කඩා වැටෙන ගොඩනැගිලි අතරේ රදා සිටින නිවසකට උපදෙස්‌ - 04
ඔබේ නිවස ඉදිකර ඇති බිම නිවසේ පිපිරීම්වලට බලපාන හැටි
වරලත් නිර්මාණ ඉංජිනේරු ධම්මික ධර්මරත්න

නිවසක හෝ ගොඩනැඟිල්ලක ඕනෑම තැනක ඇතිවිය හැකි ඉරිතැලීම් හා පිපිරීම් ඇතැම් අවස්‌ථාවල එම නිවසේ හෝ ගොඩනැඟිල්ලේ පැවැත්මට සෘජු බලපෑම් ඇති කරන්නේ නැත. එහෙත් ඇතැම් ඉරිතැලීම් සහ පිපිරීම් සඳහා ප්‍රතිකර්ම නොයෙදුවහොත් එම නිවස හෝ ගොඩනැඟිල්ල විනාශ වී යැමට ඉඩ ඇත. වරලත් නිර්මාණ ඉංජිනේරු ධම්මික ධර්මරත්න මහතා සමග මේ සතියේත් අප නිවසක හෝ ගොඩනැඟිල්ලක ඇතිවිය හැකි ඉරිතැලීම් සහ පිපිරීම් පිළිබඳ සාකච්ඡා කරන්නේ ඒ නිසාය. වලල ප්‍රාථමික විදුහලෙන් සහ කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය ලද ධම්මික ධර්මරත්න මහතා 2000 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියත්, 2007 වසරේදී වරලත් ඉංජිනේරු උපාධියත්, 2009 වසරේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියත්, 2011 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් පස පිළිබඳ පශ්චාත් උපාධියත්, 2015 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් නිර්මාණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියත් ලබාගත්තේය. දාහත් වසරකට අධික කාලයක සිට මෙරට ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නියෑළී සිටින ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සාමාජිකයකු ද වෙයි.

නිවසක තිරස්‌ හා සිරස්‌ අතට ඇතිවන ඉරිතැලීම් ගැන අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. ඇතැම් නිවාසවල බිත්තිවල ඇද අතට ගිය ඉරිතැලීම් අප දැක තිබෙනවා. මෙවැනි ඉරිතැලීම් ඇතිවන්නේ ඇයි?

වර්ෂා කාලවලදී ප්‍රසාරණය වීමත් වියළි කාලවලදී ඇකිළීමත් මැටි සහිත එම භූමිය මත ඉදිකළ ඉදිකිරීම්වල ඇද අතට යන ඉරිතැලීම් බොහෝ විට දක්‌නට ලැබේ. සමහර පළාත්වල මේ තත්ත්වය බහුලව දැකගන්නට පුළුවන්. බිත්තිවල ඇතිවන ඒකාකාරී නොවන ආනත බල නිසා ජනෙල් හා දොරවල්වල මුළුවලින් ඇද අතට යන ඉරිතැලීම් ඇතිවිය හැකියි. එසේම බාහිර පරිසරයට විවෘත වූ කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එක මත දිවාකාලයේ ඇතිවන ප්‍රසාරණය හේතුවෙන්ද ඇද අතට ඉරිතැලීම් දැක ගත හැකිය.

මැටි පසේ සිදුවන ඇකිළීම් හේතුවෙන් නිවාසවල ඉරිතැලීම් ඇතිවන්නේ කෙසේද?

වියළි පාරිසරික තත්ත්ව යටතේ හෝ ශාක මගින් පසෙහි ඇති ජලය උරාගැනීම හේතු කොටගෙන මැටි පස සංකෝචනයට ලක්‌වේ. එහිදී අත්තිවාරම සහ මැටි පස අතර ඇති සම්බන්ධය ලිහිල් වේ. වියළීමේ ක්‍රියාවලිය නිවසේ මුළුවල වැඩිපුර සිදුවනු දක්‌නට ලැබේ. නිවසේ සම්පූර්ණ අත්තිවාරමටම ඒකාකාරව මෙම තත්ත්වය බලපාන්නේ නැත. ගොඩනැඟිල්ලේ බර හේතුවෙන් නිවසේ කෙළවරට අදාළ අත්තිවාරම පහළට තල්ලු වේ. ඒනිසා ඒ මත ඉදිකර ඇති බිත්තිවල 01 රූපයේ පරිදි ඉරිතැලීම් දැකිය හැකිය.

