අර්ශස්‌ ඇතිවන හැටි සහ සුවකරන හැටි

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සතුරෙක්‌ පස්‌සෙන් පන්න පන්නා බලපෑම් එල්ල කරන රෝගයක්‌ ලෙස හඳුන්වන රෝගී තත්ත්වයකි, අර්ශස්‌, බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ලඡ්ජාව නිසා ප්‍රතිකාර ක්‍රමවලට යොමු නොවුණත් මෙය ඉතා ඉක්‌මණින්ම ප්‍රතිකාර ලබාගත යුතු රෝගයක්‌ ලෙසද අනිවාර්යයෙන්ම පැවසිය යුතුම රෝගී තත්ත්වයකි.

අර්ශස්‌ රෝගය එය ඇතිවීමට බලපාන හේතු සහ රෝගය ඇතිවීමෙන් රෝගියාට සිදුවන අපහසුතා සහ රෝගය සුවකර ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අප ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවී තොරතුරු විමසුවෙමු. එහිදී එතුමා අප සමඟ පැවසූ අදහස්‌ මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ මෙම රෝගයෙන් පීඩා විඳින ඔබටත් එයින් මිදීමට මෙය මහඟු අවස්‌ථාවක්‌ විය හැකි බැවිනි.

* ඇත්තටම මොකක්‌ද මේ අර්ශස්‌ රෝගය කියන්නේ. කොහොමද මෙය වැළඳෙන්නේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි අර්ශස්‌ කියන්නේ. නමුත් බොහෝ දෙනා මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ එය ඉතා උග්‍ර තත්ත්වයට වර්ධනය වූ පසුවයි.

නමුත් මෙම රෝගය වැළඳී ඇති බවට තමන්ට දැනුණු පළමු මොහොතේම ඒ සඳහා කුමන හෝ වෛද්‍යවරයකු කරා යොමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මා පළමුවෙන්න පවසනවා. මන්ද මේ රෝගය ඉවසා දරාගෙන සිටීමට ඉතා අපහසු රෝගයක්‌. මේ නිසාම මෙය වැළඳුණු බොහෝ දෙනා ක්‌ෂණිකව කෝප ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටිනවා.

විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම සඳහා ජානමය ලක්‍ෂණද බලපෑමක්‌ සිදුකරනවා. මවට හෝ පියාට මෙම රෝග ලක්‍ෂණ පවතී නම් ඔවුන්ට බිහිවන දරුවාගේ කලල අවස්‌ථාවේදීම මෙම රෝග ලක්‍ෂණ දරුවාට ඇතිවීමට හැකියාවක්‌ තිබෙනවා. මීට අමතරව වර්තමානයේ පවතින අධික කාර්යබහුල ජීවන තත්ත්වය නිසා බොහෝ විට මෙම රෝග වැළඳ ගන්නා තත්ත්වයක්‌ ද පවතිනවා. මෙම අයහපත් ජීවන රටාව නිසා (විශේෂයෙන්ම විවිධ ආහාර මේ සඳහා ප්‍රධානතම සාධකයි.) කුඩා දරුවන් මුල සිටම මේ තත්ත්වයට ගොදුරුවීම සිදුවෙනවා.

පෙර පාසල් යන වයසේ සිට සලකා බැලූ විට ඉතා උදැසනම මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක්‌ හමුවේ ඔවුන් පෙර පාසලට හෝ දිවාසුරැකුම් මධ්‍යස්‌ථානයට යෑවීමට සූදානම් කරයි. එවිට දරුවාට කටයුතු කිරීමට සිදුවන්නේ තමාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට වඩා දෙමාපියන්ගේ විධානයන් අනුවය. විශේෂයෙන්ම දරුවාට වැසිකිළි යැම සඳහා අවශ්‍ය නොවන වෙලාවක ඔහුට ඒ සඳහා සූදානම් වීමට සිදුවේ. ඉතින් දරුවා දැඩි ආයාසයක්‌ යොදා මෙම කාර්යය කිරීමට පෙළඹෙන්නේය. දෙවැන්න පාසලේදී හෝ වෙනත් යන තැනකදී වැසිකිළි යැමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන ලෙස දරුවන්ට උපදෙස්‌ දීම සිදුකරයි. එවිට දරුවා නිවසින් පිටත සිටින අවස්‌ථාවලදී මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය දරාගෙන ඉවසාගෙන සිටීමට පුරුදු වන්නේය. මෙලෙස අමාරුවෙන් ඉවසා සිටියත් ටික කලක්‌ යත්ම දරුවන් මෙය පුරුද්දක්‌ බවට පත්කර ගන්නේය.

