නාසා ආයතනයේ රැකියා ඇබෑර්තුවක්‌ තිබේ

ග්‍රහ ආරක්‌ෂණ නිලධාරී තනතුර වෙනුවෙන් ඇබෑර්තුවක්‌ ඇති බවට නාසා ආයතනය දැන්වීමක්‌ පළ කර තිබේ. වසර 3 සිට 5 දක්‌වා කාලයකට සීමා වන පූර්ණ කාලීන රැකියාවක්‌ වන එහි වාර්ෂික වැටුප ඩොලර් 124,406 සිට 187,000 දක්‌වා වේ. ඇතැම් මාධ්‍ය ආයතන ඒ පුවත වාර්තා කිරීමේදී මඳක්‌ විනෝදයට බර ශීර්ෂපාඨ යෙදීම නිසා ඇඟවුණේ පිටසක්‌වළයන්ගෙන් පෘථිවිය ආරක්‌ෂා කර ගැනීමට නාසා ආයතනයට කෙනකු අවශ්‍ය බව සහ ඒ වෙනුවෙන් හොඳ ගෙවීමක්‌ කරන බවකි. හිටපු ෂටල් අණදෙන නිලධාරියකු වූ මාක්‌ කෙලී පවා ඇබෑර්තුව සම්බන්ධ එම කවටකමට එක්‌වෙමින් තමන් බෲස්‌ විලිස්‌ යෝජනා කරන බව ට්‌විටර් පණිවුඩයකින් දන්වා ඇත. තවත් අයගේ යෝජනාවන් අතර මෙන් ඉන් බ්ලැක්‌

චිත්‍රපටියේ තරුව වූ විල් ස්‌මිත්, මාෂියන් චිත්‍රපටියේ රඟ පෑ මැට්‌ ඩේමන් සහ ඉන්ඩිපෙන්ඩන්ස්‌ ඩේ චිත්‍රපටියේ ජනාධිපති නිරූපණය කළ බිල් පුල්මන් ආදීන් වේ.

ඇත්තටම ග්‍රහ ආරක්‌ෂණ නිලධාරි තනතුර හැඟීම් දැනෙන ජීවීන් සම්බන්ධයෙන් නොව පෘථිවියේ වේවා පරසක්‌වළ වේවා ක්‌ෂුද්‍රජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන රැකියාවකි. නාසා ආයතනයේ අභ්‍යවකාශ යානා මඟින් පිටසක්‌වළට පෘථිවියෙ ක්‌ෂුද්‍රජීවීන් ගෙන ගියහොත් අනෙකුත් ග්‍රහලෝක දූෂණය විය හැකිය. අනෙක්‌ අතට එම ග්‍රහලෝක වලින් ගෙන එන සාම්පල නිසි ආකාරයට වෙන් කර රැගෙන ආවේ නැති නම් අපගේ පරිසර පද්ධතියට හානියක්‌ සිදුවිය හැකිය. ග්‍රහලෝක ගවේෂණය සිදුවිය යුත්තේ එවැනි දෙයක්‌ සිදු නොවන ආකාරයට බව පරසක්‌වළ ගිවිසුමේ 9 වැනි පනතින් දක්‌වා තිබේ. එක්‌සත් ජනපදය පරසක්‌වළ ගිවිසුමේ 9 වැනි පනතට අනුකූල වන බවට වගබලා ගැනීම නාසා ආයතනයේ ග්‍රහ ආරක්‌ෂණ නිලධාරියාගේ කාර්ය වන අතර එම රැකියාව නිර්මාණය කෙරුනේ ද එක්‌සත් ජනපදය එම ගිවිසුමට 1967 දී අත්සන් කිරීමෙන් පසුවය. නාසා ආයතනය මෙවර බඳවා ගන්නේ 8 වැනි ග්‍රහ ආරක්‌ෂණ නිලධාරියායි. වෙනත් අභ්‍යවකාශ ඒජන්සි වලත් ග්‍රහ ආරක්‌ෂණ නිලධාරින් සිටියත් ඒවා බොහෝ විට හවුලේ කෙරෙන හෝ අර්ධ කාලීන රැකියාවන්ය. ලෝකයේ පූර්ණ කාලීන ග්‍රහ ආරක්‌ෂණ රැකියා ඇත්තේ දෙකක්‌ පමණි එකක්‌ නාසා ආයතනයේ වන අතර අනික යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේය.

