රුසියානුවෝ ලෙනින්ට වගේම පුටින්ටත් ආදරෙයි

ලෝකයේ උතුරු දෙසින් නැගෙනහිර යුරෝපයේ පිහිටි විශාලතම රාජ්‍යය රුසියාවයි. දීර්ඝ ඉතිහාසයක්‌ ඇති මෙම රාජ්‍යය තුළ මිලියන 144 ක පමණ ජනගහනයක්‌ ජීවත් වන අතර, ජාතීන්ගෙන් 80% ක්‌ම පමණ රුසියන් ජාතිකයන් වේ. ඉතිරි ජනගහනයෙන් 3.7% ක්‌ පමණ තාතාර් ජාතිකයෝ වෙති. විවිධ ජාතීන් ජීවත්වන මෙම රටේ භාෂාද රාශියක්‌ තිබෙන අතර ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම්, බෞද්ධ වැනි ආගම් ද ඇත. නැගෙනහිර දිග සලාවියන් ජාතිකයන් කිව් ප්‍රදේශයට ක්‍රි.ව. 3 වැනි සියවසේ සිට පැමිණි අතර 9 වැනි ශතවර්ෂය වනවිට ප්‍රාදේශීය රාජ්‍යයන් ඇතිකරමින් ස්‌ථාවර රටක්‌ බවට රුසියාව පත්විය. ක්‍රි. ව. 988 දී පමණ ක්‍රිස්‌තියානි ආගම (ග්‍රීක) පැමිණීමත් සමඟ රුසියන් ජාතියට නව පණක්‌ ලැබීමෙන් භාෂාව, ලේඛන කලාව හා සාහිත්‍යය ඉතා සීඝ්‍රයෙන් දියුණුවට පත්විය. 13 වැනි සියවසේදී පමණ මොන්ගෝලියන් තාතාර් ආක්‍රමණයෙන් පසු, රුසියන් භූමියේ විවිධ රාජ්‍යය නායකයන් එකතු වී සතුරා පලවා හැර ඒකීය රාජ්‍ය බවට පත්වූ අතර, 1548 ඉවාන් ග්‍රෝස්‌නියි අධිරාජ්‍යයක්‌ බවට පත්වී රුසියාවේ දේශසීමා පුළුල් කරමින් ලොව විශාලතම අධිරාජ්‍යය බිහිකළේය. ඉන් අනතුරුව පත්වූ සියලු රජවරු විවිධ සතුරු ආක්‍රමණවලට මුහුණදුන් අතර, 1812 දී නැපෝලියන් සමඟ කළ සටන ඉතිහාසගත විය. ඔහු පරදා රුසියාව ජය ගත්තත් අභ්‍යන්තර කැරලි වලින් රාජ්‍යය දුර්වල වීමට පටන්ගත්හ. ප්‍රවේණිදාස ක්‍රමය හා රදළ ඉඩම් හිමියන්ගේ දැඩි පාලනයට යටත්ව තිබූ රුසියාවේ පාලනයට විරුද්ධව 1825 දී දෙසැම්බර්වාදීන් විසින් මුල් සටන ඇරඹූ අතර, 1905 දී ඇතිවූ ජනතා නැඟිටීම ඉතා බලවත් පෙරළියකට හේතු විය. ඒ අනුව රජුගේ බලතල සීමාවී පාර්ලිමේන්තු ක්‍රමයට (දූමා) දේශපාලනික පරිවර්තනයක්‌ ඇතිවිය. නමුත් ධනවාදී ආර්ථික ක්‍රමය ආරම්භවීමත් සමඟ කම්කරු පන්තියක්‌ බිහිවීමත්, ගොවි ජනතාව සමඟ ඒකාබද්ධ වී දේශපාලන පක්‌ෂ ක්‍රමය ඇතිවීමත් සමඟ රුසියාව තුළ රාජ්‍ය පෙරළියක මුලපිරීම ඇරඹිණි. එහි ප්‍රතිඵල ලෙස 1917 දී රජතුමා පලවාහැරි අතර 1917 නොවැම්බර් 07 දින එම තාවකාලික රජය පෙරළා දමා ව්ලැදිමීර් ලෙනින්ගේ නායකත්වයෙන් සමාජවාදී ජනරජයක්‌ බිහිවිය. එම බලවත් සමූහාණ්‌ඩුව ආර්ථික හා සමාජ පරිවර්තන රාශියක්‌ කළ අතර, ජනතා ශුභ සිද්ධිය උදෙසා කෘෂිකර්මය හා කර්මාන්ත දියුණු කරමින්, සමූහ ගොවිපළවල් ඇතිකරමින් දෙවැනි ලෝක සංග්‍රාමයේ ජයග්‍රහණය තුළින් උද්දීපනය වූ රුසියාව අජටාකාශ තරණය හා යුද අවි වලින් පෝෂිත වූ රටක්‌ බවට පත්විය. ලොව මහා බලවතුන්ගෙන් එක්‌ රටක්‌ වූ රුසියාව 1992 දී තම දේශපාලනික සමාජ ක්‍රමය වෙනස්‌ කර සමාජ ප්‍රජාතාන්ත්‍රික පාලනයට නැඹුරු විය.

