නගරයේ පන්සලට ආ ගමරාල
රටේ අගමැති තමා බව කියයි

ගම්බද නායක හාමුදුරුවරු පුදුමයට පත්වෙති

අගමැතිතුමා අපේ රාමඤ්ඤ නිකායේ ආරක්‌ෂකයානෙ. මගෙත් හිතවතානෙ. ඉතින් එතුමා වාසය කරන්නෙ දැන් මේ පාරෙන් එහා පැත්තෙ අරලියගහ වලව්වෙනෙ. ඉතින් විවේක වෙලාවක මෙතුමා ලොකු කමක්‌ නොබලා සරමක්‌ බැනියමක්‌ ඇඳලා අරලියගහ වලව්වේ පිටිපස්‌සේ ගේට්‌ටුව ඇරගෙන මාව බලන්න මෙහෙම එන එක සිරිතක්‌ වෙලා" යනුවෙන් කියා සිටි විටදීයි එම නාහිමිවරුනට කාරණය තේරුම් ගියේ.........

ගම්බද වලව්වක උපන් අමු ගැමියකු වූ මෙතුමා කෙතරම් උසස්‌ නිලතල ලැබුණද තම සිංහල කමත් අමුම අමු ගැමිකමත් බෞද්ධ කමත් අත නොහැරිය බවට උන්වහන්සේලාට මෙය හොඳම සාක්‌ෂියක්‌ද විය. ඉන් අනතුරුව උන්වහන්සේලා සමඟද නිහතමානීව කතාබහ කළ මේ අමුම අමු ගැමියකු ගොවිරාල කෙනකු බඳු වූ ලංකාවේ අගමැතිතුමා ගැන යළි එම පිටිසර ගම්මානවල විහාරස්‌ථානවලට ගොස්‌ දායකයන් සමඟ උන්වහන්සේලාටත්, දායකයන්ටත් සතියක්‌ දෙකක්‌ තිස්‌සේ වුවද කියන්නට කරුණු තිබෙන බව පෙනිණි.

අගනුවරින් සැතපුම් හැටහැත්තෑවක්‌ පමණ දුරබැහැර පිටිසර පළාතක පැරණි විහාරස්‌ථාන තුනක නායක හිමිපාණන් වහන්සේ තෙනමක්‌ තම ප්‍රධාන දායකයන් කිහිප දෙනකුද සමඟ අගනුවර කොල්ලුපිටියේ ධර්ම කීර්ත්‍යාරාම විහාරස්‌ථානයට වැඩම කළේ එය තම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මූලස්‌ථානයක්‌ද වන බැවිනි. තම විහාරස්‌ථානවල සාමණේර උපසම්පදා හා පන්සල්වල දියුණුqව පිණිස වූ කරුණු කාරණා රාශියක්‌ද පිළිබඳව සාකච්ඡා කර ගැනීමටය. මෙකලන්හි විහාරාධිපතිව වැඩවසන පූජ්‍ය හංචාපොල විමලවංස නාහිමියෝ මෙම පිරිස සාදරයෙන් පිළිගෙන අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡාවක යෙදී සිටියහ.

මෙවිට නාහිමියනට හා අමුත්තන් ලෙස පැමිණි ගම්බද නාහිමිපාණන්ටද දක්‌නට ලැබුණේ මෙම විහාර බිමට පිටිසර ගොවිරාල කෙනකුවන් පුද්ගලයකු පැමිණි බවය. පලේකාට්‌ පාට සරමකින් සැරසී අත් ඇති මේස්‌ බැනියමකින් සැරසී සිටි උසට සරිලන මහතින් යුතු මේ තැනැත්තා පයට දමා ගෙන තිබූ සෙරෙප්පු කුට්‌ටම දෙපාවලින් ඉවත් කර දමා නායක හාමුදුරුවරු සාකච්ඡා කරමින් සිටි තැනට එනු දුටු විහාරාධිපති විමලවංස නාහිමියෝ හුන්තැනින් නැගිට්‌ටහ. නැගිට මේ ගමරාල පිළිගන්නට යැම අනෙක්‌ නාහිමිවරුන්ට පුදුමයකට හේතුවක්‌ද විය.

