කරවෙන වැලිඔයේ
තිබහට කඳුළු වතුර බොන මිනිස්‌සු

බොහෝ නිවෙස්‌වල වකුගඩු ප්‍රශ්න...

වැලිඔය කර වේ. තාර පතුරක්‌ නොමැති මඟ නොපෙනෙන තරමට දූවිලි වලාවෙන් වැසී ගොස්‌ය. මඟ දෙපස ලඳු කැලෑ පිච්චී පරඬැල් වී ගොස්‌ය. වැහි රැල්ලකින් නොතෙමුණු ගහ කොළ ඉරමුදුන් සමයමේ පාණ්‌ඩු පැහැයකින් දිලිසේ. චණ්‌ඩ හිරුගේ රශ්මිය දරාගැනීමට නොහැකි තරම්ය. ඉහ මොළ මෙන්ම ඇඟ පත ද කකියවන්නේය. කළගෙඩි ඔසවාගෙන වතුර සොයා ඇවිද යන මිනිසුන් දකින විට හදවත ද කකියවන්නේය. අව් කූටයේ අපි ගම් පුරා ඇවිද්දෙමු. සිත් පිනවන කිසිදු දසුනක්‌ නැත. ඇස ගැටෙන සෑම දසුනක්‌ම සිත පාරවන්නකි. වැලිඔය ව්‍යාපාරයේ නිකවැව දකුණ දොළහේ බෝaක්‌කුව සමිති ශාලාව අසලදී අපට හමු වූ එස්‌. එච්. ඒ. ජිනදාස ප්‍රදේශය දවන ගැටලු ගැන ප්‍රථමයෙන් අප සමඟ කතා කළේය. ඔහු ප්‍රදේශයේ ගොවි සංවිධානයක නිලධාරියෙකි. එමෙන්ම පානීය ජල ගැටලුවෙන් නිරන්තරයෙන් පීඩා විඳින්නෙකි. මේ ජිනදාස කියන කතාවය.

''මේ ජල පවිත්‍රාගාරය හදන්න පටන් අරගෙන දැන් වසර ගාණක්‌ වෙනවා. තවම වැඩ ඉවර නෑ. දැන් මේක සුදු අලියෙක්‌...'' ජිනදාස කතාව පටන් ගත්තේම නිකවැව දකුණ දොළහේ බෝක්‌කුව සමිති ශාලාව අසල ඉදිකර ඇති ජල පවිත්‍රාගාරය මාතෘකා කර ගනිමිනි.

''මේ පවිත්‍රාගාරය හැදුවේ ගොවි සංවිධානයක්‌ මැදිහත් වෙලා. මහවැලියෙන් මේක පාස්‌ කරලා තියෙන්නෙ. සල්ලිවලට වතුර දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ. සල්ලි දීලා හරි වතුර ගන්න තවම මේකෙ වැඩ ඉවර වෙලා නෑ. නිලධාරීන් ඇවිත් මෝටරය වැඩ කරන්නෙ නෑ කියලා යනවා. ඒත් මෝටරය ගලවලා බලන්නෙවත් නෑ. දැන් අවුරුදු දෙකකින් විතර වැස්‌ස නෑ. නළ ළිනුත් හිඳිලා. නළ ළිඳකින් වතුර ටිකක්‌ ගන්නත් හැතැක්‌ම ගානක්‌ පයින් යන්න ඕනෑ. බොන්න වතුර නෑ. සල්ලිවලට ෆිල්ටර් වතුර විකුණන තැන් තියෙනවා. ඒත් අපේ ගමට සල්ලිවලට වතුර ටිකක්‌ ගන්නවත් ෆිල්ටරයක්‌ නෑ. ග්‍රාම සේවක නිලධාරිනිය දැනුවත් කළාම ජල ටැංකි ගෙනත් තියන්නම් කියනවා. ඒත් තවම ටැංකි නෑ. බොන්න වතුර ටිකක්‌ හොයාගන්න හැතැක්‌ම ගාණක්‌ පයින් ඇවිදින්න ඕනෑ. ඒත් අපිට ඕන තරම් වතුර ගන්න නෑ. මේ ප්‍රශ්නය අපිට විතරක්‌ නෙමෙයි, වැලිඔය ව්‍යාපාරයටම පොදු ගැටලුවක්‌. මේ ප්‍රශ්නයට හරියට විසඳුමක්‌ නැති වුණොත් මේ ගම්වල මිනිස්‌සු සේරම වකුගඩු රෝගීන් වෙනවා. දැනටත් හැම පවුලකම වගේ වකුගඩු රෝගීන් ඉන්නවා...'' ජිනදාසගේ කඳුළු කතාව ඉවරයක්‌ නැත. ජිනදාස මෙන්ම ගැටලුවලින් පිච්චෙන මිනිසුන් මේ ගම්වල බොහෝය. එහෙයින් අප ඔහුට සමු දී කල්‍යාණපුර දෙසට ගමන් කළෙමු.

