවාහ වී ඉක්‌මනින් නිවසක්‌ තනා ඉක්‌මනින් දරුවන් සැදීමට තමාටත් තම සහකරුවන බිඟුමල්ටත් වුවමනා වී යෑයි චාරුලතා කියයි. චාරු අද සිව්දරු මවකි. යහපත් ගෘහණියකි. සුව සතුට විඳින ගෘහණියකි. ඒ බව සාක්‍ෂාත් කළේ ඇයගේ සෙවණෙහි ජීවිතය ගෙවන සිය මවුමය. පියකු අහිමි දියණියට හා පුරා කියා පිරිමියෙකු මුණ ගැසෙයි. සමීප වෙයි. මේ දෙස තිස්‌ස බැලුවේ කෙවිලසකටද?

"මං පෙම්වතියක්‌ වුණේ අවුරුදු 14 දී. තාත්තා කෙනෙකුගේ සමීප ඇසුරක්‌ ඇති දුවක්‌ නම් ඒ තරම් පොඩි වයසකදී පෙම්වතෙක්‌ හොයන්නේ නෑ කියලයි මම හිතන්නේ. තාත්තා ළඟ නැති පාඩුව "බිඟු" ගෙන් මැකුනා. ඒ නිසා මම ඔහුට බැඳුනා. අදටත් මම කියන්නේ බිඟු මගේ " හදා ගත්ත තාත්තා" කියලයි. අපි කසාද බැන්දේ මට යන්තම් 23 සහ බිඟුට 25 දී. අවුරුදු 14 දී මේ ගැන සැහැල්ලුවෙන්, සුන්දරව කතා කළ තාත්තී, අවුරුදු 22 දී කසාද බඳින්න ඕනෙයි කිව්වම එකපාරටම කලබල වෙලා "ඔයාට හොඳටම විශ්වාසද ඔය දෙන්න එකතු වෙන්න ඕනෙයි කියල? ඔයාලාට ඔය තීරණ ගන්න තරම් පරිණත කමක්‌ තියනවද? තාත්තා කලබල වෙලා පොඩි කාලේදී වැරදි තීරණ ගත්තා. ඒකයි මට ජීවිතේ ගැටලු සහගත වුණේ.

"දුවේ ටිකක්‌ හිතල බලන්න. තව ටිකක්‌ ලොකු වෙනකන්" කියල ඔහු කිව්වා."

චාරුලතා සහ බිඟුමල් එක්‌ව තැනූ නිවසට ගෙවදින සුභ මොහොතට තිස්‌සද පැමිණියේය. මේ සොඳුරු කැදැල්ල ඉදි කෙරුණේ දෙහිවල අත්තිඩිය නිසසල වගුරු බිමකට මායිම්වය. එහි මුල් ගල තබන දාද තිස්‌ස ආවේය. තිස්‌සට එය අතිසංවේදී මිනිත්තු පෙළකි. ජීවිතයේ අතරමග නොදරු කාලයේ දමා ගිය දැරිය උස්‌ මහත්වී, වැඩිහිටිවී තම බිමකම නිවසක්‌ තනා ඊට ගොඩ වන සුභ දවස තම දියණියගේ ඇරයුම පිළිගෙන තිස්‌ස එහි ආවේය. සුවිශේෂ තෑග්ගක්‌ ඔහු තම දියණිය අත තැබීය. හිස්‌ කැන්වසයක්‌ මත නෙක පාට එහෙ මෙහෙ තවරා මතු කළ විශාල චිත්‍රයකි.

"මේ පාට පාට ගිනිජාලා මැද සුදු පාට බුදුරුවක්‌ තියනවා. හරියට දාහක්‌ ප්‍රශ්න බාධක මැද්දෙ මට ඔයාව පේනව වගේ"

තිස්‌ස එම චිත්‍රය චාරු අත තබමින් කීවේය. අන් සියලු දෑ මැද එම චිත්‍රය මැනැවින් දිස්‌වන සේ එම නිවසේ දැවැන්ත බිත්තියක්‌ තිස්‌සගේ තෑග්ග වෙනුවෙන් සදාකාලිකවම වෙන් කෙරිණි. යමෙකු සර්වකාලීන වන්නේ මෙබඳුවය.

තිස්‌ස මියෑදුනු පසු එය දරාගත නොහැකි වූ දරුවන් අතර චාරුලතා ඉහළින්ම සිටින්නට ඇතැයි සිතන කෙනෙකුට වුවමනා සාක්‍ෂියක්‌ මෙපරිදිය. නොතේරෙන කල ඔහු මේ දියණියව දමා ගියේය. නමුත් කෙසේ හෝ ජීවමානව සිටිනවා නේදැයි සිතා ගන්නට ඇයට ඉඩ ලැබිණි. පත්තරයක හෝ ටෙලිවිෂනයේ හෝ පෙනෙන්නට සිටියේය. දෙවැනි වර තිස්‌ස යන්නම ගියේය. නොඑන්නටම ගියේය.

"මං ගෙදර ගියාම තාත්තාත් අත් දික්‌ කර ගෙන පඩි පෙළ බැහැගෙන එනවා. හරියට මගේ දරුවො ඉස්‌කෝලෙ ඇරිල මං ගාවට දුව ගෙන එනව වගේ"

" අනන්ත වූ කාලයක්‌ හදවතේ මුල්ලක සැඟවී තිබූ ගීතයක්‌ චාරුගේ මුවින් ගිලිහී ඈතට ඇදී ගියා" එබඳුව ඔහු පබැදූ කවිය "චාරුලතා" ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.