මෙම ලියුම්කරු 2016 අප්‍රේල් මැද භාගයේදී සති කිහිපයක්‌ රුසියාවේ නගර කිහිපයක සංචාරයක නිරත විය. ඒ ලද අත්දැකීම්වලට අනුව නම් මොස්‌කව් නගරය තුළ දැකිය හැකි වන්නේ ඉතා ගුප්ත බවකින් යුත් සෝවියට්‌-රුසියාවේ මිශ්‍ර සංස්‌කෘතික ලක්‌ෂණ හා පුද්ගල හැසිරීම් රටාවකි. ඔවුන් බොහෝමයක්‌ සෝවියට්‌ ක්‍රමයේ හොඳ කතාකරමින් වර්තමාන ක්‍රමය තුළ ජීවත් වීමට කැමැත්තක්‌ දක්‌වයි. ලෙනින් ප්‍රතික්‌ෂේප වී නැතත් පුටින්ට ඇත්තේ වඩාත් හොඳ ප්‍රතිචාරයකි.

මේ අතර බොහෝ ප්‍රචාරක මාධ්‍ය ඔස්‌සේ 1990 සිටම ලෙනින්ගේ පිළිරූ රුසියාවෙන් අතුගා දැමූ බවත් ලෙනින් ප්‍රතික්‌ෂේප කළ බවත් ලොවට හඬගා කීවත් මොස්‌කව්, සෝවි හා වෙනත් බොහෝ නගර වලත් ග්‍රාමීය ප්‍රදේශවලත් ලෙනින්ට ඇති ආදරය අපමණය. මොස්‌කව්හි ලෙනින් චතුරස්‍රයේ තිබෙන ප්‍රතාපවත් පිළිරුවට සමාන බොහෝ පිළිරූ අදත් රුසියාව පුරා එලෙසම ස්‌ථාපිතව ඇත. 2015 වනවිට පිට පිට තෙවැනි වරටත් ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පත්කිරීමට ලෝ සුපතළ ෆොaබ් ව්‍යාපාරික සගරාව තීරණය කළේය. ඔවුන් ඊට හේතුපාඨ වශයෙන් සඳහන් කර තිබුණේ - කොතරම් බලපෑම් එල්ල වුවත් තමන්ට රිසි දේ කීරීමට තරම් ලොව සිටින එකම තැනැත්තා පුටින් බවයි. මෙම ප්‍රකාශ රුසියානුවන්ට අනුව නම් - ලෝක බලවතා වීමේ බලය ඇත්තේ පුටින්ට පමණක්‌ වන බවයි. පුටින් පින්තූර, පුටින් ටී ෂර්ට්‌, ඇඳුම් ආයිත්තම්, ස්‌ටිකර්, බැ- වගේම කුඩා පිළිරූ බොහෝ විසිතුරු සාප්පුවල විකිණීමට තිබීම විශේෂත්වයකි. එදා ලෙනින්ගේ, ස්‌ටාලින්ගේ වගේම කාල්මාක්‌ස්‌ගේ පිළිරූ අදත් ඒ සාප්පුවල විකිණීමට තබා තිබේ. එහෙත් පුටින්ට ඇත්තේ විශේෂ තැනකි. බටහිර මාධ්‍ය වසින් නිරන්තරවම පුටින්ට පහරදීම රුසියානුවන් ගණන් නොගන්නා සේය. ඔහු තම බිරිඳගෙන් දික්‌කසාද වීම බටහිර මහා ප්‍රසිද්ධියක්‌ ගෙනදුන් ශෝකජනක පණිවුඩයකි. ඒවගේම ජනාධිපති පුටින්ට තරුණ ප්‍රේමවන්තියන් සිටිනවාය යන ඕපාදූපය ඔවුන් තලුමරා ප්‍රචාරය කරති. පුටින්ට පැනමා ගිණුමක කෝටි ගණනක මුදල් තිබුණේය යන්න දැන් ඔවුන්ට හොඳ පැල්ලමකි. එහෙත් මොස්‌කව් වැසියන්ට එය එතරම් දෙයක්‌ නොවන බව නොරහසකි.