ග්‍රහ ආරක්‌ෂණ නිලධාරි තනතුරට ඉල්ලුම් කළ හැක්‌කේ භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතයෙන් ඉහළ උපාධියක්‌ හිමි උපාය ඥානයේ දක්‌ෂ සහ ඉහළ රාජ්‍ය නිලධාරියකු ලෙස වසරකවත් පළපුරුද්දක්‌ ඇති එක්‌සත් ජනපද ජාතිකයන්ටය. ඒ කොහොම වෙතත් පාසලේ 4 වැනි ශ්‍රේණියේ පසුවන 9 හැවිරිදි ළමයකු ද එම තනතුරට අයෑදුම් කර ඇති බව දැනගන්නට තිබේ. ඔහු නමින් ජැක්‌ ඩේවිස්‌ ය. ඔහුගේ අයෑදුම්පතේ ආවරණ ලිපිය අත්සන් කර ඇත්තේ මන්දාකිණියේ ආරක්‌ෂකයා ලෙසිනි. නාසා ආයතනයේ ග්‍රහ ආරක්‌ෂක රැකියාවට තමා සුදුසු වන්නේ මන්ද යන කාරණාත් එහි දක්‌වා ඇත. ඔහුට නරඹන්නට හැකි අභ්‍යවකාශය සහ පිටසක්‌වළ ජීවීන් පිළිබඳ චිත්‍රපටි සියල්ලම වාගේ නරඹා තිබීම, තවම වයසින් බාල නිසා පිටසක්‌වළ ජීවියකු ලෙස සිතන්න පුරුදු වීම ඉගෙන ගැනීමට කාලය තිබීම සහ සහෝදරිය පවා තමා පිටසක්‌වල ජීවියකු බව පැවසීම ආදිය ඒ කාරණාවන් අතර වේ. නමුත් නාසා ආයතනයේ ග්‍රහ විද්‍යා අංශයේ අධ්‍යක්‌ෂකගේ ප්‍රතිචාරයට අනුව ග්‍රහ ආරක්‌ෂකයකු වීමට අවශ්‍ය සුදුසුකම් රූපවාහිනියේ දකින විශේෂ නියෝජිතයකු වීමේ සුදුසුකම් හා සමාන නොවේ. නාසා ආයතනය සැමවිටම ඔවුන්ට උපකාර විය හැකි දීප්තිමත් අනාගතයක්‌ ඇති විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් සොයා බලන නිසා ජැක්‌ ඩේවිස්‌ පාසලේ අධ්‍යාපන කටයුතු මහන්සි වී හොඳින් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සහ අනාගතයේ දිනයක ඔහුව නාසා ආයතනයේදී දැකීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්‌ෂවරයා ජැක්‌ ඩේවිස්‌ වෙනුවෙන් අන්තර්ජාලයේ පළ කළ ලිපියේ දක්‌වා තිබුණි.

