වසංගත මිනිස්‌සු

මොල්ලිගොඩ ලොකු නෑනාගේ ගෙදරට මල්ලිකා ගොඩ වුණේ "කෝ ලොකු අයියේ මංගලිකා? මොකද පේන්න නැත්තේ" යි අසා ගෙන ය. ඒ වෙනදාට වාහනය මිදුලට එනවාත් එක්‌කම ඉදිරියට එන්නේ නෑනා වුණත් අද ඇය පේන්නට නැති නිසා ය.

"කාමරේට වෙලා බොරුවට නිදි. වසංගතෙන් බේරෙන්න ටිකක්‌ එහෙම ඉන්න කියල මම කිව්වා." ලෙස්‌ලිගේ ඒ පිළිතුරෙන් මල්ලිකා සෑහෙන්න ගැස්‌සුණු බව පෙනුණි. එහෙත් හොරට නිදාගෙන වසංගතවලින් බේරෙන්න පුළුවන්කමක්‌ නම් තිබිය නොහැකි ය. කොයිකටත් වසංගතයේ විස්‌තර අසා දැන ගත යුතු ය.

"දෙයියනේ මෙහාටත් ඩෙංගි ඇවිල්ල ද? ඒකට නිදාගෙන ඉඳල හරියන්නේ නැහැ නේ. වත්ත පිටිය ටිකක්‌ සුද්ද කරන්න එපායෑ මදුරුවො වඳ වෙන්න."

ලෙස්‌ලි එයට පිළිතුරක්‌ දෙන්නට කලින් මහ හඬින් සිනාසෙමින් මංගලිකා පැමිණියේ වසංගත බිය නැති කරමිනි.

-නෑ නංගියෙ ඔය කියන්නේ මදුරු වසංගතයක්‌ ගැන නෙමෙයි. මේ ළඟදි ඉඳලා ඕපදූපකාර ගෑනු කෙනෙක්‌ එන්න පටන් අරගෙන හරිම වදයක්‌. එයාට තමයි මේ වසංගතේ කියන්නේ. ආවම පැය ගාණකට යන්නේ නෑ. මුළු පළාතේම ගෑනුන්ගේ පිරිමින්ගේ චරිත කතා, නැති බැරිකම්, දරුවන්ගේ ප්‍රේම කතා සේරම කියවනව. ඒ විතරක්‌යෑ, ඒ මිනිස්‌සුන්ගේ ආත මුත්ත කාපු බීපු හැටි ඉඳන් සේරම - පුරාවිද්‍යාවෙන් ද අංජනමකින් ද මන්ද - අමාරුවෙන් හොයා ගත්ත වගේ තලු මර මර වමාරනව.

"ෂා. දේශපාලනේට නම් හරියයි වගේ නේ ද? හැබැයි අපි අහගෙන හිටිය නම් නවකතාවක්‌ තුන හතරක්‌ වත් ගොතා ගන්න තිබුණ."

"අහගන ඉන්න බැරි තැන මෙයා දවසක්‌ හොඳට කිව්ව. එන්න එපා මෙතන ඕපාදූප දොඩවන්න. අපේ කාලෙත් ඉවරයි. ඔයත් පවු ගොඩක්‌ පුරව ගන්නව. ලැ-ජ නැද්ද ජරා වැඩ කරන්න කියල අයිය බැන්න. එදා පුපුර පුපුර ගිහිං මෙන්න ආයෙත් එනව දන්නවද වැඩක්‌ කියාගෙන."

මෙහෙම චරිතවලට නොයෙක්‌ විකට නම් තිබෙන බව හැමෝ ම දනිති. වාතයක්‌, කෝච්චියක්‌, ලෙඩක්‌, තොප්පියක්‌, උදැල්ලක්‌, මරාලයක්‌ වැනි බොහෝ වචන වලින් මෙවැනි අය හඳුන්වනු ලැබේ. ඔවුහු අපේ කාලය කනවා පමණක්‌ නොව ජීවිත ද අවුල් කරති. සමහරු අඹු සැමියන් කොටවති. අසල්වැසියන් සතුරු කරති. එසේ කරන්නේ කේලම් වැපිරීමෙනි. "ඔය අල්ලපු ගෙදර ගෑනි මහ එපාකරපු එකියක්‌" යෑයි කියා ඔබේ සිනාව හෝ හිස වැනීමක්‌ බලාගෙන සිටිති. වසංගතය තරහ කර ගන්නට අකැමැති නිසා ඔබ හැබෑද කියාවත් කීවොත්, හූමිටි තිබ්බොත් නැති නම් සිනාසී හිස වැනුවොත් ඔවුනට ඒ ප්‍රමාණවත් ය. අල්ලපු ගෙදරට ගොඩ වී එය වාර්තා කරන්නේ ඔබේ මුවින් ගිලිහුණු වචනයක්‌ විදියටය. නපුරු දුදනන්ගෙ සියොළඟෙහි ම විසයයි අලගියවන්න මුකවෙටිතුමා ලියුවේ ඒ වාගේ අය ගැන ය.

