ශරීරයේ ඉන්ද්‍රියයන් සිහි ගන්වන
එළවළු පලතුරු


ගොටුකොළයේ හැඩය මොළයේ
රැළි වැටුනු ස්‌වභාවයට සමානය.

වකුගඩුවේ, හදවතේ හැඩය සිහිගන්වන
එළවලු, පළතුරු බොහෝය.
ස්‌වරූපයෙන් පමණක්‌ නොවන
මේවා ගුණයෙන්ද අනූනය.

ස්‌වභාවදහම ඇතැම් විට හරි අපූරු නිර්මාණ බිහි කරන බව අප කවුරුත් දන්නා කාරණාවකි. එය අහම්බයකින් වුව ඇතැම් එළවළු පලතුරු වර්ගවලට අපගේ ශරීර ඉන්ද්‍රියයන්ගේ ස්‌වරූපය ලබා දී තිබෙන බව පෙනී යයි. ස්‌වභාවදහම ඇඟිල්ලෙන් ඇන ඇන අපේ ඇඟේ වැදි වැදී අපට කියා දෙන්නේ මේවා සුලභව ආහාරයට ගන්නා ලෙසයි. පැරැන්නන් අද තරම් නූතන විද්‍යා තාක්‌ෂණික දැණුමකින් සන්නද්ධව නොසිටියත් ස්‌වභාව දහමට සංවේදි විය. මේ සංවේදීභාවය බොහෝ අනතුරු මග හැර යන්නට ඔවුන්ට ඉවහල් විය. එවැනි අපගේ ඉන්ද්‍රියයන් සිහි ගන්වන ආහාර ද්‍රව්‍යය කිහිපයක්‌ මෙසේ ය.

අලි ගැටපේර

පැසුණු අලිගැටපේර ගෙඩියක බාහිර ස්‌වරූපය කාන්තාවකගේ ඩිම්බ කෝෂයක හැඩය ගනී. එමෙන්ම අලි ගැටපේර ගෙඩියක්‌ දික්‌ අතට කැපුවාම පෙනෙන්නේ හරියට ගර්බනී මවකගේ උදර සහ උකුල ප්‍රදේශය මෙනි. අලිගැටපේර ගෙඩියේ ඇටය ගර්භාෂයේ වැඩෙන දරුවා මෙනි. අලිගැටපේර වනාහි ගැබිණි මවකට සහ කළලයේ වර්ධනයට අවැසි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් මෙන්ම ඖෂධීය ගුණ රාශියකට හේතු වන ශාක රසායනිකයන්ගෙන් අනූන ය. එමෙන්ම මෙහි අත්‍යවශ්‍ය ඔමේගා තුන මේද අම්ල ද සුලභ ය. ඔමේගා මේද අම්ල වැඩියෙන්ම අන්තර්ගත වන පලතුර වන්නේ ද අලිගැටපේර වෙයි. මෙම මේද අම්ල නිසියාකරයෙන් ගැබිණි මවකට නොලැබුණොත් විශේෂයෙන් කළලයේ මොළය වර්ධනයට අහිතකර ලෙස බලපානු ලබයි. ගැබිනි මවක්‌ අත්‍යවශ්‍ය ඔමේගා තුන මේද අම්ල යහමින් නොගත්තොත් ඇගේ ගර්භාෂයේ වැඩෙන කළලය තම අවශ්‍යතාවයට සරිලන මේද අම්ල මවගේ සිරුරෙන් ලබා ගනී. විශේෂයෙන් මවගේ මොළය තුළ තිබෙන මේද අම්ල දරුවා ලබා ගනී. එවිට මවට දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන මොළය ආශ්‍රිත සංකූලතා සදහා මෙය හේතුවක්‌ වන්නට පිළිවන. මෙවැනි තත්ත්වයක්‌ ඇති වීම වළක්‌වා ගන්නටනම් ගර්භනී මවක්‌ ශරීරයට අහිතකර නොවන අලි ගැටපේර වැනි ඔමේගා තුන මේද අම්ල සුලභ ආහාර අනුභව කිරීම බෙහෙවින්ම වටින්නේ ය.

