ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ රක්‌ෂණ විකුණුම් විශිෂ්ටයෝ සම්මාන ලබති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනය මඟින් වාර්ෂිකව එහි විකුණුම් අංශයේ දක්‌ෂයන් අගය කිරීමට පවත්වනු ලබන Star Awards මෙම වසරේ ද බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නොබෝදා පැවැත්විණි. උත්කර්ෂවත් අන්දමින් පැවැති මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සහභාගි විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සභාපති හේමක අමරසූරිය මහතා ප්‍රධාන අධ්‍යක්‌ෂ මණ්‌ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ සේවකයන් ද ඇතුළුව 1500 ක්‌ පමණ පිරිසක්‌ සහභාගි වූ මෙම අවස්‌ථාව ආයතනයේ රක්‌ෂණ විකුණුම් අංශයේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ උපදේශකයන්ගේ සේවය ඇගයීම සඳහා පැවැත්විණි.

උත්සවය ඇමතූ සභාපති හේමක අමරසූරිය මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ තවත් දියුණු කිරීම සඳහා දීර්ඝ කාලීන සැලැස්‌මක්‌ ඇති බවත් ශාඛා ව්‍යාප්තිය සහ තොරතුරු තාක්‍ෂණය සඳහා ආයෝජන මේ අතර ප්‍රධාන තැනක්‌ ගන්නා බවත්ය.

මෙම අවස්‌ථාවට දිවයින පුරා විසිරී තිබෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ශාඛාවල සිටින රක්‌ෂණ විකුණුම් උපදේශකයන් අතරින් සමාගම වෙත වැඩිම ආදායමක්‌ ලබාදීමට සමත් වූ නියෝජිතවරුන්ට සම්මාන හා සහතික ප්‍රදානය කරනු ලැබිණි. මෙලෙස සෑම ශාඛාවකටම අයත් නියෝජිතවරු 515 ක්‌ පමණ ඇගයීමට ලක්‌ වූ අතර හොඳම කණ්‌ඩායම් නායකයන් ද මෙලෙස ඇගයීමට ලක්‌විය.

මොවුන් ඇගයීමට ලක්‌වූයේ අදාළ විකුණුම් ඉලක්‌ක හා අරමුණු ඉටුකර ගැනීම හේතුවෙනි. ජීවිත රක්‌ෂණ, මෝටර් රථ රක්‌ෂණ හා මෝටර් රථ නොවන රක්‌ෂණ යන ප්‍රධාන කාණ්‌ඩ යටතේ මෙම ඇගයීම් සම්මාන හා සහතික ලබාදීම සිදුවිය. සම්මානවලට හිමිකම් කිව්වේ විශිෂ්ටයන් අතර ද විශිෂ්ට ප්‍රතිඵල දැක්‌වූ අයයි. එමෙන්ම Platinum Club, Platinum Star Club මෙන්ම 2017 ජුනි මාසයේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා නගරයේ පැවති Million Dollar Round Table සමුළුවට සහභාගි වීමට තේරුණු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ නියෝජිතයන් 60 දෙනා ඇගයීම ද මෙම අවස්‌ථාවේදී සිදුවිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.