සියොළඟ විස මිනිස්‌සු ගැන සඳහන් කරන විට දස වසරකට පෙර මා කියෑවූ කදිම පොතක්‌ වෙත මගේ මතකය දුවයි. පොතේ නම TOXIC PEOPLE ය. කැලිෙµdaනියාවේ බෙවර්ලි හිල්ස්‌හි ජන සන්නිවේදන විශේෂඥවරියක වූ කතුවරියගේ නම ආචාර්ය ලිලියන් ග්ලාස්‌ ය. -10 ways of Dealing with people who make your life miserable යන උප ශීර්ෂය ද යොදා ඇය මේ අනගි පොතෙන් දෙන මහරු පණිවුඩය නම් විස මිනිසුන් වසංගතයක්‌ මෙන් දුරින්ම දුරුවන් කරන්න යන්නයි. පාලියෙන් -ආරකා පරිව-ජෙයH කියන්නේ ද මේ අවවාදය ම ය. ලිලියන් ග්ලාස්‌ මහත්මිය නම් දුරු කරන්නට කියන්නේ ඕපාදූප වපුරන්නන් පමණක්‌ නොව හැම ජාතියේම -වාත පොරවල් ය. කාගේ හෝ කැත කතා, කැත පුරුදු සහ නොහොබිනා පැවතුම් අප තුළ පිළිකුලක්‌ හෝ අමනාපයක්‌ ඇති කරන්නේ නම් අප ඔවුන් ඇසුරු කරන්නේ කෙසේ දැයි ඇය විමසයි. ලිලියන් ග්ලාස්‌ගේ විස මිනිසුන් අතරට කතා කරන ගමන් අප කෙළවලින් නාවන අය ද ඇතුළත් කර තිබේ. ඇත්තටම එබන්දන් සමග කතා කළාට පසු අපට ඩෙටෝල් වලින් නාගන්නට සිදු නොවන්නේ ද? මේ ලැයිස්‌තුවට ඔබ කැමති නම් නහයේ සහ දෙකණේ මිනිරන් හාරන අය, කතා කරන ගමන් නියපොතු වලින් දත් සුද්ද කරන අය මෙන් ම ඇඟිල්ලෙන් අනිමින් ඇඟපත අතපත ගාමින් ඕනෑවට වඩා ලෙන්ගතුකම් පාන්නට එන අය ද ඇතුළත් කර ගත හැකි ය.

ඕනෑ ම පොඩි දේකට ගිරිය පලාගෙන කෑ ගහන අය, තමන්ගේ උජාරුව ගැනම දොඩවන අය, අනුන්ගේ ඕනෑ ම දෙයක්‌ හෙළා දකින අය, අනුන් හෙළා දකිමින් පල් කරමින් සතුටු වන අය, අලි ඔලුවෙන් ඉන්න හෙවත් ඔලුව ඉදිමුණු අය, කෙළින් කතා නොකර ආඳා මෙන් ලිස්‌සන අය, මිනිත්තුවෙන් කිව හැකි දේ කියන්නට පැයක්‌ ගන්නා අය මෙන් ම කට ඇරියොත් බොරු ම කියන අය ද විසකුරු මිනිසුන් ගණයට ඇතුළත් කර තිබේ.

ශාරීරික පවිත්‍රත්වය සහ ඇඳුම ගැන අප සැලකිලිමත් විය යුතු බව ග්ලාස්‌ මහත්මිය අවධාරණය කරයි. ඇඳුම් පැළඳුම් වලින් හෝ අපේ සිරුරෙන් දුගඳ හමන්නේ නම් කවුරුවත් අපට ප්‍රිය නොවෙති. විශේෂයෙන්ම සමාජය සමග නිතර මිශ්‍ර වන අය තම පෞද්ගලික ස්‌වස්‌ථතාව ගැන සැලකිලිමත් වුවමනා ය. හිසකෙස්‌ නොපීරා නොසෝදා එකට හා වී හමක්‌ මෙන් වැඩෙන්නට හැර රැවුල් කිහිලි ලෝම සහ නියපොතු දික්‌ කර ගෙන නාන්නේ නැතිව හපුටු ඇඳුම් පොරවා ගෙන දුගඳ විහිදුවමින් ධර්මශාලාව අසලින් ගිය අන්‍යාගමික පැවිද්දන් පිරිසක්‌ දුටු බුදුරජාණන් වහන්සේ -මේ උදවියට වඳින්නට කෙනෙක්‌ කිට්‌ටු වන්නේ කොහොම දැයි විමසූ බව වාර්තා වෙයි. බෞද්ධ භික්‌ෂූන් නා පිරිසිදුව කෙස්‌ රැවුල් කපා නොකිලිටි සිවුරෙන් සැරසී ජනතාවගේ සිත් පහන් වන අයුරින් ජීවත් විය යුකු බව අවධාරණය කර නීති ද පණවා ඇත්තේ එහෙයින්ය.