අලිගැටපේර වනාහි සිරුරට අහිතකර නොවන අන්දමට ශක්‌තිය ලබා ගන්නට ද හිතකර ආහාරයක්‌ වෙයි. අලිගැට පේර ග්රෑම් සියයකින් ශක්‌තිය කිලෝ කැලරි 160 ක්‌ ලබා ගන්නට පිළිවන. එමෙන්ම මෙහි බොහෝ පලතුරු වල බහුලව හමු නොවන ප්‍රොaටීන් ද තිබේ. මෙය ආහාරමය තන්තු බහුල ආහාරයක්‌ වන බැවින් ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගී භාවයට මෙන්ම මළ බද්ධයෙන් වැළකී සිටින්නට ද හොඳ පළතුරකි. අලි ගැට පේර වනාහි මේ ලොව තිබෙන පලතුරු අතරින් විටමින් ඊ. කේ. ඒ. සී. සහ බී. විටමින්වලින් ඉතාමත් පොහොසත් පලතුරකි. එමෙන්ම සින්ක්‌, පොටෑසියම්, මැංගනීස්‌ සහ යකඩ යන ගර්භනී සහ කිරි දෙන මවකට අත්‍යවශ්‍ය ඛණිජ ලවන වර්ග රාශියකින් ද පොහොසත් පලතුරක්‌ වෙයි. බීටා සිටොස්‌ටිරෝල් (Beta-sitosterol) නැමති දුලභ ශාක රසායනිකය මෙහි සුලභව හමුවීම ද අලිගැටපේර සතු තවත් ඉතාමත් වැදගත් ගුණාංගයක්‌ වෙයි. මෙය සිරුරේ අහිතකර කොලස්‌ටරෝල් මට්‌ටම පහත දමන බවත්, හිතකර කොලස්‌ටරෝල් මට්‌ටම ඉහල දමන බවත් සොයා ගෙන තිබෙනවා. මෙයට අමතරව බීටා සිටොස්‌ටිරෝල් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නටත්, ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නන්වන්නටත්, මහාන්ත්‍ර පිළිකා සමනය කරන්නටත්, හන්දිපත් අමාරුව සහ ගර්භාෂ සංකූලතා සමනය කරන්නටත්, ඉන්µaලුවෙන්සා සහ වෛරස්‌ රෝග, ඇදුම, ආතරයිටිස්‌, ශ්වසන ආබාධ, ආර්ථවහරණ සංකූලතා සමනය කරන්නටත් ඉවහල් වන බව සොයා ගෙන තිබෙනවා. මේ ආදි වශයෙන් අලි ගැට පේර වනාහි විශේෂයෙන් ගර්භණී සහ කිරි දෙන සෑම මවක්‌ මෙන්ම බාල මහලු හැම දෙනෙකුම නිතර සේවනය කළ යුතු අනර්ඝ පලතුරක්‌ බව තහවුරු වෙයි.

ගොටුකොළ -

අපගේ හිස්‌ කබල විවෘත කර බැලුවහොත් එය රැළි වැටුණු ස්‌වරූපයක්‌ පෙන්නුම් කරයි. මෙය හරියට ගොටු කොළ පත්‍රයක මතු පිට පෙනුම සිහි ගන්වයි. ගොටු කොළ පිළිබදව දැනට සිදුකර තිබෙන පර්යේෂණ බොහොමයකටම අනුව මෙම ශාකය ස්‌නායූ පද්ධතිය සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අවැසි ටි්‍රටර්පීන්ස්‌ සැපොනින් (Triterpenes saponin compounds) සංඝටක වලින් පොහොසත් ය. මෙයට අමතරව ටි්‍රටර්පීන්ස්‌ සැපොනින් සංගටක රුධිර සංසරණ පද්ධතිය දියුණූ කරන්නටත් සමේ සහ කෙස්‌ වල නීරෝගීභාවය වැඩිදියුණූ කරන්නටත් ඉවහල් වෙයි. මොළයට මෙන්ම සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට අවැසි වන විටමින් සහ ඛනිජ ලවන රාශියක්‌ ද ගොටුකොළ තුළ අන්තර්ගත වෙයි. එමෙන්ම ගොටු කොළ ශරීර ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වැඩි දියුණූ කිරීමේ ගුණ සහ පිළිකා නිවාරණ කිරීමේ ගුණ ද ඇති බව සොයා ගෙන තිබෙනවා.

මුකුණුවැන්න-

මුකුණුවැන්න පත්‍රයක හැඩය අනෙක්‌ ශාක පත්‍ර වලට වඩා වෙනස්‌ ආකාරයක්‌ පෙන්නුම් කරයි. මුකුණුවැන්න පත්‍රයක්‌ අපේ ඇස උඩින් තැබුවහොත් එය හරියට ඇසක ස්‌වරූපය පෙන්නුම් කරයි. මුකුණුවැන්න ඇසේ පෙනීම වැඩි දියුණු කරන්නට හේතු වන බීටා කැරොටින් (විටමින් ඒ ) ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියකින්ම අනූන ආහාරයකි.

