හොංකොංහි අන්ධකාර කතාව 'මිනීපෙට්‌ටි නිවාස්‌'

"මිනී පෙට්‌ටියක පණපිටින් ජීවත් වෙන්න ලැබුණොත් මොන වගේ දැනේවිද..? ඒක මරණයට වැඩිය නරක අත්දැකීමක්‌.. ඒ අත්දැකීම මම වින්දේ නැති වුණත් ඒ අත්දැකීම විඳින මිනිස්‌සු දැකපු පළවැනි දවසේ මට ඒක ලොකු කම්පනයක්‌ වුණා.. එදා මම ආපහු ගෙදර එනකොටත් මගේ ඇස්‌වලින් ගලන කඳුළු නවත්තගන්න බැරි තරම්.."

හොංකොංහි 'මිනී පෙට්‌ටි නිවාස්‌ ගැන

'නැෂනල් ජියෝග්‍රැෆික්‌' සඟරාව හරහා ලොවට පෙන්වූ ඡායාරූප ශිල්පී බෙනී ලැම් තම අත්දැකීම ගැන එම සඟරාවට ලියන්නට පටන් ගත්තේ ඒ අයුරිනි.

හොංකොං ලෝකයේ ධනවත්ම ආර්ථික කලාපයකි. අහස උසට ගොඩනැංවුණු සුඛෝපභෝගී පහසුකම් සහිත ගොඩනැඟිලි, නියෝන් එළියෙන් රාත්‍රියටත් දහවලක්‌ මෙන් එළිය වුණු වීදි, දිවා රෑ විවෘතව ඇති වෙළෙඳසල්, ඒවායේ නිරන්තරව ගැවසෙන ධනවත් පාරිභෝගික ජනතාව ඇති හොංකොං ලෝකයේ වැදගත්ම වෙළෙඳ මධ්‍යස්‌ථානයකි.

එහෙත් මේ ධනවත් නගරයේ දීප්තියට පසුපසින් සැඟවී ඇතිs අන්ධකාර කතාව ගැන දන්නේ කීයෙන් කී දෙනාද.?

හොංකොංහි ජනගහනය මිලියන 7.5 කට අධිකය. එහෙත් එහි ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය සීමා සහිතය. ඒ නිසා එහි ඉඩම්වල මිල ඉතා ඉහළය. නිවාසවල මිල සාමාන්‍ය වැසියන්ට දරන්නට බැරි තරම්ය. ලෝකයේ රටවල් වලින් නිවාස මිල අධිකම හොංකොංවල යෑයි කියෑවෙයි. එබැවින් නිවාස අහිමි මිනිසුන් එහි බොහෝ ඇත. එවන් මිනිසුන්ට බොහෝ විට පිහිටට ඇත්තේ කුඩා කොටස්‌වලට බෙදුණු මහල් නිවාසයක කොටසක්‌ පමණකි. මේ මහල් නිවාස කොටස්‌ කොතරම් කුඩාද කිවහොත් ඒවා සාමාන්‍ය මිනී පෙට්‌ටියකට වඩා විශාල වනුයේ අඟල් කිහිපයකින් පමණකි. මේ කුඩා කුටීර නිවාස හඳුන්වනුයේ 'මිනී පෙට්‌ටි නිවාස්‌ යනුවෙනි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ කූඩු නිවාස හඳුන්වනුයේ "මනුෂ්‍යත්වයට කරන බරපතළ නිගාවක්‌" වශයෙනි. එහෙත් නිවාස ගැටලුවට වෙනත් විකල්පයක්‌ නැතිකම හේතුවෙන්ම හොංකොංහි වැසියෝ 200,000 ක්‌ පමණම මේ මිනීපෙට්‌ටි නිවාසවල ජීවත් වෙති. මේ 200,000 ක්‌ වූ ජනගහනය අතර කුඩා දරුවන් ද හතළිස්‌ දහසක්‌ පමණ සිටින බව වාර්තා වෙයි.

