ලොව පළමු ටි්‍රලියනපතියා කව්ද?

රුපියල් දහසක්‌ ඇති පුද්ගලයාත් ලොකු ධනවතකු ලෙස සැලකුනු කාලයක්‌ තිබිණි. පසුව ලක්‍ෂපතියකු වීම උසස්‌ තත්ත්වයක්‌ ලෙස සලකනු ලැබීය. කාලය ගෙවීයත්ම හතු පිපෙන්නාක්‌ මෙන් ලොව පුරා ලක්‍ෂපතියන්ගෙන් පිරී ගියේය. අද ඒ යුගය නිමා වී සෑහෙන කාලයකි. වර්තමානයේ ලොවෙහි ඉදිරියෙන්ම පසුවන්නෝ බිලියන පතියෝය. (බිලියනයක්‌ යනු මිලියන දහසක්‌ හෙවත් කෝටි සියයකි) කවදා හෝ මෙම මට්‌ටමද ඉක්‌මවා ඊළඟ කඩඉම වන ටි්‍රලියනයේ (එනම් බිලියන දහසේ 1012 හෙවත් කෝටි දස දහසේ) සීමාවට යම් කිසිවකු ළඟා වනු ඇත. ඒ පිළිබඳ සලකුණු ලොව අංක එකේ ධනවතුන් දැනටමත් පළ කර තිබේ.

කවරකු පළමුව ඒ ස්‌ථානය ලබා ගනී දැයි අනාවැකි පළ කළ නොහැක්‌කේ ධනවතුන් අතර පළමු ස්‌ථානය නිරන්තරව වෙනස්‌ වන හෙයිනි. උදාහරණයක්‌ ලෙස මෙතෙක්‌ කල් ලොව ඉහළම ධනවතා වන බිල් ගේට්‌ස්‌ අභිබවා යැමට සුප්‍රසිද්ධ ඇමසෝන් ව්‍යාපාර ජාලයේ හිමිකරු ජෙෆ් බෙසෝස්‌ (JEFF BEZOS) සමත් විය. එසේම අද සිව්වන ස්‌ථානයේ සිටින වැරන් බුෆෙට්‌ (WARREN BUFFET) 2008 වසරේදී ලොව අංක එකේ ධනවතා විය.

මීළඟ වසර 25 තුළ ලෝකයේ පළමු ටි්‍රලියනපතියා බිහි වෙතැයි ඔක්‌ස්‌ෆෑම් (OXFAM) නම් සංගණන ආයතනය අනාවැකි පළ කරයි. ටි්‍රලියනයක වත්කම කෙබඳු වනු ඇත්ද, දිනකට ඩොලර් මිලියනය ගණනේ වැය කළහොත් එය අවසන් වීමට වසර 2739 ක්‌ ගත වන්නේය. එසේම ලොව සමස්‌ත ජනගහණයටම එක්‌ අයෙකුට ඩොලර් 140 බැගින් බෙදීමට එම ගණන සෑහෙයි. අත්‍යන්තයෙන්ම "සුපිරි" යෑයි කිවහැකි මේ ධනවතා කව්රු වනු ඇත්ද? ෆබිල් ගේට්‌ස්‌

ඔහු ගැන නොදන්නේ කවරෙක්‌ද, වසර 17 ක්‌ පුරා ඔහු ලොව අංක එකේ ධනවතාය. මීට වසර 42 කට පෙර 1975 දී පෝල් ඇලන් සමඟ මයික්‍රොසොෆ්ට්‌ සමාගම ආරම්භ කරන විට මෙතරම් සෞභාග්‍යයක්‌ ගැන ඔහුවත් සිතන්නට නැති ඇති. වර්තමානයේ ඔහුගේ ශුද්ධ ආදායම ඩොලර් බිලියන 87 කි. 2017 වසරේදී ඔහු ඩොලර් බිලියන 10 ක්‌ උපයාගෙන තිබේ.

සුපිරි ධනවතා මෙන්ම ඔහු සුපිරි දානපතියකුද වේ. 2006 වසරේදී සිය බිල් - මෙලින්ඩා ගේට්‌ස්‌ පදනම ආරම්භ කරමින් ලොව පුරා ආසාදන රෝග තුරන් කිරීම හා සාක්‍ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් සිය කාලය හා ධනය වැය කිරීමට සෘජු දායකත්වයක්‌ ලබා දී තිබේ. 2013 වසරේදී ඩොලර් බිලියන 28 ක්‌ සිය පුණ්‍ය කටයුතුවලට ලබා දී ඇත. එසේ නොවූයේ නම් ඔහුගේ ශුද්ධ ආදායම මීට වඩා වැඩි බව පැහැදිලි කාරණයකි. ඩොලර් ටි්‍රලියනයක සීමාවට ළඟා වීමට ඔහු තවත් බිලියන 913 ක්‌ උපයා ගත යුතුය. සුප්‍රකට ෆොaබ්ස්‌ සඟරාවේ අනාවැකියට අනුව එවිට ඔහුගේ වයස අවුරුදු 86 ක්‌ පමණ වනු ඇත.