කෙසෙල්, ගස්‌ලබු, පේර වතු පසුකරමින් අප රැගත් මෝටර් රථය දූවිලි කපාගෙන බැරි, බැරිගාතෙන් ඉදිරියට ඇදෙන්නේය. ගමන් විඩාවටත් වඩා අව්වේ රශ්මිය ගතට පුදුමාකාර තෙහෙට්‌ටුවක්‌ ගෙන දෙන්නේය. අපගේ මෝටර් රථය කෙසෙල් පඳුරු කිහිපයක්‌ අසළ නතර විය. කෙසෙල් ගස්‌ සෙවණේ කිහිපදෙනෙක්‌ අපව බලාපොරොත්තුවෙන් පසුවෙති. ඔවුන් අතරින් කතාවට මුලසුන ගත්තේ කාන්තාවකි. ඇය එරන්දතීය. වයස අවුරුදු හතළිස්‌ පහකි. මේ එරන්දතීගේ කතාවය.

''පහුගිය කාලේ නිවාස නැති අයට ගෙවල් දුන්නා. අපේ මහත්තයා හමුදාවේ කියලා ගෙයක්‌ දුන්නේ නෑ. හමුදාවේ හිටිය එක ඇත්ත. ඒත් අද එයා ආබාධිතයි. යුද්ධයේදී බෝම්බයකට කොටුවෙලා දකුණු කකුළ නැති වුණා. අනිත් කකුලටත් ඇණ දාලා. බඩේ ලොකු ඔපරේෂන් එකක්‌ කරලා. හදවතේ තවම මූනිස්‌සම් කෑලි. දැන් මහත්තයා සදාකාලික අබ්බගාතයෙක්‌. අවුරුදු විසිතුනක්‌ රාජකාරි කරලා රට වෙනුවෙන් ශරීර අවයව දන් දීපු රණවිරුවා රාජ්‍ය සේවකයෙක්‌ කියලා ගෙයක්‌ දෙන්නේ නෑ. බලන්න අපි ඉන්න ගේ කෑල්ල. ගමේ තියෙන සමිති සමාගම්වලින් පුංචි, පුංචි ණය අරගෙන ගේ කෑල්ලක්‌ හදාගන්න අත්තිවාරම දැම්මා. ඒක උස්‌සගන්න ආර්ථික ශක්‌තියක්‌ නෑ. මහත්තයාට එන පැන්ෂන් එකෙන් කාලා බීලා දරුවො තුන්දෙනාව පාසල් යවනකොට පඩිය ඉවරයි. මේ ගේ ඇතුළේ අපි දෙන්නයි, කරදඬු උස්‌ වෙච්ච දරුවො තුන්දෙනෙකුයි ජීවත් වෙනවා...'' කාලයක්‌ ඇයගේ හදවත තුළ තෙරපුණු වේදනාව දැන් ගිනියම් වූ මූනිස්‌සම් සේ පිට වේ. කඳුළු පිරුණු ඇයගේ දෙනෙත් ටකරන් මඩුවක්‌ දෙසට දිවෙයි.

