ගිලිහුණු පදක්‌කම සමඟ ශේ්‍රෂ්ඨයකුගේ සමුගැනීම

දිනය අගෝස්‌තු පස්‌වැනි සෙනසුරාදාය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්‌ටැෆර්ඩ්හි ඔලිම්පික්‌ ක්‍රීඩාංගණය එකම හිස්‌ ගොඩකින් පිරී ගොස්‌ තිබුණේය. මීළඟට යෙදී තිබුණේ මීටර් සියය පිරිමි තරගයයි. ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳි ජැමෙයිකාවේ උසේන් බෝල්ට්‌ ධාවන පථයට පැමිණියේ ඔහුගේ සුපුරුදු ගමන් විලාසයෙනි. ප්‍රේක්‌ෂකාගාරයෙන් නැඟුණු ඔල්වරසන් හඬ තවත් රන් පදක්‌කමක බලාපොරොත්තුවට වඩා සමුගැනීමේ රන් පදක්‌කම් සිහිනය ඔහුට මතක්‌කර දුන්නේය.

බෝල්ට්‌ට පසු ධාවන පථයට පැමිණියේ ඇමෙරිකානු ක්‍රීඩක ජස්‌ටින් ගැට්‌ලින්ය. දෙවතාවක්‌ම තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්‌ව සිට යළි ධාවන පථයට පැමිණි ගැට්‌ලින්ට ප්‍රේක්‌ෂකාගාරයේ ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ක්‍රීඩා පථයේ වංචාකාරයා යන චෝදනාව නිසාදෝ ඔහුට ලැබුණේ කන් බිහිරි කරවන හූ හඬ පමණි.

ගැට්‌ලින් ජයග්‍රහණය කරතැයි සිතුවා නම් ඒ ඇමෙරිකානුවන්ම පමණි. බෝල්ට්‌ගේ ජයග්‍රහණය එතරම්ම විශ්වසනීය විය. එහෙත් ඒ සිතුවිලි පැවතියේ තත්පර දහයකටත් අඩු කාලයකි. ඔල්වරසන් හඬ ලැබූ බෝල්ට්‌ අභිබවා හූ හඬ විඳි ගැට්‌ලින් තරග අවසාන රේඛාව පසුකර ගොස්‌ තිබුණේය. ලොව වේගවත්ම මිනිසා තත්පරයකටත් අඩු කාලයකින් ගැට්‌ලින්ට පරාජය වී තිබුණි. අවසානයේ ඔහුට හිමි වූයේ සමුගැනීමේ රන් පදක්‌කම නොව ලෝකඩ පදක්‌කමකි. ඒ තවත් ඇමෙරිකානු ක්‍රීඩකයකු වූ ක්‍රිස්‌ටියන් කෝල්මන් ද බෝල්ට්‌ ඉක්‌මවා ගොස්‌ තිබූ බැවිනි.

ලෝකයේ වේගවත්ම මිනිසා පරාජය කිරීමේ අභිමානය සමඟ ගැට්‌ලින් ධාවන පථය මත මොහොතක්‌ ගෙවා දැමුවේය. සමුගැනීමේ රන් පදක්‌කම උදුරාගත්ත ද සිය සගයා වෙනුවෙන් ගැට්‌ලින් උපහාර පුද කළේය. ඒ ධාවන පථය මතම දණ නමා උසේන් බෝල්ට්‌ ආචාර කරමිනි. එතෙක්‌ ගැට්‌ලින් ගැන ප්‍රේක්‌ෂකයා තුළ තිබූ අප්‍රසාදය බිඳ දමන්නට එම දර්ශනය යම් තරමකින් ඉවහල් වූ බව නිවැරදිය.

එහෙත් සිය සමුගැනීමේ තරගයේ අමිහිරි පරාජයෙන් සැලුනේ උසේන් බෝල්ට්‌ නොවේ.

"මේක තමයි සමුගන්න හොඳම වෙලාව. දැන් මගේ කකුල් රිදෙනවා. රන් පදක්‌කම අහිමි වීම ක්‍රීඩාවෙන් සමුගන්න බවක්‌ නොවෙයි.

ක්‍රීඩාව යනු ජය පරාජය දෙකම සමසේ විඳ දරාගැනීම බව ක්‍රීඩාව තුළින්ම උගත් බෝල්ට්‌ සඳහන් කළේය.

කෙසේ වුව ද සිය සමුගැනීමේ තරගවලදී මේ ආකරයෙන් අසාර්ථක වූ පළමු ක්‍රීඩකයා බෝල්ට්‌ නොවන වග සඳහන් කළ යුතුය. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සදාතනික ශේ්‍රෂ්ඨ පිතිකරුවා ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ඔහුගේ අවසන් ටෙස්‌ට්‌ තරගයේදී ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙක්‌ විය. විසිවන සියවසේ ශේ්‍රෂ්ඨම ක්‍රීඩා තරුව වන මොහොමඩ් අලී ඔහුගේ අවසන් තරගයේදී සිය ප්‍රතිවාදියාගේ එක පහරකින් බිම ඇදවැටුණේය. පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ද ඔහුගේ සමුගැනීමේ තරගයේදී කිසිදු ගෝලයක්‌ වාර්තා කළේ නැත. දැන් මේ සංගමයට අලුතින්ම එකතු වූ තරුව උසේන් බෝල්ට්‌ය.