මා මීට පෙර විස්‌තර කළ පරිදි ඉතා හොඳින් වියළුනු මැටි සහිත පසක්‌ මත ඉදිකිරීමක්‌ කළ හොත් පසුව ඇතිවන වර්ෂාව හේතුවෙන් එම පස ප්‍රසාරණයට ලක්‌වේ. මෙම ප්‍රසාරණය ගොඩනැඟිල්ලේ කෙළවරදී වැඩි වශයෙන් සිදුවුවහොත් 02 රූපයේ පරිදි ඉරිතැලීම් ඇතිවිය හැකිය. එම ඉරිතැලීම් අත්තිවාරම අසල විශාල වශයෙන් ද ඉහළට යැමේදී අඩු බවක්‌ ද දැකිය හැකිය.

දිවා කාලයේ දී සිදුවන පරිසර උෂ්ණත්වය ඉහළ යැම හේතුවෙන් බාහිරට නිරාවරණය වූ කොන්ක්‍රීට්‌ වහළය අධික ලෙස රත්වීමෙන් එය දරා සිටින බිත්තියේ ස්‌ලැබ් එකට පහළින් හරස්‌ අතට ඉරි තැලීම් දක්‌නට ලැබේ. (රූපය 03)

බිත්ති මත ඇතිවන මේ වර්ගයේ ඉරිතැලීම් අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

බොහෝ දෙනා නිවසක්‌ ඉදිකරනුයේ ඉතා සතුටින් ජීවිතය ගත කිරීමටයි. නමුත් නිවසේ පදිංචි වී පළමු වසර 2 තුළ දක්‌නට ලැබෙන මේ ඉරිතැලීම් නිසා ඔවුන් කලකිරීමට පත් වෙයි. මේ නිසා තම නිවස ඉදිකිරීමට ප්‍රථම හා ඉදිකිරීම් කරගෙන යැමේදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක්‌ තිබේ.

ඉදිකිරීම් ආරම්භ කිරීමට අඩුම වශයෙන් වසරකට වත් ප්‍රථමයෙන් එම භූමියේ ඇති විශාල ගස්‌ ඉවත් කොට භූමිය සකසා ගැනීම අත්‍යවශ්‍යයි. පසුව භූමියේ ඇති පස්‌ පරීක්‌ෂාවට ලක්‌ කොට එම වාර්තාවට අනුව නිර්මාණ ඉංජිනේරුවකු ලවා අත්තිවාරම් සහ අනෙකුත් අවශ්‍ය කම්බි සැලසුම් සාදා ගැනීම සුදුසුය.

පළමුව බලමු 05 රූපයේ දැක්‌වෙන ජනේලයට යටින් හරස්‌ අතට යන ඉරිතැලීම නතර කරන්නේ කෙසේද? කියා.

මේ සඳහා කළ යුත්තේ නිවස ඉදිකරගෙන යැමේදී ජනේලයේ පහළ මට්‌ටමින් බීම් එකක්‌ දැමීමයි. මෙම බීම් එක සැලකිය යුතු දුරක්‌ ජනේලය දෙපසින් ගඩොල් බිත්තිය තුළට ඇතුල් කළ යුතුයි. ජනෙල් යටින් ඇති බිත්ති කොටසේ උස අඩි 3 ක්‌ පමණ නම් මෙම බීම් එකේ හරස්‌කඩ 75 පප ං 210 පප පමණ වත් විය යුතු අතර 10 පප දඟර කම්බි දෙකක්‌ වත් යොදාගැනීම අත්‍යවශ්‍ය වේ. (රූපය 05)

බිත්තිවල සිරස්‌ අතට යන මේ ඉරි තැලීම් අවම කර ගැනීමට බිත්ති බැඳීමට ප්‍රථම ගඩොල් විනාඩි 10 ක්‌ පමණවත් ජලයේ ගිල්වා තැබීමට අවශ්‍ය වේ. නමුත් මෙම තෙතමනය නිසා සිදුවන ප්‍රසාරණය හේතුවෙන් හටගන්නා ඉරිතැලීම් සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකියි.

බිත්ති බැඳීමට යොදා ගන්නා බදාමයෙහි ජලය ඉවත් වීමෙන් හට ගන්නා ඉරිතැලීම් වැළැක්‌වීමද ඉතා අසීරු වන අතර ටයි බීම් දමා බිත්ති කොටස්‌ එකිනෙක සම්බන්ධ කිරීමෙන් මෙම ඉරිතැලීම් අවම කර ගත හැකිය. බිත්තියක දිග මීටර් 10 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමෙන්ද මෙසේ ඉරිතැලීම් ඇතිවීම අවම කර ගත හැකිය.

බිත්තිවල තිරස්‌ අතට යන ඉරිතැලීම් අවම කර ගන්නේ කෙසේද?

