සත්‍ය රස කතාවක්‌
සොරුන් ගල්කළ බරම්පොල කෝරාළ

මෙය දැනට ශතවර්ෂ කිහිපයකට පෙර වයඹ පළාතේ බරම්පොල ප්‍රදේශයේ විසූ බරම්පොල කෝරාළ වටා ගෙතුණු විශ්මයජනක කතා පුවතකි. බරම්පොල කෝරාළ යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම්, කොඩිවින, මලයාල ගුරුකම් පිළිබඳව ප්‍රදේශයේ අති මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලූ පුද්ගලයකු විය. බස්‌රථ, යාන වාහන හෝ වෙනයම් ගමන් පහසුවක්‌ හෝ නොතිබූ මේ සමයෙහි මෙම ප්‍රදේශවල ගැමි ජනතාව නඩුවකට හෝ වෙනයම් අවශ්‍යතාවයක්‌ සඳහා සැතපුම් තිහ, හතළිහ දුර ගෙවා කුරුණෑගල, හලාවත වැනි නගරවලට ගියේ හුදෙක්‌ පා ගමනිනි. මෙම ප්‍රදේශයේ සිට එසේ යැමට ඊට පෙරදා සිටම ගමන් ආරම්භ කළ යුතුය. එකල මෝටර් රථයක්‌ තබා කරත්තයක්‌වත් තිබුණේ ගමක ප්‍රභූවරයකුට පමණි.

වෙනෙකක්‌ තබා දුවා දරුවකුගේ ආවාහ, විවාහවලදී පවා විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූයේ නිවෙස්‌ හිමියා සතු ගව පට්‌ටියේ විශාලත්වය අනුවය.

දිනක්‌ කුරුණෑගල අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා මෙකී '' බරම්පොළ කෝරාළ'' බරම්පොල සිට කුරුණෑගල දක්‌වා ගමන් ඇරඹුවේ තමා සතුව ඇති ටැන්ටු කරත්තයෙනි. මේ ගමනේදී කැලෑබද ප්‍රදේශ පසුකොට යද්දී මාස්‌පොත හරහා දිවෙන දැදුරුඔය පාලම පසු කරනවාත් සමඟම හමුවූ කැලෑ බද ප්‍රදේශයකදී මංකොල්ලකරුවන් හතර දෙනෙක්‌ ක්‌ෂණිකව පාරට පැන කරත්තය නැවැත්වූයේ මුදල් හදල් මංකොල්ලකෑමේ අදහසිනි. යන කරත්තය වහා නැවැත්වූ ඔවුන් බරම්පොල කෝරාළ දෙසට කඩාපැනීමට තැත් කරත්ම තම අත්ලට මතුරා ඔවුන් දෙසට අත දිගුකළ බරම්පොල කෝරාළ ජඃ ජඃ කියා ගොනාට අණකරමින් තම කරත්තය දක්‌කා ගෙන ගියේ කිසිම හැලහොල්මනක්‌ නොමැතිවය.

අධිකරණයේ පෙනී සිටි ''බරම්පොල කෝරාළ'' එහි වැඩ අවසන් වී තමාගේ අනෙකුත් අවශ්‍යතාවන් ද ඉටුකර ගැනීමෙන් අනතුරුව නැවත ආපසු පිටත්ව එනවිට බොහෝ රෑ බෝවී තිබිණ. රාත්‍රි දහයට පමණ මාස්‌පොත පාලම අසලට එනවිටත් පෙර කී මංකොල්ලකරුවන් සතර දෙනා පාර අයිනේ උන්හිටි තැන්ව එලෙසින්ම සිටගෙන සිටින අයුරු දුටු 'බරම්පොල කෝරාළ'' ආ · උඹලා හතර දෙනා තවමත් ඔතනදැයි?'' අසමින් පෙර පරිදිම අත්ලට මතුරා ඔවුන් දෙසට අත දිගු කරනවාත් සමගම පණ ගැහෙමින් සුදහ ගින්දරේ නිරාහාරව සිටි මංකොල්ලකරුවෝ සතරදෙනා හිස්‌ ලූ ලූ අත වැටි වැටී දිව ගියහ.

''ඔන්න, ඕකයි වැඩේ· ආයෙනම් මංකොල්ලකෑම් කරන්නේ නැතැයි'' පැවසූ 'බරම්පොල කෝරාළ'' තම ටැන්ටු කරත්තය දක්‌කාගෙන ගෙදර ගියේ ඔහු මෙම මන්තරවල බල මහිමය ගැන සිතමිණි.

''බරම්පොල කෝරාළගේ'' මෙබඳු විස්‌මය ජනක ක්‍රියා පිළිබඳව අදටත් මෙම ප්‍රදේශයේ ජනතාවගේ මතක සටහන් නොවෙනස්‌ව ර¹ පවතී. මෙය සත්‍ය සිදුවීමකි.

විශ්‍රාමලත් ආචාර්ය
ඩී. එන්. දිසානායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.