පකිස්‌තානයේ මීළඟ අගමැති ශුද්ධවන්තයෙක්‌ද...

දින හැටක්‌ මුළුල්ලේ පැවති විමර්ශන කටයුතු අවසානයේදී නිකුත් කරන ලද පිටු 254 කින් යුක්‌ත වාර්තාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව පකිස්‌තානයේ අගමැති නවාස්‌ ෂරීෆ් ඉල්ලා අස්‌ විය... 1947 වසරේ පකිස්‌ථානය නිදහස ලබාගත් තැන පටන් එරට කිසිදු අගමැතිවරයෙක්‌ සිය නිල ධුර කාලය අවසාන වෙන තෙක්‌ රැඳී සිටියේ නැත. පකිස්‌තාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව විශ්වාසවන්ත බව හා ගුණගරුක බව ප්‍රධාන තැනක සලකනු ලැබේ. මෙම සංකල්ප පකිස්‌තානයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරනු ලැබුවේ 1999 වසරේදී පර්වෙස්‌ මුෂාරෆ් විසින් ය. මේ වන විට හමුදා නායකත්වය දරන ලද්දේ සියා උල් හක්‌ විසින්ය.

ආසියානු කලාපයේ රටවලට පොදු ලක්‌ෂණයක්‌ පවතින දේශපාලනඥයන්ට විරුද්ධව ඇති දූෂණ වංචාවන් පිළිබඳව වූ චෝදනාවන් පකිස්‌තානය මුල් කරගෙන වෙනස්‌ මුහුණුවරක්‌ ගන්නේ නැත. එය පකිස්‌තානයටත් සාධාරණ තත්ත්වයකි.

නවාෂ් ෂරීෆ් 1997 වසරේ පකිස්‌තානයේ අගමැති ලෙසින් පත් වූ පසුව බලයෙන් පහකරන ලද බෙනාසිර් බූතෝ විසින් එංගලන්තයේ රොක්‌වුඩ් ප්‍රදේශයේ අක්‌කර 141 ක ඇපල් වත්තක්‌ මිලදී ඇති බවට චෝදනාවන් ගොනු කරමින් බෙනාසිර් බූතෝගේ සැමියා අලි සර්දාර්ට සිරදඬුවම් නියම කරන ලදී. එහෙත් හක්‌කේ බුදුරැස්‌ බොක්‌කේ දඩමස්‌ යන ප්‍රතිපත්තියේ පිහිටි පකිස්‌තානයේ අගමැති ෂරීෆ් විසින් ලන්ඩනයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස මිලට ගෙන ඇත්තේ ද 1993 - 1998 කාලයේදීය. එයින් ඔහුගේ දෙබිඩි පිළිවෙත ලෝකයාට දැන් මනාව ප්‍රදර්ශනය වී අවසානය. මෙම නිවස පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ 1999 වසරේදීය. නවාස්‌ ෂරීෆ් විසින්ම පිහිටුවන ලද ජාතික වගවීමේ කාර්යාංශයේ අරමුණ වූයේ දූෂණ වංචා පිළිබඳව විමර්ශනය වුවත් මේ ගැන කතාබහ වඩාත් අවදි වූයේ 2013 වසරේ ෂරීප් තුන්වැනි වතාවටත් එරට අගමැති ලෙසින් පත්වීමෙන් පසුවය.

2013 වසරේ නවාස්‌ ෂරීෆ් මැතිවරණයේදී අගමැති අපේක්‌ෂකයා ලෙසින් ඉදිරිපත් වන විටත් වංචා දූෂණ සහ අක්‍රමිකතාවන් පිළිබඳ චෝදනාවන් අඩුවක්‌ නොවීය. පකිස්‌තානයේ 'තේහ්රික්‌ ඉන්සාෆ්' පක්‌ෂ නායක ඉම්රාන් කාන් මෙම මැතිවරණය දූෂිත යෑයි චෝදනා නැඟුවත් එයින් ඵලක්‌ නොවීය. නවාස්‌ පාර්ලිමේන්තුවේ සමස්‌ත ආසන 342 කින් ආසන 188 ක්‌ දිනාගෙන තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූයේය.

තවත් අතුරු චෝදනාවක්‌ මේ වන විට ඔහු වෙනුවෙන් ගොනු වෙමින් පැවැතුනි. එනම් කටාර් රජ පවුලේ සාමාජිකයෙක්‌ගෙන් ඩොලර් දශලක්‌ෂ සියයක මුදල් ප්‍රදානයක්‌ ලබාගැනීම පිළිබඳවයි.

2015 වසරේදී තේහ්රික්‌ ඉන්සාෆ් පක්‌ෂය ඇතුළු පක්‌ෂ කීපයක්‌ විසින් මේ පිළිබඳව චෝදනා ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම 2017 වසරේ මැයි මාසයේදී විභාග කරන ලදී. මෙම විමර්ශනයට හමුදා පාලන යටතේ පවතින බුද්ධි අංශය, ජාතික වගවීමේ කාර්යාංශය සහ විනිමය හා සුරැකුම් කොමිටිය ඇතුළු ආයතන ගණනාවක්‌ සම්බන්ධ විය.