පාදම සම්පූර්ණය. කාමර දෙකක්‌ තරමක්‌ දුරට සිමෙන්ති ගඩොලෙන් ඉස්‌සී තිබේ. එහෙත් දැනට ඔවුන් ජීවත් වෙමින් සිටින්නේ ලෑලිවලින් අහුරාගත් ටකරන් සෙවිලි කළ පුංචි පැල්පතකය. හිල් කූඩයක්‌ වැනි සෙවිලි තහඩුqවලින් සෙවණ වූ ගෙපැල වැස්‌සට වගුරුබිමක්‌ වනවා නොඅනුමානය. හුළං කවුළුවක්‌ හෝ නැති පැල්පත අව්වට පෝරණුවක්‌ බවද නිසැකය. ගිනියම් අහස යට දරු පවුලක්‌ ජීවත්වීම කෙසේ වෙතත් සතෙකුටවත් ඒ පැල්පතේ ජීවත්වීමට නම් නොහැක. අපි නිවස අසල ගල් වීමු. එරන්දතී ද අප අසලය. ඇය පුතුන් හතරදෙනකුගේ මවකි. වැඩිමහල් පුතා විවාහ වී පවුලෙන් වෙන් වී ජීවත් වේ. අනෙක්‌ පුතුන් තිදෙනා තවමත් පාසල් දරුවෝය.

එරන්දතීගේ කතාව අතිශය ශෝචනීයයි. විසිතුන් වසරක්‌ ත්‍රස්‌තවාදයට එරෙහිව යුද වැදි අවසානයේ අබ්බගාතයකු ලෙස රෝද පුටුවකට සීමා වූ විට නිදහස්‌ කරගත් දේශයේ ඔහුගේ සෙවණට නිවහනක්‌ නැත. රට නිදහස්‌ කරගැනීමට දායක වූ රණවිරුවාට ලබාදී ඇති ගෞරවයේ තරම දැන් රට්‌ටුන්ට හොඳින් වැටහි ඇත. එහෙයින් මේ එරන්දතීලාට පමණක්‌ සීමා වූවක්‌ නොවේ මුළු රටේම රණවිරුවන්ට උරුම වූ ඉරණමයි. අප අතර පැවති කෙටි නිහඬතාව බිඳිමින් තරුණයකු හඬ අවදි කළේය. ඔහු සුගත් කුමාර වනිගරත්නය. කොන්ත්‍රාත් පදනම මත හමුදා කඳවුරක සේවය කරන කම්කරුවෙකි.

''මම ස්‌ථිර සේවකයෙක්‌ නෙමෙයි. වැඩ කළොත් වැටුප් ලැබෙනවා. ගමේ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ටත් නිවාස දෙනවා. මට දෙන්නෙ නෑ. අපේ බිරිඳගේ තාත්තා මේ ගමේ පදිංචියට ඇවිත් තියෙන්නේ 1980 ගණන්වල. කොටි කලබල නිසා දාලා ගිහින් නැවත 2009 අවුරුද්දෙ ගමට ඇවිත් පදිංචි වුණා. තවම ගෙයක්‌ නෑ. ළඟදි පදිංචියට ආපු පවුල්වලට ගෙවල් දීලා තියෙනවා. සමහර පවුල්වල ගෑනිටයි, මිනිහටයි දෙන්නටම ගෙවල් දීලා තියෙනවා. හැත්තෑදාහ, අසූදාහ පඩිගන්න රජයේ නිලධාරීන්ටත් ගෙවල් දීලා තියෙනවා. ඒ මිනිස්‌සු මේ පුංචි ගෙවල්වල ජීවත් වෙන්නෙ නෑ. අරගෙන විකුණා දානවා. තව අය නිවාස අරගෙන වහලා දාලා පිටගම්වල පදිංචි වෙලා ඉන්නවා. අපි ජීවත් වෙන්න ගෙයක්‌ නැතිව දුක්‌විඳිනවා. මට ගෑනු ළමයින්ම තුන්දෙනෙක්‌. ලොකු දුවට අවුරුදු නවයයි. දෙවැනි දුවට පහයි. චූටි දුවට අවුරුද්දයි මාස දෙකයි. අපිට යන්න තැනක්‌ නෑ. ගෙයක්‌ හදාගන්න වත්කමක්‌ නෑ. දරුවො පොඩි නිසා කුලියක්‌ කරන්නවත් බිරිඳට යන්න විදිහක්‌ නෑ. කෑම්ප් එකෙන් මට පඩි ලැබෙන්නේ වැඩ කරන විදිහට. ලැබෙන සොච්චම් පඩියෙන් ගෙයක්‌ හදාගන්න බැරි නිසා තමයි නිවසක්‌ ඉල්ලගෙන පිණ්‌සෙන්ඩු වෙන්නෙ. මේ ඉන්නෙ මගේ ලොකු දරුවා. දැන් මෙයා වැඩිවියට පත්වෙච්ච ලොකු ළමයෙක්‌. අපි සේaරම එකම කාමරයක ජීවත් වෙන්නෙ...'' සුගත් කුමාරට ඇය ලොකු ළමයෙක්‌ වුවද බැලු බැල්මට පුංචි දැරිවියකි.