උසේන් බෝල්ට්‌ උපන්නේ 1986 අගෝස්‌තු 21 වැනිදා ජැමෙයිකාවේ කුඩා නගරයක්‌ වූ ට්‍රෙලනි වලදී ය. දරුවන් තිදෙනකුගෙන් යුත් ඔහුගේ පවුලේ ජීවනෝපාය වූයේ දෙමාපියන්ගේ කුඩා ග්‍රොසරියයි. බෝල්ට්‌ මෙන්ම ඔහුගේ සොහොයුරා හා සොහොයුරිය මේ ග්‍රොසරියේ වැඩවලට උදව් කරමින් හැදී වැඩුණු අතර කුඩා කාලයේ පටන්ම දිවීමේ හපනෙක්‌ ලෙස කුඩා බෝල්ට්‌ ජනප්‍රිය වී සිටියේය. වයස අවුරුදු 12 වන විට පාසලේ වේගවත්ම ක්‍රීඩකයා වූ ඔහු මීටර් 100 තරගයේ සැමදා ජයග්‍රාහකයා විය. එහෙත් බෝල්ට්‌ කෙටිදුර දිවීමට එතරම් ප්‍රිය කළ ක්‍රීඩකයකු නොවූයේ ය. ඔහුගේ කැමැත්ත තිබුණේ ක්‍රිකට්‌ ක්‍රීඩාවටය. තණතිල්ල මත දුවන ඔහුගේ වේගය දුටු ක්‍රිකට්‌ පුහුණුකරු ඔහුට ජවන හා පිටිය තරගවල යෙදෙන ලෙස උපදෙස්‌ ලබාදී තිබුණේය. ඒ උපදෙස්‌ මත බෝල්ට්‌ කෙටිදුර දිවීමේ තරග සඳහා යොමු විය.

ක්‍රිකට්‌ පුහුණුකරුගේ උපදේශය නිවැරදි බව වැඩි දිනක්‌ යන්නට මත්තෙන් තහවුරු වූයේය. එවකට 15 හැවිරිදි වියේ පසුවූ බෝල්ට්‌ ලෝක කනිෂ්ට මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ඉදිරිපත් වූයේය. ඒ වන විටත් ඔහුගේ උස අඩි 6 අඟල් 5 ක්‌ විය. මේ උසින් ප්‍රයෝජන ගත් බෝල්ට්‌ මීටර් 200 තරගය තත්පර 21.61 කින් අවසන් කර ලෝක වාර්තාවක්‌ පිහිටුවීය. ඒ එම වාර්තාව තැබූ ලොව ළාබාලම ක්‍රීඩකයා වශයෙනි. ඉන් අනතුරුව 2008 ඔලිම්පික්‌ තරගාවලියේදී මීටර් 100, 200 හා 100ඞ4 තරග තුනේම රන් පදක්‌කම් ලාභියා බවට හෙතෙම පත්වූයේ ලෝක වාර්තා තුනක්‌ ද තබමිනි. 2003 වසරේදී යළි තම වාර්තාව අලුත් කරගත් බෝල්ට්‌ ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළැන්දේය. 2016 වසරේදී මෙම තරග දෙකේම රන් පදක්‌කම්ලාභියා වූයේ ඔහුය.

දිගින් දිගටම තම කිරුළ රැකගත් බෝල්ට්‌ 2008 හා 2012 ඔලිම්පික්‌ උළෙලවල අඛණ්‌ඩව මීටර් 100 හා 200 රන් පදක්‌කම් දිනමින් එවැනි ජයග්‍රහණයක්‌ ලැබූ ලොව පළමු ක්‍රීඩකයා බවට ද පත්වූයේ ය. සහාය දිවීමේ රන් පදක්‌කම ද සමඟ මෙය පදක්‌කම් තුනක්‌ ලැබූ ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගතය.

පසුගියදා ගැට්‌ලින්ට පරාජය වූයේ එවැනි ශේ්‍රෂ්ඨ ක්‍රීඩකයෙකි. එහෙත් බෝල්ට්‌ තමා හැම අතින්ම ශ්‍රේෂ්ඨ කිS්‍රඩකයකු බව කවදත් පිළිගත්තේ නැත. ක්‍රීඩාවේදී ඔහු සතුව පැවති දුර්වලකමක්‌ ද තිබුණේය. ඒ ඔහු කවදත් තරග ආරම්භය අසාර්ථක ක්‍රීඩකයකු ලෙසය. මෙවරද ඔහුගේ තරග ආරම්භය අසාර්ථක විය. මේ අඩුපාඩුව හදන්නට බැරි තැන බෝල්ට්‌ට ඔහුගේ පුහුණුකරු කියා සිටියේ අවසන් මීටර් 50 සාර්ථක කරගන්නා ලෙසය.

