2017 අගෝස්‌තු මස 13 වැනිදා ඉරිදා
ප්‍රජාතන්ත්‍රවාදය
(ශ්‍රී ලාංකික අර්ථකථනයක්‌)



ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අන් කවරදාකවත් නොවූ තරම් මිශ්‍ර ස්‌වරූපයකට පත්ව ඇත. එය මෙසේය ආණ්‌ඩුව නිසි කලට ඡන්ද නොපවත්වයි. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ඒ අතර දූෂණ චෝදනාවක්‌ ඇඟට පතිතවූ සැණින් මුදල් ඇමැති රවි කරුණානායක ඉල්ලා අස්‌වෙයි. මෙය ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‌ෂණයකි. රවි ඇත්තටම අස්‌වූයේ ඔහු දූෂණ චෝදනාවට වරදකරු වූ බව ඔප්පු වීමෙන් පසු බව නොව ඔහු අස්‌විය යුතු බවට නැඟුන හඬ සහ ඉහළින් ආ පීඩනය නිසා ය. හැබැයි මෙවැනි වැඩිමනත් බලකිරීමක්‌ නැතිව ඉල්ලා අස්‌වූ ඇමැති කෙනෙක්‌ යහපාලන ආණ්‌ඩුවේම සිටියේය. ඒ වූ කලී තිලක්‌ මාරපන ය. නීතිඥයකු වූ ඔහු ඇවන්ගාඩ් සිද්ධිය හා සම්බන්ධ වූ බවට කටකතාවක්‌ නැඟින. සමහරවිට එවැනි සම්බන්ධතාවක්‌ තිබුණා නම් ඒ ඔහුගේ නීතිඥ වෘත්තීය මට්‌ටමින් විය හැකිය. එහෙත් චෝදනාව නැඟුන සැණින් තිලක්‌ මාරපන ඉල්ලා අස්‌ විය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලංකා ඉතිහාසයේ වැඩිම වාර ගණනක්‌ කතා කළේ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විය යුතුය. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය ගෝනවල සුනිල්ගේ ගෙදර සිට වෝඩ් පෙදෙස දක්‌වා දිවෙන ප්‍රයිවට්‌ බසයක්‌ හා සමාන විය. ගෝනවල සුනිල් යනු ස්‌ත්‍රී දූෂක මැරයෙකි. ඔහුගේ ගෙදර සිට දිවෙන බස්‌ රියකට අනගාරික ධර්මපාලතුමා හෝ කුමාරතුංග මුනිදාස වැනි අය නඟින්නේ නැත. එහි නගින්නෝ ගෝනවල සුනිල් සහ ඔහුගේ පරම්පරාව නියෝජනය කරන මැරැටි ගෝලයන් ය. ඒ බස්‌ එක යන්නේ වෝඩ් පෙදෙසේ පිහිටි ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ගෙදරට නම් එතැන් සිට අර්ථ ගැන්වෙන ප්‍රජාතන්ත්‍රවාදය කක්‌කුස්‌සිවළක්‌ හා සමාන වෙයි. තම මන්ත්‍රිවරයකු "ඉල්ලා අස්‌a කිරීම" ඡේ. ආර්. ජයවර්ධනට ඉතා පුංචි වැඩක්‌ විය. එයට හේතුව දින නොදැමූ ඉල්ලා අස්‌වීමේ ලිපියක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ හැම මන්ත්‍රිවරයකුගෙන් ඔහු ලබාගෙන තිබීමය. මන්ත්‍රීතුමා පිස්‌සු කෙළින සැණින් ඡේ. ආර්. එම ලිපියට දිනය යෙදුවේය.

ඡේ. ආර්. ගේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනස්‌ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ප්‍රේමදාස ගෙන ගියේය. එම ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය වැඩිපුරම අර්ථ ගන්වන ලද්දේ 88-89 අවුරුදුවලය. ඉන්පසු බාබු වැඩිදුරටත් එය අර්ථකථනය කළ බැවින් ඔහුගේ ඔළුව වෙනම වැටී තිබියදී හමු විය( ජනාධිපතිතුමාගේ මෘතදේහය සහිත පෙට්‌ටිය සීල් කිරීමට සිදු විය. ඉන්පසු බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රජාතන්ත්‍රවාදය අසම සමය. මෙහි බිම් මට්‌ටමේ මෙහෙයුම් භාරව තිබුණේ බැද්දගානේ සංජීවටය. මැද මට්‌ටමේ වැඩ මර්වින් සිල්වා කළේය. ඉහළ කොටස චන්ද්‍රිකාම කළාය. රාජපක්‍ෂවරුන් රට භාර ගැනීමත් සමගම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් ස්‌වයං පෝෂණය විය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, වාසිම් තාජුඩින් යනාදීහු එක්‌ මගක ගොස්‌ වාෂ්ප වූහ.

ඉන්දියාවේ කෝච්චියක්‌ පෙරළුණොත් එරට ප්‍රවාහන ඇමැති වගකීම භාරගෙන ඉල්ලා අස්‌වේ. තම රටේ කෝච්චි පෙරළීම ඉතා බහුල බැවින් ඇමැතිතුමා ඉල්ලා අස්‌වීම ලියාගෙන එන එන පාරට අගමැතිතුමා එය භාර නොගන්නේ එම තනතුර පිරවීමට මිනිසුන් සොයාගැනීමට බැරි නිසාය. ඒ නිසා ඉන්දියානු ප්‍රවාහන ඇමැති ඊළඟ ඡන්දයෙන් පරදිනතුරු ප්‍රවාහන ඇමැතිමය. ඇත්තම කියතොත් ලංකාවේ තත්ත්වයත් එයමය. රවි ඇතුළු පිරිස එම තත්ත්වය වෙනස්‌ කිරීම ප්‍රශංසනීය ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.