මේ මිනී පෙට්‌ටි නිවාස නිර්මාණය වෙන්නේ මහල් නිවාස කොටස්‌ වලට බෙදීමෙනි. මහල් නිවාස කුඩා කොටස්‌ වලට බෙදා කුලියට දීම එරට නීතියෙන් තහනම් වුව ද මහල් නිවාස හිමියෝ තම නිවාස කොටස්‌ වලට බෙදා අඩු ආදායම්ලාභී, නිවාස නැති මිනිසුන්ට බදුදීම තවමත් සිදු කෙරෙන කාර්යයකි. වර්ග අඩි 400 ක මහල් නිවාසයක්‌ එහි හිමිකරුවන් විසින් අඩුම තරමේ කොටස්‌ විස්‌සකටවත් බෙදෙනු ලබයි. හැකියාවක්‌ ඇති නම් ඊටත් වඩා වැඩි කොටස්‌ ප්‍රමාණයකට බෙදෙයි. මේ එක්‌ කොටසක මාසික කුලිය හොංකොං ඩොලර් දෙදහසක්‌ පමණ (ඇමෙරිකානු ඩොලර් 250 ක්‌ පමණ) වෙයි. එතරම් අධික මාසික කුලියක්‌ ගෙවා ලබාගන්නා නිවාසයක කාමරයක්‌ බොහෝ විට දිගින් අඩි හයක්‌ හා පළලින් අඩි දෙකහමාරක්‌ පමණ වෙයි. හරියටම කිවහොත් මිනී පෙට්‌ටියකට වඩා අඟල් කිහිපයක්‌ විශාලය. මෙම නිවාසයකට ඇත්තේ අඩි දෙකහමාරේ අඩි හයේ කාමර දෙකකි. කුස්‌සියත් වැසිකිළියත් එක කාමරයකය. අනෙක්‌ කාමරය ඉතිරි සියලු කටයුතු සඳහාය.

"නිදා ගැනීමේ පටන් උයා පිහා ගැනීම දක්‌වාම හැම දේම කරන්න ඒ මිනිස්‌සුන්ට තියෙන්නේ හැරෙන්නවත් ප්‍රමාණවත් නොවෙන ඉඩකඩක්‌.. හොංකොංවල තියෙන සෞභාග්‍යයෙන් එක දශමයක්‌වත් මේ මිනිස්‌සු අත් විඳින්නෙ නෑ.. ඒ මිනිස්‌සු ගතකරන්නේ සිරගත වුණ ජීවිතයක්‌.." බෙනී ලැම් පවසයි.

ලැම් නැෂනල් ජියෝග්‍රැෆික්‌ සඟරාවට ඉදිරිපත් කළ මේ එක්‌ මිනීපෙට්‌ටි නිවාසයක ඡායාරූපයක්‌ මේ සියලු කතාන්දර එකට පවසන කැඩපතක්‌ බඳු යෑයි ඔහු පවසයි. එහි එක්‌ මිනිසකු ඔහුගේ ඇඳේ වැතිරී විවේක ගනියි. ඔහුට ඔහුගේ දෙපා දිගහැරගන්නට ඉඩ නැත. ඔහු සිටින්නේ දෙපා නවාගෙනය. එහෙත් දෙපා නවාගත් කල ඔහුගේ දණහිස්‌ දෙපස වූ බිත්තිවල වැදෙයි. සිටගත් විට ඔලුව හැපෙන තරමට පහත් සිවිලිමෙහි ඇඳුම් එල්ලා ඇත. ලැම් කියන්නේ එරට රජයත් බලධාරීනුත් නිවාස ගැටලුවට වහ වහා විසඳුම් සෙවිය යුත්තේ ඇයි දැයි තේරුම් ගන්නට මෙම ඡායාරූපයම කරුණු සපයන බවයි.

"ඇයි අපි ඒ අය ගැන හිතන්නේ..? කෙනෙක්‌ එහෙම අහන්න පුළුවන්.. ඒ අය අපේ ජීවිතයේ හැමදාම වගේ අපිට මුණගැහෙන අය.. අපට සමීප අය.. අපි කෑම කන අවන්හල් වලදී අපට සේවය කරන වේටර්වරු, අපි සතුටින් බඩු මිලදී ගන්නා සාප්පු සංකීර්ණ මුරකරන ආරක්‌ෂක නිලධාරීන්, කාර්යාල රෝහල් පිරිසිදු කරන පිරිසිදු කිරීම් සේවකයන්, අපිට එදිනෙදා මුණගැහෙන කම්කරුවන්.. මේ වගේ අය තමයි මේ මිනී පෙට්‌ටිවල ජීවත් වෙන්නෙ.. ඔවුන්ගෙයි අපෙයි වෙනස මොකක්‌ද..? අපි ජීවත් වෙනවා.. ඔවුන් මැරි මැරී ජීවත් වෙනවා.. මේක මනුෂ්‍යත්වයට කෙරෙන නිග්‍රහයක්‌.." බෙනී ලැම් පවසයි.

නිම්මි මුදිතා හේරත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.