සුපුරුදු ලෙසින් ජනපති පුටින් තම රාජතාන්ත්‍රික ක්‍රියාවලියේ යෙදී සිටී. විවේකයක්‌ ලැබුණු විගස දඩයමේ යැම, ගුවන් යානා පැදවීම, සබ්මැරීනයකින් කළු මුහුදේ කිමිදීම වගේම හිම ක්‍රීඩා කිරීම ඔහුගේ ශරීර ශක්‌තිය පෙන්වීමේ උපායකි.

2016 මැයි 09 වැනිදා රුසියාවේ අයිස්‌ හොකී තරු සමග හොකී ක්‍රීඩාවේ යෙදී සිටියදී අහඹු ලෙස බිම ඇදවැටුණි. මෙම පුවත් බටහිර හිතවාදී මාධ්‍ය සේවා උලුප්පා පෙන්වීමට ක්‍රියාකළේය. පුටින් ක්‍රියාශීලී ලෙස මෙම වික්‍රමයන්හි යෙදෙන්නේ රටවැසියන්ගේ අවධානය හා ප්‍රසිද්ධිය අපේක්‌ෂාවෙන් බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි. කෙසේ නමුත් මේ සියලු චෝදනා නඟන්නේ පුටින්ගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා - ඇහේ කටු ඇනෙන බටහිර නායකයන්ගේ ඕනෑ එපාකම් අනුවයි.

සිරියානු අර්බුදයේදී පුටින්ගේ සහාය ලැබෙන්නේ බලයෙන් ඉවත්වීම ප්‍රතික්‌ෂේප කළ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටයි. පුටින්ගේ නියෝග පරිදි රුසියානු ගුවන් හමුදාව සිරියානු රජයට එරෙහිව සටන් වදින අයි.එස්‌. ත්‍රස්‌තවාදීන්ටත් අල්කයිඩා හා සෙසු සන්නද්ධ විපක්‌ෂ කණ්‌ඩායම්වලටත් පහර එල්ල කළේය.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අයි. එස්‌. ත්‍රස්‌ත මර්දන කටයුතු තම පක්‌ෂපාතී කණ්‌ඩායම් වලට වාසි ගෙනදෙන ලෙස මන්දගාමීව සිදු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පුටින් ඔවුන්ට සිරියාවේදී රිදෙන්නට දුන්නේය. බටහිර ගැති තුර්කිය රුසියානු ගුවන් යානයකට ප්‍රහාරයක්‌ එල්ල කොට පුටින් අනවශ්‍ය සටනකට කැඳවීමට උත්සාහ දැරුවත් ඔහු ඉන් කලබලයට පත් නොවී අල් අසාද්ගේ බලය මෙන්ම සිරියාවේ රඳවා සිටින රුසියානු නාවික භටයන්ගේද ආරක්‌ෂාව තහවුරු කරගත්තේය. එසේම පැරණි සෝවියට සමූහාණ්‌ඩුවේ ජනරජයක්‌ වූ යුක්‌රේනය බටහිර රටවල කුමන්ත්‍රණයට හසුවී රුසියාවට පක්‌ෂපාතී ජනාධිපති වික්‌ටර් යනුකොවිච් එම ධුරයෙන් ඉවත් කිරීම පුටින්ව තවත් අතකින් කළ කෙනෙහිළිකමක්‌ මෙන්ම, යුරෝපය විසින් නැවතත් සීතල යුද තත්ත්වයක්‌ ඇති කිරීමට ගන්නා ලද උත්සාහයක්‌ බව විචාරක මතයයි. එහෙත් ජනාධිපති පුටින් 2015 අගභාගයේදී එරට රූපවාහිනි නාළිකාවක්‌ හරහා විකාශනය වූ “World Order" නම් වාර්තා වැඩසටහනේදී -"යළි සෝවියට්‌ සමූහාණ්‌ඩුවක්‌ බිහිකිරීමේ සිහිනයක්‌ රුසියාවට නෑ" යනුවෙන් ප්‍රකාශ කර තිබුණි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ - යුක්‌රේනය වගේම ඒ අවට තියෙන අනෙකුත් ඉපැරණි සෝවියට්‌ සමූහාණ්‌ඩුවේ රටවල යහපතට යුරෝපා හවුල්කරුවන් කිසිවිටෙක වැඩ කරන්නේ නෑ. ඔවුන්ට ඕන නැවත සෝවියට්‌ සමූහාණ්‌ඩුවක්‌ බිහිවීම වැළැක්‌වීම පමණයි. එහෙත් ඉපැරණි සෝවියට්‌ සමූහාණ්‌ඩුවේ මෙන්ම වත්මන් රුසියානු සමූහාණ්‌ඩුවේද සිටින ජනකොටස්‌ ඔවුනොවුන්ට කා වැදුණ ලේ ඥාතිකම් මෙන්ම සමාන සංස්‌කෘතික, සමාජීය උරුමයන් සමඟ පෑහෙන එකම ජන සමූහයකි. ඔවුන්ට යුරෝපය ආගන්තුක වනවා සේම රුසියාව ළෙංගතුය.

