හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම කතා කරයි-03
හදවත් බද්ධය ජීවිතය කර ගත් තනිකඩයා
සැත්කම අති සාර්ථකයි

1967 වර්ෂයේ දෙසැම්බර් 03 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටි රෝහලකදී වෛද්‍ය විද්‍යාව උඩුයටිකුරු කළ සිදුවීමක්‌ සිදුවිය. දකුණු අප්‍රිකානු ජාතික විශේෂඥ වෛද්‍ය ක්‍රිස්‌ටියන් බර්නාඩ් සිදු කළ හදවත් බද්ධ කිරීමේ විශ්මිත ශල්‍යකර්මය සමස්‌ත වෛද්‍ය ක්‍ෂේත්‍රය එතෙක්‌ මෙතෙක්‌ ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය බවට පත් කළේය.

වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීමට සමත් වූ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල සිදු කිරීම සිහිනයක්‌ විය. එහෙත් ඒ අභියෝගය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ විසින් ජයගත්තේ මුළු රටේම පමණක්‌ නොව ලෝකයේම අවධානය යොමුකර ගනිමින් ය.

ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ පළමුවැනි හදවත් සැත්කම සිදුකර හරියටම පනස්‌ වසරක්‌ ගෙවී ගිය පසුවය.

ඉතාම සීමිත පහසුකම් යටතේ සිදු කළ මේ අභියෝගාත්මක ශල්‍යකර්මය මේ වනවිට අතිශය සාර්ථක එකක්‌ බවට පත් වී හමාරය. මේ විශ්මිත ශල්‍යකර්මය සිදු කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාය. වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තුළ තිබූ කැපවීම අධිෂ්ඨානය නිසාම වසර දෙකක්‌ වැනි කාල සීමාවක්‌ තුළදී ශ්‍රී ලාංකේය වෛද්‍ය ක්‍ෂේත්‍රය ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය ලබා ගන්නට හැකි වූ බව නොරහසකි.

විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා එංගලන්තයේ නිව් කාසල් හි පිහිටි ෆ්‍රSමන් රෝහලට සම්බන්ධ වී හදවත් බද්ධ කිරීම පිළිබඳව වසර තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ දැනුම ලබාගත්තේය.

2014 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි වෛද්‍ය අනිල් අබේවික්‍රම හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය තම මවුරටේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස්‌ කළේය. හදවත් සැත්කම කිරීම සඳහා අවශ්‍ය කරන සියලු සහාය ලබා ගැනීමට ෆ්‍රSමන් රෝහලේ වෛද්‍යවරුන් කැමැති කරවා ගන්නට අනිල් අබේවික්‍රම මහතාට හැකිවිය.

සැත්කම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්‌ඩායමකගේ සහාය ලබා ගැනීමට ද වෛද්‍ය අනිල් අබේවික්‍රමට හැකි වුණේය. අවම පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ පළමුවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් සිදුකළ අයුරු මෙවර ලිපියෙන් දිගහැරෙයි.

-------------

මේ ඔපරේෂන් එක ඉතාම සංකීර්ණ එකක්‌. පුංචිම පුංචි වැරැද්දක්‌ හරි වුණොත් ලෙඩාගේ ජීවිතේ නැති වෙනවා. ඒ නිසා ඉතිං කල්පනාවෙන් මේ ඔපරේෂන් එක කරන්න ඕනෙ. පැය තුනක්‌ ඇතුළත හාර්ට්‌ එක ගලවල, රෝගියාට බද්ධ කරලා බ්ලඩ් සප්ලයි එකත් දෙන්න ඕනෙ. අපිට මේ ඔපරේෂන් එකේ ටාගර්ට්‌ එක තිබුණේ පැය දෙකකින් මේ ඔපරේෂන් එක ඉවර කරන්න ඕනෙ කියලා. අපි ඒ වැඩේ කළා. පැය 1.55 ක්‌ යනකොට අපිට ඔපරේෂන් එක ඉවර කරගන්න ලැබුණා. ඇත්තටම මෙතනදී අපි දැම්මෙ හොඳ හාර්ට්‌ එකක්‌ නොවෙයි. ඒත් ඒ නරක හාර්ට්‌ එකත් අන්තිමේදී හොඳට වැඩ කරන්න පටන් ගත්තා. ඒක අපේ වගේම ලෙඩාගෙත් වාසනාව.