''කොළඹ නිවාස අමාත්‍යාංශයට තුන්වතාවක්‌ ගිහිල්ලා සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාව මුණගැහිලා අපේ දුක කියලා නිවසක්‌ ඉල්ලුවා. එතුමා නිවසක්‌ දෙන්න පොරොන්දු වුණා. ඒ විතරක්‌ නෙමෙයි ඇමැතිතුමයි, මමයි ඉදිරිපිටදීම ලේකම්තුමා මුලතිව් දිසාපති කර්යාලයට කතා කරලා මගේ නම කියලා 'මේ මිනිස්‌සුන්ට ආසාධාරණකම් කරන්නෙ ඇයි' කියලා ඇහුවා. එතකොට මුලතිව්වලින් කිව්වා අපිට නිවාස දෙන්න සුදුසුයි පාස්‌ කරලා තියෙන්නෙ, ඒ. ජී. මහත්තයා තමයි දෙන්නේ නැත්තේ කියලා. ඊට පස්‌සෙ ලේකම්තුමා ඒ. ජී. මහත්තයටත් කතා කරලා ඇහුවා. එතකොට ඒ. ජී. මහත්තයා කියනවා හරි සර් මම නිවසක්‌ දෙන්නම් කියලා. ඒත් මෙහෙට ඇවිත් ඒ. ජී. මහත්තයා එක්‌ක කතා කළාම එහෙන් කිව්වට නිවාස දෙන්න විදිහක්‌ නෑ කියලා අපිට බණිනවා. නිවාස ඇමැතිතුමා කියලා තියෙන්නෙ ගෙවල් නැති සියලුම දෙනාට නිවාස දෙන්න කියලා. ඒක රජයේද පෞද්ගලික අංශයේ ද කියලා වෙනසක්‌ නෑ. රජයේ සේවකයන්ට ගෙවල් දෙන්නෙ නැති නම් සියලු දෙනාට දෙන්න ඕන නෑ. නිවාස දෙන්න මේ ළඟදී ලිස්‌ට්‌ එකක්‌ ඇවිත් තියෙනවා, ඒ ලිස්‌ට්‌ එකෙත් රජයේ සේවකයෝ නවදෙනෙක්‌ ඉන්නවා. ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුත් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කම්කරුවෙක්‌ ඉන්නවා. ඒත් රජයේ සේවකයෝ. ඇයි අපිට විතරක්‌ නිවාස දෙන්නේ නැත්තේ. කෙනෙකුට දීලා තව කෙනෙකුට නොදී ඉන්නේ පළිගැනීමට. ඒත් අපි කූරා කූඹියකුට වරදක්‌ කරලා නෑ. මොන අහේතුවකට මෙහෙම වෙනවද කියලා අපිටත් හිතාගන්න බෑ...''

සුගත් රාජ්‍ය සේවකයෙක්‌ යෑයි හංවඩු ගසමින් රජයෙන් ලබාදෙන නිවස ඔහුට ද අහිමි කර ඇත. සුගත්ලා, එරන්දතීලා මෙන්ම නිවාස නොලැබුණු කිහිපදෙනෙක්‌ම දැන් අප අසල සිටිති. ඒ සියලු දෙනාගේම කතා අතිශය දුක්‌බරය. ඔවුන්ගේa කතාවට සවන්දී සිටි අපි ප්‍රජා පොලිස්‌ කමිටුවේ සභාපති රුවන් අනුරුද්ධ කියන කතාව තුළ වැලිඔය ව්‍යාපාරයේම කඳුළු කතාවම ගැබ් වී තිබේ. එහෙයින් අනුරුද්ධ කියන කතාවට දැන් අපි සවන් දී සිටිමු.