පුටින්ගේ දේශපාලනය තුළ ඔහු සෝවියට්‌ දේශයෙන් ලැබූ පන්නරය හා රුසියානු දේශපාලන පෙරළියේ ආශ්වාදය කැටිවී ඇත. ඒ නිසාම ඔහු වරක්‌ ඇර වරක්‌ පැරණි මොස්‌කව් සෝවියට සිතුවිලි වලින් පෝෂිතයි. තමන්ට එරෙහි වන බටහිර බලවතුන් මෙල්ල කිරීමට පුටින් තම දේශපාලන මිතුරු පාර්ශ්වයන්ගේ සාමූහිකත්වයක්‌ ගොඩනඟා ගැනීමට උත්සුක වේ. මෙහිදී චීනය හා එක්‌ව ත්‍රස්‌ත මර්දන කටයුතු මෙන්ම කලාපීය සහයෝගීතාවය සඳහාද ක්‍රියාකරන රුසියාව,චීනය හරහා අප්‍රිකානු රටවලට ණය ආධාර ලබාදීමේ ව්‍යාපෘතියකටද මුල පුරයි. ත්‍රස්‌තවාදය, නියගය හා අභ්‍යන්තර ආර්ථික අර්බුදවලට ලක්‌ව සිටින අප්‍රිකානු රටවල් සඳහා ඩොලර් කෝටි හය දහසක ආධාර මුදලක්‌ ලබාදීමට ක්‍රියාකරන බව දකුණු අප්‍රිකාවේ ජොහැන් ස්‌බර්ග් නුවර පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. බටහිර රටවල මැදිහත්වීම නිසා දුප්පත් වූ එම රටවල් ත්‍රස්‌තවාදය නිසා විනාශයට පත්ව තිබේ. ඊට එරෙහිව චීනයේ මැදිහත් වීම රුසියාව ලබන තවත් ජයග්‍රහණයකි. නියගයෙන් පීඩා විඳින චීනයට රුසියාවෙන් ජලය ලබාදෙන විශාල ව්‍යපෘතියක්‌ ඇතිකිරීටමද දෙපාර්ශ්වය එකගව තිබේ. දරුණු නියග තත්ත්වයක්‌ නිසා පීඩා විඳින චීනයේ පළාත් කිහිපයක්‌ වෙත බටහිර සයිබීරියාවේ පිහිටි අල්තායි ක්‍රායි සිට වයඹ දිග චීනයේ පිහිටි ෂිංජිආන්ග් උයිසූරිරි ස්‌වයං පාලන කියුබ් මීටර් මිලියන 70 ක්‌ ලබාදීමට ක්‍රියාකෙරේ.

මෙය තවත් පැත්තකින් රුසියාවේ වාර්ෂිකව බලපාන අධික ගංවතුර තත්ත්වය පාලනය කරමින් ඒ හා සමාන ජල ප්‍රමාණයක්‌ ඉවත් කිරීම ඵලදායී කටයුත්තකි. මෙම ව්‍යාපෘතිය දෙරට අතර පවතින මිත්‍රත්වය සියක්‌ කාලයකට ආරක්‌ෂා කරවන එකකි. මේ අතරතුර ජනාධිපති පුටින් රුසියාව තුළ සෝවියට්‌ පන්නයේ ව්‍යාපෘති හඳුන්වාදීමට උත්සාහ ගෙන තිබේ.