ඒ වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරමින් මුස්‌ලිම් ලීගය කියා සිටියේ තම දේශපාලන හිතවතාට දෙමවුපියන්ගෙන් ලද දේපළ හැරෙන්නට වෙනත් අයථා මාර්ග වලින් උපයා ගත් ආදායම් මාර්ග නොමැති බවයි. ඔහුගේ පුත් හුසේන් නවාස්‌ සහ හසාන් නවාස්‌ ද මෙහිදී සාක්‌ෂි ලබාදුන්හ. ඔහුගේ දියණිය 'මාරියම්' විසින් 2006 වසරේදී ලියන ලද ලිපියක්‌ අනුව මෙම මහල් නිවාසවල භාරකාරත්වය වෙනුවෙන් මයික්‍රොසොෆ්ට්‌ සමාගමේ මෘදුකාංග යොදාගෙන ව්‍යාජ ලිපියක්‌ සකසා ඇති බව තහවුරු විය. ඒ වෙනුවෙන් යොදා ගත් 'කැලිබ්‍රි' නම් වූ අක්‌ෂර විශේෂය වෙළෙඳපොළට හඳුන්වාදී ඇත්තේ 2007 වසරේදී වන අතර මාරියම් විසින් ඇගේ භාරකාරත්වය වෙනුවෙන් සකසන ලද ලිපියට 2006 වසරේ දාතමින් මෙම අක්‌ෂර යොදා ගැනීම ඇත්තෙන්ම ඇස්‌ ඉදිරිපිට සනාථ වූ බොරුවක්‌ විය.

මේ අතර නවාස්‌ ෂරීෆ් වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය ගැන විවිධ අදහස්‌ ගොඩනැඟී ඇත. මෙය හමුදා කුමන්ත්‍රණයක්‌ ලෙසින් වූ සාධාරණ සැකය ඉදිරිපත් කරන විචාරකයන් පෙන්වා දෙන්නේ නවාස්‌ ෂරීෆ් දේශපාලනයට ඔසවා තබන ලද හමුදාව දැන් ඔහු සමඟ ප්‍රතිවිරුද්ධතාවක්‌ දක්‌වන බවයි. නවාස්‌ ෂරීෆ් විසින් කැබිනට්‌ මණ්‌ඩලයට වැඩි බලයක්‌ යොදාගැනීමට දරන ලද උත්සාහයේදී හමුදාව අතර විසංවාදී බවක්‌ ගොඩනැඟුන අතර හමුදාව උත්සාහ දරනු ලැබුවේ පවතින නායකත්වය වෙනස්‌ කිරීමටයි.

තවත් අදහසකට අනුව පෙන්වා දෙන්නේ අධිකරණය විසින් පැනමා පත්‍රිකා මුල්කර ගත් තොරතුරු වෙනුවෙන් වූ දඬුවම් වෙනුවට ඒකාබද්ධ විමර්ශන කණ්‌ඩායම විසින් අතිරේක ලෙසින් අනාවරණය කරගත් තොරතුරු පාදක කරගෙන නවාස්‌ගේ දියණියට සහ පුතුන් දෙදෙනාට එරෙහිව නඩු හතරක්‌ ගොනු කිරීමට කටයුතු සැලසුම් කිරීමයි.

නවාස්‌ ෂරීෆ්ගේ ඉල්ලා අස්‌වීම සමඟ පුරප්පාඩු වුණ අගමැති ධුරය වෙනුවෙන් දැන් උණුහුම ගොඩනැඟෙමින් පවතී. ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුක්‌ත තේහ්රික්‌ ඉන්සාෆ් පක්‌ෂය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක්‌ ඉල්ලා සිටිය ද විපක්‌ෂය වෙතින් ප්‍රබල ප්‍රතිචාරයක්‌ නොවීය. මේ නිසා තේහ්රික්‌ ඉන්සාෆ් පක්‌ෂයෙන් ෂික්‌ රෂිඩ්ගේ නම යෝජනා වී ඇති අතර ඇම්. කිව් පක්‌ෂය විසින් අගමැති තනතුර වෙනුවෙන් අපේක්‌ෂකයෙක්‌ පත් නොකොට පාලක මුස්‌ලිම් ලීගයෙන් පත් කරන අපේක්‌ෂකයාට සහාය දීමට බලාපොරොත්තුව සිටී. පාලක මුස්‌ලිම් ලීගය විසින් අගමැති අපේක්‌ෂකයා ලෙස 'සාහිඩ් බසාන් අබ්බාසි'ගේ නම යෝජනා වී ඇත. ඔහු දැනට පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ය. ඔහු වෙනුවෙනුත් දූෂණ චෝදනා දැනටමත් ගොඩනැඟී ඇත. ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටියදී දියර ගෑස්‌ ආනයන බලපත්‍ර වෙනුවෙන් පකිස්‌තාන රුපියල් දශලක්‌ෂ 220 ක මුදලක්‌ වංචා කරන ලද බවට චෝදනාවන් එල්ල වී ඇති අතර මෙය ඔප්පු වුවහොත් ඔහුට අගමැතිකම අපේක්‌ෂකත්වය පමණක්‌ නොව පාර්ලිමේන්තු අසුන ද අහිමි වන්නේය.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.