ඒ වගේම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට සම්බන්ධ වෙච්ච හැම වෛද්‍යවරයෙක්‌ ම පුදුමාකාර උනන්දුවකින් කටයුතු කළා. මොකද ඒ වෙනකොට මේ කිසිම වෛද්‍යවරයෙක්‌ හදවත බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ.

මම අවුරුදු 2 1/2 ක්‌ තිස්‌සේ එංගලන්තයේ ෆ්‍රSමන් රෝහලේ හදවත් බද්ධ කිරීමේ වෛද්‍ය කණ්‌ඩායමට සම්බන්ධ වෙලා වැඩ කරපු නිසා මට ඒ ගැන හොඳ දැනුමක්‌ තිබුණා. ඒ දැනුම මම මගේ සහෝදර වෛද්‍යවරුන්ට ලබා දුන්නා.

හදවත් සැක්‌කම කියන්නේ එක පුද්ගලයකුගේ හාර්ට්‌ එකක්‌ ගලවලා තවත් කෙනෙකුට සවි කරනව වගේ බොහොම සරල එකක්‌ නෙවෙයි. මේකට ලොකු තාක්‍ෂණයක්‌ තියෙන්න ඕනෙ. ඒක එක තැනකින් මෙහෙයවන්න ඕනෙ. ඒ කියන්නේ තනි පුද්ගලයෙක්‌ මේ සම්පූර්ණ ඔපරේෂන් එකම පාලනය කරන්න ඕනෙ.

ඒ කාර්ය මම බොහොම සාර්ථකව සිද්ධ කළා. හාර්ට්‌ එක බද්ධ කරන ඔපරේෂන් එකට අපේ වෛද්‍යවරුන්ට පෙර පුහුණුවක්‌ තිබුණෙ නැහැ.

මේ අතර මට තොරතුරක්‌ ආවා මහියංගනය රෝහලේ මොළය මියගිය පුද්ගලයෙක්‌ ඉන්නවා එයාගේ ඥතීන් කියනවා වකුගඩු පරිත්‍යාග කරන්න කැමතියි කියලා. මම එදාම මගේ සහෝදර වෛද්‍යවරයකු වූ කේ. ඥානකාන්තන් මහත්තයත් එක්‌ක මහියංගනයට ගියා.

ඇත්තටම මට අවශ්‍ය වෙලා තිබුණ හාර්ට්‌ එක බද්ධ කරන ආකාරය, එය ශරීරයට තියලා මහන ආකාරය ගැන වෛද්‍යවරුන්ට පෙර පුහුණුවක්‌ දෙන්න. මේ රෝගියාගේ පවුලේ ඥාතීන් එක්‌ක මම කතාකරලා එයාගෙ හාර්ට්‌ එක ගලවලා නැවත එයාටම බද්ධ කරන්න අවසර ඉල්ලා ගත්තා. මම ඒ වැඩේ කළේ මහනුවරදී කරන්න ඉන්න ශල්‍යකර්මයට පෙර හුරුවක්‌ ලබා දෙන්න.

කේ. ඥානකාන්තන් මහත්තයා ඒ හදවත බද්ධ කිරීම බොහොම සාර්ථකව කළා. මහනුවර රෝහලේ ශල්‍යකර්මයට පෙර මේ වගේ පුහුණුවක්‌ ලබාගැනීමට හැකිවීමත් අපට හොඳ අවස්‌ථාවක්‌ වුණා.

ඒ අනුව 2017 ජුලි 07 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ විශේෂිතම ශල්‍යකර්මය වූ හදවත් බද්ධ කිරීම අති සාර්ථකව කරන්න අපට අවස්‌ථාව ලැබුණා. මේක ඇත්තෙන්ම අපේ සාමූහික ජයග්‍රහණයක්‌. මොකද සෑම වෛද්‍යවරයෙක්‌ ම තමුන්ගෙ සියලු වැඩ රාජකාරි පසෙක දාලා මේ වැඩේට සම්බන්ධ වුණේ ස්‌වෙච්ඡාවෙන් . එය අගය කළ යුතුයි. මේ වගේ උනන්දුවක්‌ කැපවීමක්‌ තියෙන වෛද්‍ය කණ්‌ඩායමක්‌ හිටියෙ නැත්නම් අපට මේ භාරධූර කාර්යය කරන්න ලැබෙන්නෙ නැහැ.

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු හදවත ලබාගත් රෝගියාගේ යම් යම් චර්යාත්මක වෙනස්‌කම් ඇති වෙන්න පුළුවන්ද?

එහෙම කිසිදෙයක්‌ වෙන්නෙ නැහැ. අපි පුෂ්පකුමාරි මහත්මියට බද්ධ කළේ තරුණයකුගෙ හදවතක්‌. ඒත් එයාගෙ කිසිම වෙනස්‌කමක්‌ දකින්න නැහැ. ඒක මිත්‍යා මතයක්‌ පමණයි.

මේ ශල්‍යකර්මය සඳහා රජයෙන් මොනවගේ සහායක්‌ ද ලැබුණේ.

මේ ඔපරේෂන් එකට අපිට වැය වුණේ සාමාන්‍ය බයිපාස්‌ සැත්කමක්‌ සඳහා වැය වූ මුදල වගේ දෙගුණයක මුදලක්‌. ඔපරේෂන් එකට අවශ්‍ය වෛද්‍ය උපකරණ වලින් වැඩි ප්‍රමාණයක්‌ අපි අපේ රටේ රෝහල්වලින් ලබා ගත්තා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අපට අවසර දුන්නා.

ඒ වගේම මහනුවර රෝහලේ අධ්‍යක්‍ෂ සමන් රත්නායක මහතා මේ ශල්‍යකර්මය සාර්ථක කර ගන්න විශාල සහායක්‌ දුන්නා. වෛද්‍ය උපකරණ මෙන්ම විවිධ ඖෂධ වර්ග පවා ගෙන්වල ඒ සියල්ල අපට ලබා දුන්නා.

ඔපරේෂන් එකෙන් පස්‌සෙ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මහනුවර රෝහලට ඇවිත් අපි මුණගැහිලා අපිට ස්‌තුති කළා.

මම ඒ වෙලාවේ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටියා හෘදය බද්ධ කිරීමේ ඒකකයක්‌ ඉදිකරන්න අපට උදව් කරන්න කියලා. ඇමැතිතුමා බොහොම කැමැත්තෙන් ඒක භාර ගත්තා. මහනුවර රෝහලේ ම වෙනම ස්‌ථානයක හෘදය බද්ධ කිරීමේ ඒකකයක්‌ ඉදිකරන්න ඇමැතිතුමා පොරොන්දු වුණා. රජයට ඉදිරියේදී හෙලිකොප්ටර් යානා 10 ක්‌ හම්බ වෙනවා කිව්වා. ඒකෙන් එකක්‌ අපට දෙන්නත් ඇමැතිතුමා පොරොන්දු වුණා.

හදවත් බද්ධ කිරීමට භාජන වෙච්ච කාන්තාවගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය ගැන බොහෝ දෙනෙක්‌ විමසනවා.

ඇත්තටම ඒ කාන්තාව මේ වෙනකොට ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා. සති දෙක තුනක්‌ ජීවත් වෙන්න හිටිය මේ කාන්තාවට මේ වෙනකොට තව අවුරුදු විසිපහක්‌ තිහක්‌ ජීවත් වෙන්න වාසනාවන්ත වෙලා සිටිනවා.

ඇත්තටම ඒක මට වගේම මේ ශල්‍යකර්මයට සම්බන්ධ වෙච්ච සෑම වෛද්‍යවරයකුටම, අනෙකුත් කාර්ය මණ්‌ඩල සාමාජිකයකුටම ලොකු සතුටක්‌.

මේ කාන්තාව මේ වෙනකොට තමුන්ගෙ වැඩපල කරගෙන බොහොම ක්‍රියාශීලීව ඉන්නවා. එයාගෙ ජීවිතේ ගැන අපට දැන් 100% ක්‌ වග කියන්න පුළුවන්. හැබැයි මේ කාන්තාවට ජීවිත කාලය පුරාවටම ඖෂධ ගන්න සිද්ධ වෙනවා.

මේ වගේ ඒකක හන්දියක්‌ හන්දියක්‌ ගානේ හදන්න අමාරුයි. ඒ වෙනුවෙන් ලොකු පිරිවැයක්‌ දරන්න වෙනවා. ඒ නිසා අපට ලංකාවේ එක ස්‌ථානයක හෝ මේ වගේ ඒකකයක්‌ ඉදිකර ගැනීමට ඉඩකඩ ලැබුණොත් අපට පුළුවන් දුප්පත් අහිංසක රෝගීන් සිය දහස්‌ ගණනකට මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කරන්න. ඇත්තටම මගේ එකම බලාපොරොත්තුවත් ඒක තමයි.

පසුගිය ජුලි 07 වැනිදා කරපු ඓතිහාසික හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු ඒ රෝගී කාන්තාව මේ වන විට මොනවගේ තත්ත්වයකද පසුවෙන්නේ.

පුෂ්පකුමාරි කියන ඒ අම්මා මේ වෙනකොට ඉතාම නිරෝගීව ඉන්නවා. හදවත් සැත්කම කරන්න ඉස්‌සර එයාට අඩි දහයක්‌වත් ඇවිද යන්න බැහැ. ඒත් දැන් එයා එයාගෙ වැඩ කටයුතු කරගෙන බොහොම කඩිසරව ඉන්නවා.

මේ ඔපරේෂන් එකෙන් පස්‌සෙ අපි මාස තුනක්‌ විතර කාලයක්‌ එයාව අපේ ළඟ තියාගෙන විවිධ පරීක්‍ෂණවලට භාජන කරනවා. මොකද අපි එයාට බද්ධ කරපු හාර්ට්‌ එක එයාගෙ ශරීරය ප්‍රතික්‍ෂේප කරනවද කියලා දිගින් දිගටම පරීක්‍ෂා කරන්න ඕනෙ.

ඒ වගේම මේ ලෙඩාට ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගන්න ඕනෙ. පුෂ්ප කුමාරිට ඕන කරන හැම බෙහෙතක්‌ම මම මගේ මුදලින් ගෙනැල්ලා දෙනවා.

මේ ඔපරේෂන් එකෙන් පස්‌සේ එයාට තව අවුරුදු 20 - 30 කිසිම ප්‍රශ්නයක්‌ නැතිව ජීවත් වෙන්න පුළුවන්. කවද හරි දවසක ආයෙත් එයාට හදවතේ ආබාධයක්‌ ඇති වුණොත් තවත් හදවතක්‌ එයාට බද්ධ කරන්නත් පුළුවන්.

මේ වගේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක්‌ කිරීමේදී ලොකු අවදානමක්‌ ගත යුතුයි.

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන 100% ක්‌ බලාපොරොත්තු තියන්න පුළුවන්ද?

හැමෝම අහනවා මගෙන් ඇයි මේ වගේ රිස්‌ක්‌ එකක්‌ තියෙන ඔපරේෂන් එකකට ගියේ කියලා.

අපිට බද්ධ කරන්න තියෙන හාර්ට්‌ එක බැලුවාම කියන්න පුළුවන් මේක සාර්ථකව කෙරෙනවද කියලා. ඒ හැකියාව ඇත්තෙන්ම ලැබෙන්නෙ පළපුරුද්දෙන්. මම අවුරුදු තුනක්‌ තිස්‌සේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරලා ලබාගත්ත දැනුම නිසා මට කියන්න හැකියාව තියෙනවා මේ ශල්‍යකර්මය සාර්ථකව කරන්න පුළුවන්ද කියලා.

ඒ ෆ්‍රS‍රමන් රෝහලේ එක පාරක්‌ මම හදවතක්‌ බද්ධ කළා. අපි කවුරුත් නොහිතපු විදිහට මේ හාර්ට්‌ එක එක පාරටම වැඩ කරන්නෙ නැතිව ගියා. හාර්ට්‌ එක ගල් ගෙඩියක්‌ වගේ අන්තිමේදී අපි කළේ ලෙඩාට ආයෙත් මැෂින් එකකට සම්බන්ධ කරලා එංගලන්තෙ වෙනත් පළාතකින් තව හාර්ට්‌ එකක්‌ ගෙන්නගෙන ඒක අර ලෙඩාට බද්ධ කළා.

ඒ නිසා මේක ලොකු රිස්‌ක්‌ එකක්‌ තියන වැඩක්‌. ඒත් අපි හැම දෙයම නිවැරැදිව ක්‍රමානුකූලව සිද්ධ කළොත් ශල්‍යකර්මය සාර්ථක වෙනවා. මේ ඔපරේෂන් එකේදි මට සිද්ධ වුණා හැම වෛද්‍යවරයකුගෙම කාර්යයෙ ඉඳලා සුළු සේවකයා දක්‌වා වෙන දේවල් බලන්න ඒ අයට උපදෙස්‌ දුන්නා.

මොකද මේ කවුරුත් මීට ඉස්‌සර හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කරල තිබුණෙ නැහැ. ඒ නිසා ඒ අයට ඒ දැනුම තිබුණෙ නැහැ.

හදවත් බද්ධ කිරීම සම්බන්ධයෙන් ඔබේ අනාගත කාර්යභාරය කුමක්‌ද?

ඇත්තටම මගේ එකම බලාපොරොත්තුව හදවත් බද්ධ කිරීමේ එක ඒකකයක්‌ ශ්‍රී ලංකාවේ පිහිටුවන්න. ශ්‍රී ලංකාව පුංචි රටක්‌ නිසා මේ වගේ ඒකක දෙක තුනක්‌ අපට අවශ්‍ය නැහැ. හදවත් බද්ධ කිරීම වගේම පෙනහළු බද්ධ කිරීම සම්බන්ධයෙන් ශල්‍යකර්මත් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි ඉදිරියේදී කරගෙන යනවා හදවත් රෝගයෙන් පෙළෙන අයගේ ලැයිස්‌තුවක්‌ හදන්න. ඒ නිසා මම ඉල්ලා සිටිනවා හදවත් රෝගයෙන් පෙළෙන අය ඉන්නවනම් මහනුවර රෝහලේ හැම අඟහරුවාදාම තියෙන වෛද්‍ය සායනයකට එන්න. ඇවිල්ලා එතන ලියාපදිංචි වෙන්න කියලා.

එතකොට අපට පුළුවන් රෝගියාව සම්පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන කරලා එයාව අපේ ලැයිස්‌තුවට ඇතුළත් කරගන්න. මොළය මියගිය රෝගියෙක්‌ ආවම එයාගෙ හාර්ට්‌ එක ගැළපෙන සුදුසුම කෙනා මේ ලැයිස්‌තුවෙන් තෝරලා එයාට ඒ හාර්ට්‌ එක බද්ධ කරන්න අපට පුළුවන්.

වලස්‌මුල්ල පැත්තෙ අවුරුදු 14 ක පිරිමි දරුවෙකුට ඉතාම ඉක්‌මනින් හාර්ට්‌ එකක්‌ බද්ධ කරන්න ඕනෙ. ඒ දරුවා හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්‌. ