ගීසා පිරමීඩයේ ගුප්ත කොරිඩෝවක්‌

ගීසාහි පිරමීඩවල සිට ලක්‌සර් සොහොන් කොත් දක්‌වා වූ මහා අභිරහස්‌ ගොන්නක්‌ සඟවාගත් භූමියකි ඊජිප්තුව. වසර දහස්‌ ගණනක සිට රැකෙමින් පවතින මේ මහා අභිරහස්‌ විසඳීම සඳහා උත්සාහයන් ගණනාවක්‌ම සිදු කෙරුණ ද තවමත් නිසි පිළිතුරක්‌ නොලද ඉතිහාස ගැටලු ගොන්නට මේවා එක්‌ව තිබේ.

කෙසේ වුව ද ගීසාහි මහා පිරමීඩයේ රහස්‌ සොයා යැමේ මෙහෙයුම් පුරාවිද්‍යාඥයන් තවමත් අතහැර දමා නැත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගීසා මහා පිරමීඩයේ අභිරහස විසඳාගැනීමේ මඟක්‌ පාදා ගැනීමට ඔවුහු සමත්ව සිටිති. මේ මහා ඉදිකිරීමේ අභ්‍යන්තරයේ කුමක්‌ පවතිනු ඇද්ද? මේසා විශාල ඉදිකිරීමක්‌ කුමක්‌ සඳහා සිදුකරන්නට ඇත්ද? තවමත් නොවිසඳුණු මේ පැනයන්ට පිළිතුරක්‌ පුරාවිද්‍යාඥයන්ගේ නවතම සොයාගැනීමෙන් ලැබේවිද? තවමත් නිශ්චිත වශයෙන් මේ පැනයට පිළිතුරක්‌ දීමට නොහැකි වුව ද නවතම සොයාගැනීම ගීසා පිරමීඩයේ අභිරහසේ තවත් පැතිකඩක්‌ නම් හෙළිකරනු ඇත. විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට ඔවුන් විසින් පිරමීඩය තුළ පිහිටි රහසිගත ස්‌ථානයක්‌ සොයාගෙන තිබේ. ගීසා පිරමීඩයේ අභිරහස්‌ අභ්‍යන්තරය ගැන සහ එතුළ ඇති ඉපැරැණි නිර්මාණ පිළිබඳව සෙවීම අරමුණු කරගෙන ආරම්භ කර ඇති 'ස්‌කෑන් පිරමිඩ්' නම් ව්‍යාපෘතිය යටතේ අධෝරක්‌ත කිරණ භාවිතයෙන් සිදුකෙරුණු පරීක්‌ෂණයකින් මෙම සැඟවුණු අවකාශය සොයාගැනීමට පරීක්‌ෂණ කණ්‌ඩායම සමත්ව ඇති බව සඳහන්ය.

"ස්‌ථාපිත කරපු සෑම තාක්‌ෂණික උපකරණයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සැඟවුණු අවකාශය තිබෙන්නේ කොතනද කියන එක දැනගන්න. මේ වන විට අපි දන්නවා එහෙම අවකාශයක්‌ තිබෙනවා කියලා. අපි නොදන්නේ ඒක නිශ්චිතවම තියෙන්නේ කොතැනද කියන එක. ඒත් අපි හැම උත්සාහයක්‌ම ගන්නවා ඒ අවකාශය තියෙන තැන හරියටම දැන ගන්න".

ස්‌කෑන් ප්‍රොජෙක්‌ට්‌ ව්‍යාපෘතිය මෙහෙයවන HIP ආයතනයේ සභාපති මෙහ්දි ටයෝබි සඳහන් කර ඇත. විශ්වාස කෙරෙන අකාරයට මෙම සැඟවුණු අවකාශය පිරමීඩයේ උතුරු මුහුණත දිසාවේ පිහිටා ඇති අතර එය පිරමීඩයේ අභ්‍යන්තරයට ගමන් කළ හැකි කොරිඩෝවක්‌ විය හැකි බවයි පැවසෙන්නේ. මේ අවකාශය සෙවීම සඳහා ඔවුන් ක්‍රමවේද දෙකක්‌ භාවිත කිරීමට නියමිතය. එනම් තාප ලේඛන ක්‍රමය හා අන්තරික්‌ෂ කිරණ ක්‍රමයයි. මෙම ක්‍රම මඟින් සොයාගන්නා තොරතුරු ආශ්‍රයෙන් පිරමීඩය අභ්‍යන්තරයේ දළ සැකැස්‌ම සිතියමකට නඟා ගැනීම ඔවුගේ උත්සාහය වී තිබේ.