තක්‌කාලි-

තක්‌කාලි ගෙඩියක්‌ දික්‌ අතට පලා නිරීක්‌ෂණය කළහොත් එය කර්ණිකා දෙකකින් සහ කෝෂිකා දෙකකින් සැදුම්ලත් අපගේ හදවතේ අභ්‍යන්තරය සිහි ගන්වයි. තක්‌කාලි වනාහි හදවතේ නීරෝගිකම සහ හදවත් රෝග වලින් වළකින්නට ඉවහල් වන ලයිකොපීන් (Lycopene) නමැති ශාක රසායනිකයෙන් අනූන ආහාරයක්‌ වෙයි. මෙහිලා අවධාරණය කළ යුතු තවත් වැදගත් කාරණාවක්‌ වන්නේ කාබනිකව වගා කරන වැඩිදියුණු නොකළ සම්ප්‍රදායික තක්‌කාලි ප්‍රභේදවල ලයිකොපීන් සියයට අසූවකින් වැඩියෙන් අන්තර්ගත වන බවය.

කැරට්‌-

කැරට්‌ අලයක්‌ හරස්‌ අතට කපා නිරීක්‌ෂණය කළහොත් එය අපගේ ඇසේ කුණීතයේ හැඩය සිහි ගන්වනු ඇත. කැරට්‌වල විටමින් ඒ සුලභව තිබෙන බව අප කවුරුත් දන්නා කාරණාවකි. සාමාන්‍යයෙන් කැරට්‌ ග්‍රෑම් සියයකින් අපගේ දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් සියයට 113 ක්‌ පමණ ලැබේ. විටමින් ඒ වනාහි ඇස්‌වල පෙනීම සහ විශේෂයෙන් වියපත් වීමේදී ඇසට සිදු වන හානි වැළැක්‌වීම සදහා අත්‍යවශ්‍ය වන විටමිනයක්‌ වෙයි.

ලීම ඇට-

මෑ. ලීම. බෝංචි වැනි පියලි ඇට වර්ග වල මතු පිට පෙනුම මිනිස්‌ වකුගඩුවක හැඩය සිහි ගන්වයි. මෑ, ලීම සහ බෝංචි ඇට වල අන්තර්ගත වන පෝෂක සංඝටක වකුගඩු වල නිරෝගිභාවය සඳහා බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන අතර, රතු, නිල්, දම් වැනි වර්ණයන්ගෙන් සැදුම් ලත් මෙම ඇට වර්ග. එම වර්ණ වලට හේතු වන ප්‍රොඇන්තොසයනින් වැනි ශාකරසායනිකයන්ගෙන් පොහොසත් ආහාර වෙයි. මේවායේ තිබෙන ශාඛ රසායනිකයන් වකුගඩු රෝග, හදවත් රෝග සහ පිළිකා රෝග වලින් ආරක්‌ෂා වන්නට ද කෙනෙකුට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි. අනෙක්‌ අතට පියලි ඇට වර්ග ෆොලික්‌ අම්ලයෙන්ද පොහොසත් ආහාරක්‌ වෙයි. ෆොලික්‌ අම්ලයේ ක්‍රියාකාරිත්වය පිළිබද ඇමරිකානු කොලරාඩෝ සරසවියේ සිදු කර ඇති නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙන තොරතුරු අප මවිත කරවයි. රුධිරයේ අන්තර්ගත ආසනික්‌ නමැති අධික විෂ සහිත බැරලෝහය සියයට 40 න් මූත්‍ර මගින් ඉවත් කර වන්නට ෆොලික්‌ ඇසිඩ් වලට පිළිවන් බව සනාථ වී තිබීම එයට හේතුවයි. ඒ අනුව මෑ, ලීම වැනි ආහාර සුලභව ගැනීම වකුගඩුවල නිරෝගි පැවැත්මට වෙසෙසින්ම ඉවහල් වන බව පෙනී යයි.

ජම්බෝල -

මහ නාරන් නොහොත් මහ සිදරම් යන නම්වලින් ද හැඳින්වෙන ජම්බෝල පලතුර වනාහි මේ දිනවල සුලභව දකින්නට තිබෙන පලතුරකි. මෙහි බාහිර ස්‌වරූපය ස්‌ත්‍රියකගේ පියයුරක හැඩය පෙන්නුම් කරයි. ජම්බෝල පොත්තේ. මදයේ සහ මදයත් පොත්තත් අතර තිබෙන ස්‌පොන්ජිමය ආවරණය තුළ පියයුරු පිළිකා රෝග මර්දනය කරන්නට සමත් ක්‌වසටින් Quercetin සහ හෙස්‌පෙරිඩින් Hesperidin වැනි දුර්ලභ µaලැවනොයිඩ වර්ග රාශියක්‌ම නිස්‌සාරණය කර ගන්නට විද්‍යාඥයින් සමත් ව තිබෙනවා.