මේ ප්‍රදේශ පාලනය වන්නේ මුලතිව් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයෙන්. ඒ නිලධාරීන් මේ ගම්මානවල ප්‍රශ්න ගැන සොයා බලන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව සිංහල ප්‍රාදේශීය සභාවත් නැතිකම. දැනට ඉන්න සිංහල නිලධාරීනුත් අපිටම වළ කපනවා. මේ මෑතකදී බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ හදන්න අපේ සංවිධානය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ඉල්ලුවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර දෙන්න පුරාවිද්‍යා නිලධාරීන් ඇවිත් භූමිය පරීක්‍ෂා කරලා පාස්‌ කරන්න ඕනෑ. තවම පුරාවිද්‍යා නිලධාරීන් ආවේ නෑ. මේ ප්‍රදේශය පුරා පෞරාණික සිද්ධස්‌ථාන රාශියක්‌ තියෙනවා. ඒ තැන් ආරක්‍ෂා කරගැනීමට කිසිදු වැඩපිළිවෙළක්‌ නෑ. නිධන් හොරු නිදහසේ ඒ තැන් විනාශ කරනවා. මිනිස්‌සුන්ට වගා කරන්න බෙදා දෙන්න කියලා පහුගිය කාලේ කැලේ කැපුවා. ඒත් තවම බෙදා දුන්නේ නෑ. මේ අවට ගම්මානවල වැව් පහළොවක්‌ තියෙනවා. ඒ වැව් දැන් කැඩිලා, බිඳිලා ගිහින්. වැව් ටික හාරලා ප්‍රතිසංස්‌කරණය කළා නම් මිනිස්‌සුන්ට කුඹුරක්‌ හරි අස්‌වද්දන්න පුළුවන්. ඒක කරලා දෙන්නෙත් නෑ. මේ ගම්වල මිනිස්‌සු කම්මැලි නෑ. හොඳට වැඩ කරන්න පුළුවන්. ඒත් කුඹුරක්‌ අස්‌වද්දන්න, හේනක්‌ කොටන්න වතුර නෑ. සමහර ගම්වල පානීය ජලය බෙදාහරින්න ෆිල්ටර් සවි කරලා තියෙනවා. ඒ සමහර ෆිල්ටර් අක්‍රිය වෙලා. ඒ ෆිල්ටර් ටික හදලා දෙන්නෙත් නෑ. මිනිස්‌සු බොන්න වතුර ගේන්න හැතැක්‌ම ගණන් පයින් ඇවිදිනවා. ජීවත් වෙන්න නොවිඳිනා දුක්‌විඳිනවා. හුඟ දෙනෙක්‌ කුලී වැඩට යනවා. කුලියක්‌ කරන්නත් අනුරාධපුරයට, කැබිතිගොල්ලෑවට යන්න ඕනෑ. හැමදාමත් කුලී වැඩ නෑ. කුලියක්‌ කරපු දවසට නිවසක බතක්‌ ඉදෙනවා. මේ ගම්වල බොහෝ ගෙවල්වල බත් කන්නේ එක වේලයි. ළමයින්ව පාසලකට යවා ගන්න ආර්ථික ශක්‌තියක්‌ නෑ...''