කුෆු පිරමීඩය ලෙස ද හැඳින්වෙන ගීසාහි මහා පිරමීඩය අඩි 479 ක්‌ උස වන අතර වසර 4000 ක ඉතිහාසය තුළ මිනිස්‌ දෑතින් නිර්මාණය කෙරුණු විශාලම ඉදිකිරීම ලෙස ඉතිහාසගතය. ලොව පැරැණි පුදුම හතෙන් එකක්‌ ලෙස ද මෙය සැලකේ. එසේම ලොව පැරැණි පුදුම හතෙන් මෙතෙක්‌ ආරක්‌ෂිතව ඇති. එකම නිර්මාණය වන්නේද මෙයය. ඊජිප්තුවේ, කයිරෝ නගරය ආසන්නයේ පිහිටි ගීසා මහා පිරමීඩය වසර 20 ක්‌ පුරා ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති බවත් එහි වැඩ අවසන් වී ඇත්තේ ක්‍රිස්‌තු පූර්ව 2560 දී බවත් ඊජිප්තු ඉතිහාසය විමසීමේදී පෙනී යයි. මෙහි ගුප්ත බව සෙවීම සඳහා මීට වඩා බොහෝ කාලයක්‌ ගතවනු ඇති බව නම් සැක නැත. දැනටමත් වසර ගණනාවක්‌ ඒ සඳහා කැප කරන්නට පර්යේෂකයන්ට සිදුව තිබේ. චන්ද්‍රයා මතට ගිය ජාතියකට ගීසා මහා පිරමීඩයේ අභිරහස සොයාගැනීමට නොහැකි වීම මහා විහිළුවක්‌ සේ පෙනී ගිය ද එයට විවිධ හේතු කාරණා රැසක්‌ බලපා තිබේ. ඉන් පළමු වැන්න නම් ඉපැරැණි පුරාවිද්‍යා උරුමයන්ට හානි නොකරමු යන මතයයි. ලොව පුරා පුරාවිද්‍යා කැණීම් සිදුවන්නේ මෙම මතයේ සිටය. විශේෂයෙන්ම ගීසා මහා පිරමීඩය ඉතා විශිෂ්ට පුරාවිද්‍යා නිර්මාණයක්‌ බැවින් එහි අභ්‍යන්තරය නිරීක්‌ෂණය කිරීමේදී නිර්මාණයට හානිවීමට ඇති ඉඩ අවම කරගත යුතුවේ. එකී පසුබිමේ සිට පසුගිය වසරේදී සිදුකරන ලද තාප පරිලෝකන ක්‍රමවේදය යටතේ පිරමීඩ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්ව විෂමතාව හඳුනාගන්නා ලදී. එක සමීපයේ පිහිටි ගල් කුට්‌ටි තුනක උෂ්ණත්වය එහි සෙසු ගල්කුට්‌ටිවලට වඩා ඉහළ බව අනාවරණය වූයේය. මෙතෙක්‌ විශ්වාස කළ ගුප්ත බවට අමතරව පිරමීඩය තුළ අනාවරණය කරගත යුතු තවත් රහස්‌ සැඟව ඇති බව ඉන් පැහැදිලි විය. ස්‌කෑන් ප්‍රොජෙක්‌ට්‌ ව්‍යාපෘතිය ආරම්භ වූයේ ඉන් පසුවය. මෙහිදී ටොන් 15 ක්‌ පමණ බර විශාල ගල් කුට්‌ටි සිසාරා ගොස්‌ අභ්‍යන්තරයේ රහස්‌ සෙවීම අරමුණ විය. රහස්‌ අවකාශය සොයා ගැනුණේ ඒ අනුවය. මෙම අවකාශය තුළින් මහා පිරමීඩයේ අභ්‍යන්තර රහස්‌ හෙළිකර ගැනීමට පර්යේෂකයන් ඉදිරි කටයුතු සිදුකරනු ඇත.

ප්‍රියංගිකා එදිරිසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.