* ජෙෆ් බෙසෝස්‌ (JEFF BEZOS)

මෙම වසරේ මුල් භාගයේ දර්ශකවලට අනුව ධනවතුන්ගේ ලැයිස්‌තුවේ අංක එකට පැමිණ සිටියේ සුප්‍රකට ඇමසෝන් (AMAZON) සමාගම් ජාලයේ හිමිකරු වන ජෙෆ් බෙසෝස්‌ ය. ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 90 කි. ෆොaබ්ස්‌ සඟරාව විසින් බිලියනපතියකු ලෙස ඔහුව නම් කරනු ලැබුවේ 1998 දීය. ඒ වන විට ඔහුගේ ආදායම ඩොලර් බිලියන 1.6 ක්‌ විය. 2007 වසරේදී එය බිලියන 4.4 කි. 2012 දී ඩොලර් බිලියන 18.4 ක්‌ වූ අතර එවිට ඔහු ලෝකයේ 26 වැනි ධනවතා වූයේය. පසුගිය වසර පහ තුළ බෙසෝස්‌ගේ වත්කම ඩොලර් බිලියන 70 කින් වර්ධනය වී ඇත. 2042 වන විට ඔහු ටි්‍රලියනපතියකු වන්නේ නම් තවත් ඩොලර් බිලියන 910 ක්‌ ඉපයිය යුතුය. එවිට ඔහුගේ වයස අවුරුදු 78 ක්‌ වනු ඇත. කෙසේ හෝ එම ඉලක්‌කය සඳහා වූ ලැයිස්‌තුවේ ඉදිරියෙන්ම සිටින කිහිප දෙනා අතර ඔහු පසුවේ.

* ඇමැන්ෂියෝ ඕටේගා

ස්‌පාඤ්ඤ ජාතික ධන කුවේරයකු වන ඇමැන්ෂියෝ ඕටේගා ගයෝනා (AMANCIO ORTEGA GAONA) දැනට ලෝකයේ තුන් වන ධනවතාය. ඔහුගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 83.8 කි.

උතුරු ස්‌පාඤ්ඤයේ ලියොන්හි BUSDONGO DE ARBAS නම් කුඩා ගම්මානයේ 1936 මාර්තු 28 වනදා උපන් ඕටේගාගේ පියා දුම්රිය සේවකයකු වන අන්තෝනියෝ ඕටේගාය. මව ජොසෆො ගයෝනාය.

පළමුවෙන්ම රැකියාවක්‌ කරන විට ඔහුගේ වයස අවුරුදු 14 කි. කාර්ය ශූරත්වය නිසාම ඉලක්‌කයන් ජයගත් ඔහු 1975 වසරේදී ZARA CLOTHING & ACCESSORIES නම් සිල්ලර වෙළෙඳ ජාලය ආරම්භ කළේය. එසේම INDITEX FASION GROUP සමාගම් සමූහයද ඔහු සතුය.

අද වන විට ZARA හි ගබඩා සංකීර්ණ 6000 කට වැඩි ප්‍රමාණයක්‌ ලොව පුරා පැතිරී තිබේ. ඒවායේ පමණක්‌ සිටින සේවක පිරිස 92000 කට අධිකය. ලොව ධනවත්ම සිල්ලර වෙළෙඳසල් ජාලයේ හිමිකරුවා මෙන්ම යුරෝපයේ අංක එකේ ධනවතාද වන්නේ ඕටේගාය.

* වැරන් බුෆෙට්‌

1930 අගෝස්‌තු 30 වනදා නෙබ්‍රස්‌කාහි ඕමේහා නගරයේ උපන් වරුන් එඩ්වඩ් බුෆෙට්‌ (WARREN EDWARD BUFFET) මේ වන විට ඇමරිකාවේ දෙවන ධනවතා මෙන්ම ලොව සිව්වන ධනවතාද වේ. ශුද්ධ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 73.3 කි.

2008 වසරේදී ලොව අංක එකේ ධනවතා වුයේ බුෆෙට්‌ය. ඔහු නෙබ්‍රස්‌කා හා කොලොම්බියා සරසවිවලින් උපාධි ලබාගෙන තිබේ. BIRKSHIRE HATHAWAY හි හිමිකරුවාය. 2007 වසරේදී ලෝකයට වඩාත්ම බලපෑමක්‌ සිදු කළ හැකි 100 දෙනාගේ ලැයිස්‌තුවට ඔහුද ඇතුළත් කරනු ලැබීය. එමෙන්ම "ස්‌වාධීනත්වය සඳහා වන ජනාධිපති සම්මානය" ද 2011 වසරේදී බැරැක්‌ ඔබාමා විසින් ඔහුට පුද කරන ලදී. 2010 දෙසැම්බර් 09 වනදා ඔහු බිල් ගේට්‌ස්‌ හා මාර්ක්‌ සකර් බර්ග් සමඟ ගිවිසුමකට එළඹියේය. ඒ අනුව සමූහ අරමුදලක්‌ මගින් තම වත්කම්වලින් සැලකිය යුතු කොටසක්‌ වෙන් කිරීමට ඔවුහු එකඟ වී සිටිති. ඒ පුණ්‍ය කටයුතු සඳහාය.

* මාර්ක්‌ සකර්බර්ග්

තරුණ ජවයෙන් හා කාර්ය ශූරත්වයෙන් පිරුණු මාර්ක්‌ එලියට්‌ සකර්බර්ග් තවමත් 33 වන වියේ පසුවන තරුණයෙකි. 1984 මැයි 14 වැනිදා නිව්යෝර්ක්‌හි වයිට්‌ ප්ලේන්ස්‌ ප්‍රදේශයේ උපන් ඔහු අළු ගසා දමා නැගිටින්නේ සිය සරසවි මිතුරන් අතරට හඳුන්වා දුන් FACE BOOK සමාජ ජාල වෙබ් අඩවිය හරහාය. ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ එහි අද සිටින්නේ හාවඩ් සරසවියේ අය පමණක්‌ නොවේ. 2012 වසන විට එහි සාමාජිකයින් ගණන බිලියනය ඉක්‌මවීය.

FACE BOOK මගින් ඔහු ගෙන ආවේ ජනප්‍රියත්වය පමණක්‌ නොවේ. 2017 ජුලි වන විට ලොව අංක 05 ට සිටින ධනවතා මාර්ක්‌ය. ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 71.8 කි. 2012 දී ඔහු ප්‍රිසිලියා චාන් (PRISCILLIA CHAN) සමඟ විවාහ වූයේය. දැන් ඔහු තාත්තා කෙනෙකි. 2016 දී සුප්‍රකට ටයිම් සඟරාව මගින් වසරේ පුද්ගලයා (PERSON OF THE YEAR) ලෙසද ඔහුව නම් කරනු ලැබීය. ලොව පළමු ටි්‍රලියනපතියා වීම කෙසේ වෙතත් එකී සීමාවට ලඟා වීම සඳහා ඕනෑ තරම් ඔහුට කාලය තිබේ.

ෆ කාලෝස්‌ ස්‌ලිම්

1940 ජනවාරි 28 වැනිදා මෙක්‌සිකෝවේ මෙක්‌සිකෝ නගරයෙහි උපන් කාලෝස්‌ ස්‌ලිම් හෙලූ (CARLOS SLIM HELU) ලෙබනන් ජාතික සංක්‍රමණික දෙමාපිය යුවළකගේ පුත්‍රයෙකි. ඔහු ව්‍යාපාර ඥානය කුඩා වියේ පිටව සිය පියාගෙන් උකහා ගත්තේය. මේ වන විට ලොව හත්වැනි ධනවතා වන කාලෝස්‌ " මෙක්‌සිකෝවේ වැරන් බුෆෙට්‌" නමින්ද හඳුන්වනු ලැබේ. ඔහුගේ වර්තමාන වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 54.5 කි. ෆොaබ්ස්‌ සඟරාවේ සමීක්‍ෂණ අනුව 2010 සිට 2013 දක්‌වා වසර හතරක්‌ම ඔහු ලොව අංක එකේ ධනවතා විය. මේ වන විට විවිධ ක්‍ෂේත්‍ර 200 ක පමණ පැතිර ගිය ව්‍යාපාර ජාලයක්‌ කාලෝස්‌ට හිමි වී තිබේ.

ඔහුගේ නැඟීම වඩාත් වර්ධනය වූයේ 1982 ඇති වූ ආර්ථික අවපාතයත් සමඟිනි. එහිදී මිල පහත වැටුනු ව්‍යාපාර රාශියක කොටස්‌ සඳහා ඔහු ආයෝජනය කළේය. පසු කලෙක කොටස්‌ මිල ඉහළ ගියේය. ඔහු රජවිය. 2015 වසරේදී නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ ආයතනයේ වැඩිම කොටස්‌ හිමිකරුවා ඔහු වුයේය. ඔහු ආයෝජනය කළ සමාගම් අතර FAKS FIFTH AVENUE yd 'VOLARIS' ගුවන් සේවයද වේ.

අනාගතයේදී මේ අතරින් කවරකු හෝ ටි්‍රලියනයේ කිරුළ පළඳින බව පැහැදිලිය. සමහර විට මෙහි සඳහන් නැති අයෙකු එය උදුරා ගන්නට ඉඩ තිබේ. වසර විසි පහක්‌ යනු (සමහර විට) දීර්ඝ කාලයකි. ඒ කාලය තුළ වෙනස්‌ විය නොහැක්‌කේ කුමක්‌ද?

වසන්ත විඡේරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.