මෙහිදී ගමරාල කළේ පහත් වී නාහිමියන්ට වැඳ ආගන්තුක නාහිමිවරුනටද පොදුවේ වැඳ නමස්‌කාර කිරීමය. ඉන් අනතුරුව නායක හිමියන් එතැන තිබූ පුටුවක්‌ පෙන්වූ විටදී ගමරාල කළේ "මේ හොඳයි" කියා එතැන තිබූ පැදුරක්‌ ඇද එලා එහි හිඳ ගැනීමය. ඉන්පසුව උන්වහන්සේ "මේ අපේ අගමැතිතුමා" යනුවෙන් කියා සිටි අවස්‌ථාවේ මෙසේ වැඩම කර සිටි නායක හාමුදුරුවරුන්ට ඇස්‌ අදහාගත නොහැකි විය. ඉහළට ඇදගත් සුසුම පහළට දැමීමටද නොහැකි තරම් විය. උන්වහන්සේලාගේ විමතිය තේරුම් ගත් නායක හිමියෝ කරුණු පහදා දුන්හ.

"අගමැතිතුමා අපේ රාමඤ්ඤ නිකායේ ආරක්‌ෂකයානෙ. මගෙත් හිතවතානෙ. ඉතින් එතුමා වාසය කරන්නෙ දැන් මේ පාරෙන් එහා පැත්තෙ අරලියගහ වලව්වෙනෙ. ඉතින් විවේක වෙලාවක මෙතුමා ලොකු කමක්‌ නොබලා සරමක්‌ බැනියමක්‌ ඇඳලා අරලියගහ වලව්වේ පිටිපස්‌සේ ගේට්‌ටුව ඇරගෙන මාව බලන්න මෙහෙම එන එක සිරිතක්‌ වෙලා" යනුවෙන් කියා සිටි විටදීයි එම නාහිමිවරුනට කාරණය තේරුම් ගියේ.

ගම්බද වලව්වක උපන් අමු ගැමියකු වූ මෙතුමා කෙතරම් උසස්‌ නිලතල ලැබුණද තම සිංහල කමත් අමුම අමු ගැමිකමත් බෞද්ධ කමත් අත නොහැරිය බවට උන්වහන්සේලාට මෙය හොඳම සාක්‌ෂියක්‌ද විය. ඉන් අනතුරුව උන්වහන්සේලා සමඟද නිහතමානීව කතාබහ කළ මේ අමුම අමු ගැමියකු ගොවිරාල කෙනකු බඳු වූ ලංකාවේ අගමැතිතුමා ගැන යළි එම පිටිසර ගම්මානවල විහාරස්‌ථානවලට ගොස්‌ දායකයන් සමඟ උන්වහන්සේලාටත්, දායකයන්ටත් සතියක්‌ දෙකක්‌ තිස්‌සේ වුවද කියන්නට කරුණු තිබෙන බව පෙනිණි.

නාහිමියන් සමඟ "අගමැති ගොවිරාලගේ" කතාබහට ඉඩ දී උන්වහන්සේලා එතැනින් ඉවත් වූවාට පසුව සෑහෙන වෙලාවක්‌ තිස්‌සේ හංචාපොළ විමලවංස නාහිමියන් සමඟ කතාබහේ යෙදුණු අගමැතිතුමෝ ආපසු යන්නට පෙර පහත්වී වැඳ සිටි විට තරමක්‌ ඈතින් සිට බලා සිටි නාහිමිවරුනට එතුමාගේ බෞද්ධකමද මනා ලෙස කැපී පෙනිණ.