නියමිත වේලාවට මළපහ නොකිරීම සහ අනවශ්‍ය වෙලාවට බලයෙන් මළපහ පිටකිරීම යන මේ කාරණා දෙකම මෙම රෝගය වැළඳීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විශේෂයෙන්ම කුඩා දරුවන් නොව තරුණ, වැඩිහිටි අයද අද මේ ක්‍රමයන්ට හුරුපුරුදු වී ඇති නිසා ඔවුන්ද මේ තත්ත්වයට ගොදුරුව ඇත.

තවත් කාරණා කිහිපයක්‌ තමයි නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිත කිරීම, ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම, අධික අම්ල සහිත ආහාර වැඩිපුර ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා වැනි දැ) උෂ්ණ අධික ආහාර ගැනීමද (ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු වැනි දැ) අර්ශස්‌ වැළඳීමට බලපානු ලැබේ.

ඉහත සඳහන් හේතූන්වලට අමතරව ගැස්‌ට්‍රයිටීස්‌ වැළඳී ඇති විට සිදුවන ආහාර ජීර්ණයේ යම් යම් අක්‍රමිකතාද මෙම රෝගය වැළඳීමට හේතුවිය හැකියි.

විශේෂයෙන්ම ඉහත සඳහන් විවිධ වැරදි පුරුදු නිසා ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩු නිසා එහි අවසන් කෙළවර වන ගුද මාර්ගයේ ඇතිවන අවහිරතා අර්ශස්‌ රෝගය ලෙස හඳුන්වයි.

* වෛද්‍යතුමනි මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයකුගේ රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ම තිබෙනවා. ඒ අතරින් මෙම රෝගීන්ට පළමුව ගුද මාර්ගයේ ඇතිවන වේදනාකාරී බව, අධික දැවිලි තත්ත්වයන්, ඒ වගේම ඉතා සුළු සුළු දේවලදීත් ඇතිවන අධික කේන්තිය, ඇවිදීමේදී ඇතිවන අපහසුතා, නින්දට යැමේදී ඇතිවන අපහසුතා විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇතිවීම, නිසි ලෙස මළ පිටනොවීම, මළ මාර්ගයේ ගෙඩි හට ගැනීම, රුධිරය පිටවීම වැනි රෝග ලක්‍ෂණ හඳුන්වා දිය හැකි අතර මෙම රෝග ලක්‍ෂණ අනුවම මෙම රෝග වැළඳුණු රෝගියකුට ඇතිවන අපහසුතාව කෙතරම්ද කියා සිතා ගැනීමට හැකියාව පවතිනවා.

* වෛද්‍යතුමනි, මෙම රෝගීන්ට මේ රෝග සමඟ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද?

අර්ශස්‌ රෝගීන්ට එම රෝගයට අමතරව ඒ හා සමඟම වැළඳිය හැකි රෝගාබාධ ලෙස තදබල හිස කැක්‌කුම, ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්වය, වාත රක්‌ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ ප්‍රධානයි.

වෛද්‍යතුමනි, මේ රෝගය සුවකර ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවාද?

ඔව්. පැහැදිළිවම අර්ශස්‌ රෝගීන් මෙම දුකින් මුදා ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම කළ යුත්තේ රෝගියා පිළිබඳ පරීක්‍ෂණයකින් පසුවයි. මන්ද අර්ශස්‌ සමඟම තවත් ඉහත සඳහන් කළ රෝගාබාධද රෝගීන්ට පැවතිය හැකි නිසා එක්‌ එක්‌ රෝගියකුට එක්‌ එක්‌ ප්‍රතිකාර ක්‍රම ලබාදීම සිදුකළ යුතුයි.

පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන් පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදිය යුතුයි. මෙලෙස රෝගියා නිවැරැදි ලෙස පරීක්‍ෂා කරමින් ප්‍රතිකාර කිරීම තුළින් මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලින් හැකියාව පවතී.

විශේෂයෙන්ම අර්ශස්‌ රෝගය වැළඳී එය ඉතා උච්ච වී ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන් පවා ආයුර්වේද ප්‍රතිකාරවලින් නිසි සුවය ලබා නිරෝගී වන අතර ආයුර්වේද ප්‍රතිකාර තුළින් ශරීරයේ අර්ශස්‌ ඇතිවීම මූලික ලක්‍ෂණවලටද ප්‍රතිකාර ලැබෙන නිසා එම රෝගය නැවත ඇති නොවන ලෙසට සුව කිරීමට ආයුර්වේදයට හැකියාව තිබෙන අතර ඕනෑම කාර්යබහුල පුද්ගලයකු වුව පහසුවෙන් ප්‍රතිකාර ලබා ගත හැකි ලෙස ඖෂධ සකසා ඇති නිසා ඕනෑම කෙනෙකුට දැන් අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතින්නේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.