සමහර නිවාසවල වහළයට යටින් එන ගඩොල් බිත්ති මත හටගන්නා ඉරිතැලීම් කලාතුරකින් දැකිය හැකිය. ආනත වහළයක්‌ යෙදූ ගොඩනැඟිලිවල අගුව මට්‌ටම හෝ ලින්ටල් මට්‌ටමින් ගොඩනැඟිල්ල වටා බාහිර හා අභ්‍යන්තර බිත්ති සම්බන්ධ කරගෙන ටයි බීම් යෙදීම මගින් මෙම ගැටලුව නිරාකරණය කර ගත හැකිය. එමගින් ගොඩනැඟිල්ල මත යෙදිය හැකි අමතර හා අනපේක්‌ෂිත බාහිර බලවලට (ගසක අත්තක්‌ කඩා වැටීම වැනි) ඔරොත්තු දීමේ හැකියාව පවා වැඩිවේ යෑයි අපේක්‌ෂා කළ හැකිය.

ඔබ කලින් ලිපියේ සඳහන් කළ පරිදි ස්‌ලැබ් එක යටින් ඇතිවන ඉරිතැලීම් වළක්‌වා ගන්නේ කෙසේද?

මේවා අවම කර ගැනීම තරමක්‌ දුරට අපහසු කාර්යයකි. කෙසේ නමුත් කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එක මත තාප පරිවාරක යෙදීමෙන් මෙම තත්ත්වය අවම කරගත හැකිය. තවද ඉහළ මහළ පසුව ඉදිකිරීමේ බලාපොරොත්තුවෙන්, ඉදිකිරීම තාවකාලිකව නවතා ඇති ස්‌ලැබ් එක මත ගඩොල් හෝ පරණ උළු ඇතිරීමෙන්ද ස්‌ලැබ් එක රත්වීම අවම කරගත හැකිය. රත්වීම වැඩිවන තරමට මෙම ඉරිතැලීම් වැඩිවේ. එම නිසා ස්‌ලැබ් එක සහ බිත්තිය අතරින් කුඩාවට බිත්තිය දිගේ කාණුවක්‌ (groove) කපා දැමීමෙන්ද මෙම ඉරිතැලීම නොපෙනෙන ලෙස සකස්‌ කළ හැකිය. මෙම ඉරිතැලීම නිවසේ ව්‍යqහයට බලපෑමක්‌ ඇති කරන්නේ නැත.

ගඩොල් තුළින් ජලය කාන්දු වීමෙන් ඇතිවන තිරස්‌ ඉරිතැලීම් අවම කරගන්නේ කෙසේද?

මෙවැනි ඉරිතැලීම් බොහෝ දුරට දැකිය හැක්‌කේ නාන කාමරවල බිත්තිවල හෝ ඊට ආසන්න බිත්තිවලයි. මේ ඉරිතැලීම් අවම කරගැනීමට නාන කාමර දිය කාන්දු නොවන සේ (water proofing) සකස්‌ කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය පිළිගත් ආයතනයකින් අඩුම වශයෙන් වසර 10 ක්‌ වත් වගකීමක්‌ ඇතිව කරගත හැකි නම් වඩාත් ආරක්‌ෂිතයි.

සමහර නිවෙස්‌වල ස්‌ලැබ් එක මත බිත්ති බැඳි පසු බිත්තිවලට පහළින් තිරස්‌ අතට ඇතිවන ඉරිතැලීම අවම කරගන්නේ කෙසේද?

ස්‌ලැබ් එකක්‌ මත එයට පහතින් ආධාරකයක්‌ (බීම් එකක්‌) නොමැති අවස්‌ථාවල ගඩොල් බිත්තියක්‌ බැඳීමෙන් බිත්තියේ බර නිසා ස්‌ලැබ් එක පහත් වීමට ලක්‌වේ. එය හැකිතාක්‌ අවම කළ යුතුයි. මෙහිදී ඔබේ නිර්මාණ ඉංජිනේරුවා විසින් ස්‌ලැබ් එකේ ඝනකම හා එයට අවශ්‍ය කම්බි ප්‍රමාණය තීරණය කරයි. තවද ස්‌ලැබ්එක මත බඳින බිත්තියේ දොරවල් නොමැති නම් 04 රූපයේ දැක්‌වෙන පරිදි උඩ අතට සිටින සේ බීම් එකක්‌ දැමීමෙන් ද එම තත්ත්වය අවම කරගත හැකිවේ.

තව කොටසක්‌ ලබන සතියේ

සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඡායාරූපය නිමල් දයාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.