සමහර අය රස්‌සාවට හොරකම් නොකරතත් ගෙදරකට ගිය විට සිත් ගන්නා සුලු හුරුබුහුටි දෙයක්‌ දුටුවහොත් හිමින් සීරුවේ සාක්‌කුවට දමාගෙන යැම සිරිත ය. පොතක්‌ හෝ සංයුක්‌ත තැටියක්‌ ඉල්ලා ගත් පසු ආපසු නොදෙන අය ද සිටිති. එංගලන්තය වැනි රටවල වෘත්තියෙන් හොරකම් කරන්නන් මිස සාමාන්‍ය අය හොරකම් නොකරති. අපේ රටේත් ඇතැම් කුලී රියෑදුරෝ, බස්‌ කොන්දොස්‌තරවරු මෙන් ම සුලු ව්‍යාපාරිකයෝ අවංක බව හේතුවෙන් පැසසුම් ලබා රටට ගෞරව ලබා දුන් අවස්‌ථා බහුල ය. එහෙත් විසකුරු මිනිස්‌සුන්ගේ සිත් වල අවංකකම දක්‌නට නැත.

ලිලියන් ග්ලාස්‌ පවසන්නේ පුරාඡේරුකාරයන්, වංචනිකයන්, ඕපාදූප කප්පිත්තන් මෙන් ම බොරුකාරයන්ට අප ඔවුන් පිළිකුල් කරන බව දැනෙන්නට සැලැස්‌වීමේ වැරැද්දක්‌ නැති බව ය. බොරුවට ඩේල් කානගීලා වන්නට උත්සාහ කිරීම මෝඩකමකි. හැම දෙනා සමග ම මිත්‍රව සිටින්නට නම් හොඳ පමණක්‌ සොයමින් ඒවා අගය කරමින් සිටිය යුතු යෑයි කියතත් පහත් ගති ඇති අය සහ අනවශ්‍ය කරදරයක්‌ වන අය සමග බොරු මිතුරුකම් පෑමේ ඇති අර්ථයක්‌ නැත. අන්තිමට අමාරුවේ වැටෙතොත් මිස කපටි චංචනිකයන් නොවේ. බුද්ධ වචනය අනුව පාප මිත්‍රයෝ නම් ඇසුරු නොකළ යුත්තෝය විසකුරු මිනිස්‌සු ද එවැන්නෝ ම ය. ඔවුන් දුරින් ම දුරු කළ යුතුය. ආශ්‍රයට හොඳ කෙනෙක්‌ නැත්නම් තනිව සිටීම විසකුරු මිනිසුන් ඇසුරට වඩා යහපත් ය.

අපිරිසිදු පැවතුම් ඇත්තන්ට ද අපට ඔවුන් පිළිකුල් බව මුහුණට ම කිව යුතු ම ය. අපිරිසිදුකම ගැන නොතකා හරින්නෝ වැඩි වශයෙන් පිරිමි වෙති. කාන්තාවෝ පිරිසිදුවට අඳින්නට මෙන් ම ප්‍රිය මනාපව සිටින්නට නිසග රුචියක්‌ ඇත්තෝ ය එහෙත් සමහර පිරිමි අහලින් පහලින් කෙනකුට යන්නට බැරි තරම් සිරුරෙන් දුගඳ හමද්දීත් ප්‍රසිද්ධ ජනතාව මැද ගැවසෙන්නට යති. ඔවුනට මුහුණට ම ඒ ගැන කියා දිය යුතු ය. මැලේසියාවේ අගමැතිව සිටි මහතීර් මහමුද්ගේ දියණිය වූ මරීනා මහතීර් ඩියෝඩරන්ට්‌ හෝ ඇන්ටි පර්ස්‌පිරන්ට්‌ පාවිච්චි නොකරන පිරිමින්ට ඩොලර් පන්සියයක දඩයක්‌ නියම කරන සේ රජයෙන් ඉල්ලීමක්‌ කළා ය. හේතුව දහදිය දුගඳ හමන පිරිමින් බස්‌ රියකට නැඟුන විට අන් අයට නාසය හකුලා ගෙන ම සිටින්නට සිදුවන හෙයිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.