කෙසේ වුව ද බෝල්ට්‌ගේ මේ දස්‌කම් හුදෙක්‌ ඔහුගේ ජානවලින් පමණක්‌ පැමිණි දෙයක්‌ නොවන වග පැහැදිලිය. ඒ සඳහා ඔහු බොහෝ වෙහෙස මහන්සි වූවා සේම සෑහෙන කැපකිරීමක්‌ කළ බව ද නොරහසකි. ඔහු වරක්‌ සඳහන් කර තිබූ ආකාරයට ඔහු සතියේ දවස්‌ පහම දිවුවේය. අවම වශයෙන් දිනකට පැය අටක්‌ නිදාගත් ඔහු දවල් දවසම ක්‍රීඩා පිටියට වී සිටියේය. මේ සෑම දිනකම ඔහුගේ ප්‍රියතම කෑම වේල වූයේ පැස්‌ටාය.

දිවීම හැරුණු විට බෝල්ට්‌ ප්‍රියකළ යමක්‌ වේ නම් ඒ ක්‍රිකට්‌ ක්‍රීඩාවය. මලල ක්‍රීඩකයකු නොවූයේ නම් තමා නිසැක වශයෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වන බව ඔහු සඳහන් කරයි. ළමා කාලයේ ඔහු පාකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායමට සහාය පළ කළ අතර වකාර් යුනුස්‌ගේ පන්දු යෑවීමට වසඟ වී සිටියේලු. එහෙත් මලල ක්‍රීඩකයකු වීමෙන් තමාට ලොව පුරා සංචාරය කරන්නට ලැබීම ගැන ඔහු පසුවන්නේ දැඩි ප්‍රීතියකිනි. උසේන් බෝල්ට්‌ගේ ජීවිතයේ ඔහු ප්‍රියකරනා තවත් බොහෝ දේ ඇත. ඉන් පළමු වැන්න ඔහුගේ දෙමාපියන්ය. බෝල්ට්‌ සඳහන් කරන ආකාරයට තමා කිසිවකට හෝ ආදරය කරන්නේ නම් ඒ දෙමාපියන්ට පමණි. ඔහු තවමත් විවාහ වී නොමැති අතර ඔහුගේ මව නිතර නිතර ඒ පිළිබඳ ඔහුට මතක්‌ කර දෙන බව පැවසේ.

තවමත් 30 වැනි වියේ පසුවුව ද බෝල්ට්‌ හොඳ සල්ලිකාරයකු වේ. ෆොaබ්ස්‌ වාර්තාවලට අනුව ඔහුගේ දළ වත්කම පවුම් මිලියන 47 කි. මේසා මුදල් ප්‍රමාණයක්‌ ඔහුට ගලා එන්නේ කෙසේද? මින් බොහොමයක්‌ ඔහු හා වෙළෙඳ ආයතන අතර පවතින ගිවිසුම් මඟින් ලැබෙන මුදල්ය. පූමා වෙළෙඳ නාමය යටතේ පමණක්‌ ඔහුට වාර්ෂිකව පවුම් මිලියන 8 ක්‌ ලැබේ. තරග ජයග්‍රහණවලින් ඔහු උපයා ඇති මුදල පවුම් මිලියන 1.7 ක්‌ ලෙස සඳහන් වේ. සෙසු ක්‍රීඩාවන් හා සසඳා බලද්දී මෙය ඉතාමත් අඩු මුදල් ප්‍රමාණයක්‌ ලෙස සැලකේ. එහෙත් එයට හේතුවක්‌ තිබේ. සෙසු රටවල මෙන් ජැමෙයිකානු රජය එරට ක්‍රීඩකයන්ට ලැබෙන ත්‍යාග මුදල් සම්පූර්ණයෙන් ක්‍රීඩකයන්ට ලබා නොදේ.

මෙයට අමතරව බෝල්ට්‌ට ආදායම් ලැබෙන මාර්ග ඇත. ජැමෙයිකාව තුළ ඇති ඔහුගේ ට්‍රැක්‌ ඇන්ඩ් රේකෝඩ්ස්‌ අවන්හල් තුළින් ඔහුට හොඳ ආදායමක්‌ ලැබෙන්නේය. එසේම බෝල්ට්‌ ආහාර ගැනීමට කැමැතිම ස්‌ථානය මෙම අවන්හලය.

විශ්‍රාම ගිය දිනෙක තමා දීර්ඝ කාලයක්‌ යන තුරු කිසි කටයුත්තක නොයෙදෙන බව බෝල්ට්‌ වරක්‌ මාධ්‍යයට පවසා තිබුණේය. මෙවර ලන්ඩන් ලෝක ශූරතා තරගාවලියෙන් පසු ඔහු විශ්‍රාම ගනු ඇත. එහෙත් ඔහුගේ නාමය ක්‍රීඩාවෙන් කිසිදා විශ්‍රාම නොයනු ඇත්තේය. ඒ ඔහු තවමත් ලෝක වාර්තා පොතේ නම තබා ඇති ක්‍රීඩකයකු වන නිසා පමණක්‌ නොව කිසිදා අමකත නොවන සමුගැනීමක හිමිකාරයා ද වන බැවිනි.

ප්‍රියංගිකා එදිරිසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.