ග්‍රහ ආරක්‌ෂණය අභ්‍යවකාශ දූත ගමන් නිර්මාණයේ සහ ක්‍රියාත්මක කිරීමෙදී මඟ පෙන්වන බරපතළ කටයුත්තකි. මිනිසා හඳ වෙතට ගෙන ගිය ඇපලෝ වැඩසටහනේ ගඟනගාමින් හඳේ ගල් පෘථිවියට ගෙන ආ විට ආරම්භයෙදීම සාම්පල මෙන්ම ගඟනගාමින්ව ද නිරෝධායනය කෙරුණි. තවත් නිදසුනක්‌ ලෙස සෙනසුරු ග්‍රහයා ගවේෂණයට යෑවූ කසිනි යානාව දැක්‌විය හැකිය. අද එම යානාව පසුවන්නේ වසර 20 ක දූත ගමනේ අවසාන කාලයේය. පසුගිය වසර 13 ම සෙනසුරු වටා කක්‌ෂීය ගමනේ යෙදුණු එහි මේ වන විට ඉන්ධන ඉතිරිව නැති අතර නාසා ආයතනයට එහි දිශානතිය පාලනය හෝ ගමන් පථය වෙනස්‌ කිරීම ද කළ නොහැකිය. කසිනි යානයට නිකන්ම මියයන්නට ඉඩ නොදී මේ වසරේ මුලදී එහි ඉතිරිව ඇති ඉන්ධනවල උපකාරයෙන් අඟහරු සමඟ ගැටී විනාශ වීම සහතික කෙරෙන ගමන් පථයකට යෙදවුණි. එසේ කෙරුණේ සෙනසුරුගේ චන්ද්‍රයන්ගෙන් එන්සලඩස්‌ නම් චන්ද්‍රයාට ජීවය වාසය කළ හැකි යෑයි අපේක්‌ෂා කෙරෙන උප පෘෂ්ඨ සාගරයක්‌ ඇති හෙයිනි. කසිනි යානයට ඉබේ මියයන්නට ඉඩ හැරියේ නම් සමහර විට යානය එන්සලඩස්‌ට ඇද වැටී පෘථිවියේ ක්‌ෂුද්‍රජීවීන් එහි තැන්පත් වන්නට ඉඩ තිබුණි. ඒ අතරට යානයේ ප්ලූටෝනියම් බලැති ජෙනරේටර් 3 ද එක්‌වේ. එම ජෙනරේටර ගොඩනඟා ඇත්තේ යානය දියත්කිරීමේ පිපිරීමකදීවත් විනාශ නොවන අයුරින් නිසා එන්සලඩස්‌ සමඟ ගැටීමෙදී ජෙනරේටර් විනාශ නොවන්නට ඉඩ තිබේ. කාලයත් සමඟ එම ජෙනරේටර් අයිස්‌ කටුවෙන් උප පෘෂ්ඨයට පැමිණ ටික කාලයක්‌ එහි තිබී සාගරයට යා හැකිය. සුදුසු පරිසරය සහ තාපය ලැබීම මත ක්‌ෂුද්‍රජීවින්ට බෝ වෙමින් වැඩිය හැකි නිසා ඒවා සාගරයේ පැවතීම හොඳ දෙයක්‌ නොවේ. එවැන්නක්‌ වීමේ අවස්‌ථාව ඉතාමත් දුර්ලභ විය හැකි වුණත් නොවිය හැකි යෑයි කිව නොහැක. නාසා ආයතනය බ්‍රහස්‌පති ගවේෂණයට යෑවූ ගැලීලියෝ යානයේ අවසානය සැකසුවේ ද කසිනි යානයේ ආකාරයටම ය. ගැලීලියෝ 1995 දී යෝධ බ්‍රහස්‌පති ග්‍රහයා මතට ඇද වැටුණි. එසේ වීමට කටයුතු කෙරුණේ ජීවය තිබිය හැකි බ්‍රහස්‌පතිගේ යුරෝපා චන්ද්‍රයා හෝ උප පෘෂ්ඨ සාගරයක්‌ ඇති වෙනත් චන්ද්‍රයකු මතට ඇදවැටීම වැළැක්‌වීම සඳහාය. වර්තමානයේ බ්‍රහස්‌පති වටා කක්‌ෂීය ගමනක යෙදී සිටින ජූනෝ යානය ද තම මෙහෙය අවසානයේ එම ඉරණමටම ලක්‌ වෙනු ඇති. මේ ආකාරයට පෘථිවියෙන් ගෙනයන ක්‌ෂුද්‍ර ජීවින්ගෙන් ග්‍රහයන් දූෂණය නොවන තැනට කටයුතු කිරීමත් එම ග්‍රහලෝකවල සිට පෘථිවියට සාම්පල ගෙන එන විට එම ගමන් වලින් අපේ පරිසර පද්ධතියට හානියක්‌ නොවීමට කටයුතු කිරීමත් ග්‍රහ ආරක්‌ෂණ නිලධාරියාගේ වගකීම වේ.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.