වැලිඔය ව්‍යාපාරයේ බොහෝ මිනිසුන්ට මූලික මිනිස්‌ අවශ්‍යතා හෝ සම්පූර්ණ වී නොමැත. හිසට හරි හැටි සෙවණක්‌ නැති පවුල් බොහෝය. ප්‍රදේශවාසීහු කියන විදිහට ඇතැම් නිවාසවල බතක්‌ ඉදෙන්නේ දවසකට එක වේලක්‌ පමණි. කුස ගින්දරේ ටකරන් මඩුවල පිච්ෙච්න වේදනාව විඳ දරාගත්ත ද පිපාසය විඳ දරාගත නොහැකිය. කුසට ආහාරයක්‌ නොමැති වුවද ශරීරයට ජලය අවශ්‍යය. එහෙත් වැලිඔය ව්‍යාපාරයේ මිනිසුන් පානීය ජල ගැටලුවෙන් හෙම්බත් වී සිටින්නේ අද ඊයේ නොවේ, කාලයක සිටම මේ ප්‍රශ්නය වැලිඔය පල් වන්නේය. එහෙත් ප්‍රදේශයේ ගොවි සංවිධානයක සභාපතිවරයකුගේ අදහස වූයේ ගම්මුන්ට කිසිදු ගැටලුවක්‌ නැති බවය. වැව් ටික ප්‍රතිසංස්‌කරණය කෙරේ. කැමැති අයට වගා ළිං ලබාදෙයි. පිරිසිදු පානීය ජලය බෙදාහැරේ. ඔහුගේ කතාවට අනුව නම් ප්‍රදේශවාසීන් කියන කතා මුසාවාදය. එහෙත් ප්‍රදේශයේ ස්‌වාමීන් වහන්සේ නමක්‌ වන ගල්ගමුවේ සමිත හිමියන් ද ගම්මු කියන කතාව සනාථ කළහ. රජයෙන් දෙන අඹ ඇටයත් පළමු පංගුව ගොවි සංවිධානවල නිලධාරීන්ට ලැබෙන නිසා ඔවුන්ට ගැටලු නැති බව සැබෑය. නිලධාරීන් විසිකරන කටු කා සිරවී සිටින ගොවි සංවිධානවල නිලධාරීන්ට ප්‍රදේශයේ ගැටලු ගැන කතා කිරීමට වචන නොනැඟෙන බවද සැබෑය. ඒක මහවැලියට, වැලිඔයට පමණක්‌ නොව රටේ සෑම ප්‍රදේශයකටම පොදුය.

මහවැලි එල් කලාපයේ වැලිඔය ව්‍යාපාරය යටතේ ග්‍රාමසේවා කොට්‌ඨාස දහතුන තුළ ජීවත් වන සියලුම පවුල් සිංහලය. ජානකපුර, හැළඹවැව, කිරිඉබ්බන්වැව වම, දකුණ, ඇහැටුගස්‌වැව, නිකවැව වම, දකුණ, ඇතාවැටුණුවැව, මොනරවැව, ගජබාපුර, හංසවිල, සපුමල්තැන්න, කල්‍යාණපුර එක පියවර, කල්‍යාණපුර තුන පියවර, නාමල්පුර යන සියලුම ගම්මාන වැලිඔය ව්‍යාපාරය යටතට අයත් වේ. මේ ගම්මාන තුළ හයදහසකට ආසන්න පවුල් සංඛ්‍යාවක්‌ ජීවත් වෙති. අවුරුද්දේ වැඩි කාලයක්‌ නියඟයෙන් වියළෙන මේ ප්‍රදේශවල ජීවත් වන මිනිස්‌සු කාලයක සිට 'පල්' වෙන ගැටලු කන්දරාවකින් තැම්බෙන්නාහ. එහෙත් එම ගැටලුවලට තවමත් විසඳුම් ලැබෙන සේයාවක්‌ හෝ නැත.

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිංහලුන් පමණක්‌ ජීවත් වන වැලිඔය ව්‍යාපාරයට කුඩම්මාගේ සැලකිලි විනා එම ප්‍රදේශ නඟාසිටුවීමට මුස්‌ලිම්, දෙමළ දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන් මැදිහත් නොවීම පුදුමයක්‌ නොවේ. ඒ නැඟෙනහිර පළාතෙන් සිංහලුන් අතුගා දැමීමේ මෙහෙයුම තවමත් ඉවර වී නැති නිසාය. බලධාරීන්ට එය නොතේරුණ ද, වියළෙන වැලිඔය ව්‍යාපාරය තුළ කඳුළු වතුර බොන මිනිසුන්ගේ ප්‍රශ්න ගැන සොයාබැලීම ඔවුන්ගේ වගකීමකි.

විසුල කෝදාගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.