මෙයට අමතරව ජම්බෝල ග්‍රෑම් සියයකින් විටමින් සී දෛනික අවශ්‍යතාවයෙන් සියයට 73 ක්‌ පමණ ලබා ගන්නට පිළිවන විටමින් සී වනාහි පිළිකා පරදන ප්‍රතිඔක්‌සිකාරක ගුණ ඇති විටමීනයක්‌ ද වෙයි. මෙම පලතුර පොටෑසියම් අධික සහ සෝඩියම් නොමැති පලතුරක්‌ වන බැවින් හදවත් රෝගීන්ට සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට ද දිව ඔසුවක්‌ වෙයි. එනමුත් පොටෑසියම් අධික ආහාර වකුගඩු ආබාධ වලින් පෙළෙන රෝගීන්ට අහිතකර වන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. බටහිර ඖෂධවල විෂ හරණ ක්‍රියාවලියට බාධා කරන රසායනික සංගටක ද ජම්බෝල වල සුලු වශයෙන් තිබෙන නිසා ඉංග්‍රීසි බෙහෙත් බොන රෝගීන්ට ද ජම්බෝල හිතකර වන්නේ නැත. කෙසේ වෙතත් සාමාන්‍ය නිරෝගි ළමා මහලු හැමෝටම විශේෂයෙන් ස්‌ත්‍රීන්ට ගුණදායක පලතුරක්‌ ලෙස ජම්බෝල සැලකිය හැකිය.

ජපන් ජාතික මහාචාර්යවරයෙකු දිනක්‌ බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ පාසැලකට පැමිණියේය. සිමෙන්ති පඩි පෙළ දිගේ ගමන් කරමින් සිටි ඔහු සිමෙන්ති බදාමය අස්‌සෙන් අසීරුවට එහෙත් සරුවට වැවී තිබුණු ගොටුකොළ පදුරක්‌ දෙස මහත් විශ්මයෙන් යුතුව බලා සිටුණු පෙනිණ. -අපේ රටේ මේ වටිනා දිව ඔසුව වගා කර ගන්න අපි පුදුම දුකක්‌ වි`දිනවා. උඹලගේ රටේ විසි කරත් හැදෙන මේ ඖෂධය පාගා ගෙන යනවා. උඹලට කවදානම් මොළය පෑදෙයි ද...." ජපන් මහාචාර්යවරයා එසේ කීය.

ඉදුණු ජම්බෝල ගෙඩි වලින් පිරුණු ජම්බෝල ගසක්‌ එක්‌තරා නිවසක්‌ අසල තිබෙනු රාජකාරි ගමණක්‌ යමින් සිටි මා හට දිනක්‌ දකින්නට පිළිවන් විය. එම නිවසේ සාමාජිකයින්ට මා ජම්බෝලවල ගුණය පිළිබද කියා දුනිමි. ඊට වසරකට පමණ පසු එම නිවස අසලින් නැවත වතාවක්‌ ගමන් කරමින් සිටි මා හට අර ජම්බෝල ගස කපා දමා තිබෙනු නිරීක්‌ෂණය විය. අවාසනාවක මහත. එම නිවසට අල්ලපු නිවසේ සිටි ස්‌ත්‍රියක්‌ පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන බව දැන ගන්නට හැකි විය. අනේ අර ජම්බෝල ගස කපා නොදා ජම්බෝල ආහාරයට ගත්තානම් අර කාන්තාවට සමහර විට පියයුරු පිළිකා රෝගය නොවැළදී තිබෙන්නට පිළිවන් බව එවෙලේ මට සිතිණ.

ස්‌වභාව දහමට නොව රූපවාහිනියේ වෙළෙද දැන්වීම්වලට සංවේදී අපි බොහෝ දෙනෙකු ස්‌වභාවදහමේ පණිවුඩ කියවා ගන්නට අපොහොසත් වෙමු. ඒ නිසා ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු මිය යන්නේ දේවල් නොමැතිකම නිසා නොව දේවල් පිළිබද නොදන්නාකම නිසාවෙන් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

ගැමුණු සාලිය පෙරේරා
උපදේශක, වස විස නැති ආහාර ජාතික වැඩසටහන, උපායමාර්ගික ව්‍යවසාය
කළමනාකරණ ආයතනය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.