වර්ෂ 1947 දී පැවැත් වූ මැතිවරණය අනුව එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයා ලෙස වැඩි මන්ත්‍රී ආසන ගණනක්‌ දිනාගත් අනෙකුත් ජාතිකයන් සමඟ එක්‌ව එම බලය පෙන්වා රටේ අග්‍රාමාත්‍ය පදවියට පත්වූවේ මෙම සිද්ධියට මාස දෙකකට පෙර 1947 සැප්තැම්බර් 27 වැනිදාය. අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දුන්නේ ඉන් දින දෙකකට පසුවය.

රටට නිදහස ලැබෙන බවට වූ නිවේදනය තවමත් එංගලන්තයෙන් ලැබී නැත. එය හැකි ඉක්‌මනින් ලැබෙන බවටත් එයට යටත් විජිත ලේකම් ලෝගන්සාමි අත්සන් කර තිබෙන බවටත් දැනටම දැනගෙන හමාරය. සේනානායක අගමැතිතුමා ඇතුළු ඇමැති මණ්‌ඩලය දැන් කටයුතු කරගෙන යන්නේ ළඟදීම රටට ලැබෙන නිදහස පිළිබඳව කළ යුතු කටයුතු පිළිබඳව වූ සැලසුම් සැකසුම් කවරාකාරයෙන් විය යුතුද යන්න තීරණය කරන්නටය.

අරලියගහ වලව්ව පිටුපස වූ පොල්වත්තේ පන්සල නමින් වඩාත් ප්‍රකටව කියෑවෙන මෙම ධර්ම කීර්ත්‍යාරාම විහාරස්‌ථානය නිදහස්‌ ලංකාවේ මූලික විහාරස්‌ථානයක්‌ වශයෙන් යොදා ගැනීම මෙසේ මෙහි යන එන ගමන් ඩී. එස්‌. සේනානායක අගමැතිතුමාත් නාහිමියන් අමතා කියා සිටියහ. ඒ වන විටද දශක අටක පමණ කාලසීමාවක්‌ තුළ ධර්ම කීර්ත්‍යාරාමය ලබා ඇති දියුණුව තව තවත් ඉහළට නැංවීමද එතුමාගේ මූලික අරමුණක්‌ වූ බවද එහිදී හෙළි කෙරිණ.

"එකක්‌ තියෙනවා නායක හාමුදුරුවනේ. මට මෙතැනටත් මටත් ඔබව වහන්සේටත් වැදගත් වෙන්න යමක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා. නිදහස්‌ දවසෙම මේ පන්සල් භූමියේ අඹ පැළයක්‌ සිටුවන්න නිදහස්‌ දිනේ නිමිත්තෙන්. ඒක අපිත් මතක්‌ වෙන්නත් එක්‌ක දීර්ඝ කාලයක්‌ පවතියි." යනුවෙන් ඉන් අනතුරුව කී සේනානායක අගමැතිතුමෝ උන්වහන්සේට වැඳ නමස්‌කාර කර සමුගත්තා.

එළියට බැස සෙරෙප්පු කුට්‌ටමත් පයලා ඉක්‌මන් ගමනින් පාර මාරු වී අරලිය ගහ වලව්වේ පස්‌ස පැත්තේ ගේට්‌ටුවෙන් ඇතුළු වන තෙක්‌ මේ ගම්බද ගොවිරාළ කෙනෙකුගේ චරිතය රඟ දැක්‌වූ රටේ අගමැතිතුමාගේ නිහතමානිකම ගැන පිටිසරින් ආ නාහිමිවරුද දායකයන්ද තව වරක්‌ පුදුමයට පත් වූහ.

නිදහස්‌ දින 1948 පෙබරවාරි 4 වැනිදා පූජ්‍ය හංචාපොළ විමලවංස නාහිමියන් පිරිත් දේශනා කරද්දී සේනානායක අගමැතිතුමෝ අඹ පැළය සිටු වූහ. පසු කාලෙක සිට පොල්වත්ත පන්සලේ නිදහස්‌ දිනය සමරන්නේ එම මහා අඹ ගස යට සිටය. එය තවම පන්සලට අලංකාරයක්‌ව පවතින්නේය.

සෝමසිරි කස්‌තුරිආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.