එනම් රුසියානු ප්‍රධාන නගරවල පවතින අධික ජනගහනය පාලනය කරමින්, විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස්‌ සඳහා නොමිලේ ඉඩම් ලබාදීමයි. නැගෙනහිර රුසියාවේ ආක්‌ටික්‌ හා සයිබීරියාවට අයත් මුඩු ඉඩම් මෙසේ නොමිලේ බෙදාදීම රුසියානු රජය ගෙන ඇති තීරණය අරමුණු කිහිපයක්‌ එක විට සපුරාගැනීමකි. ඉතා අඩු ජනගහනයක්‌ සිටින මෙම ප්‍රදේශවල තරුණ තරුණියන් කැඳවා ඉඩම් ලබාදීමටත්, එහි සංවර්ධන කටයුතු සඳහා වසර පහක කාලයක්‌ රජය උදව් කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය විටෙක එම ඉඩම් වෙන අයෙකුට පැවරීමටද අවසර ලබාදෙනු ඇත. ඊට අමතරව ඉඩම් ලබාදීමට කටයුතු කරන ප්‍රදේශවල යටිතල පහසුකම් සීඝ්‍රයෙන් වර්ධනය කිරීම තුළ රුසියාවේ මුඩුබිම් නැවත අස්‌වාදීමක්‌ සිදු වේ. ඊටත් අමතරව මෙම පළාත්වල තව කර්මාන්ත ශාලා ඇතිකිරීම සඳහා චීන රජය සමග නව ගිවිසුම් කිහිපයකට යැමටද රුසියානු රජය අපේක්‌ෂා කරයි. ඒ අනුව තායිවානය හා චීනය එක්‌ව රුසියාව තුළ මහා පරිමාණ කිරි ගොවිපොළක්‌ ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක්‌ ආයෝජනය කිරීමට සූදානම්ව සිටී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම ගොවිපොළ තුළ කිරි ගවයන් 80,000 - 60,000 ත් අතර හෙක්‌ටයාර් 40, 000 - 60,000 ත් අතර භූමි ප්‍රමාණයක ධාන්‍ය වගාකිරීමට සැලසුම් කර ඇත. මෙවැනි තත්ත්වයක්‌ තුළ ජාත්‍යන්තර දේශපාලනයේ ජනපති පුටින් සුවිශේෂයෙන්ම කැපී පෙනීමත් සමඟ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය රුසියාවට ඊර්ෂ්‍යා කිරීම පුදුම වීමට කරුණක්‌ නෙවේ. ඒ නිසාම ඔවුන් රුසියාවට කරන කෙණෙහිලිකම්වල අඩුවක්‌ නොවනවා සේම රුසියාවේ ආර්ථිකය කඩා බිඳලීමට, එනම් මැදපෙරදිග කලාපයේ යුද ගිනි අවුලුවා තෙල් මිල පහත හෙළීමට අංචි ඇදීම මෙන්ම රුසියාව බටහිර සමඟ සීතල යුද්ධයකට පටලවා ගැනීමද ඔවුන්ගේ අරමුණ වී ඇත.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර රුසියානු සංචාරයේදී දේශපාලනය ගැන උනන්දුවකින් සිටි රුසියාවේ පුරවැසිභාවය ලබාසිටින ශ්‍රී ලාංකිකයකු කියූ කතාවක්‌ සිහිපත් කිරීමට කැමැත්තෙමි. එනම් -වරක්‌ රුස්‌සෙක්‌ ඇමරිකානුවෙකුට කියලා තියෙනවා, උඹලා රුසියාවට ගහන්න හදන්න එපා. එහෙම වුණොත් උඹලා, වසර ගණනාවක්‌ තිස්‌සේ ගොඩනගාගත්තු දේවල් බිමට සමතලා කරන්න අපට යන්නේ මිනිත්තු ගණනාවක්‌ පමණයි කියලා. ඔහු එවැනි ප්‍රකාශයකින් තවදුරටත් අදහස්‌ කළේ - රුසියාව නිදියගත් යෝධයෙක්‌. නැගිට්‌ටුවා ගන්න එපා කියන එක තමයි.

ව. අ. ලාල් සරත් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.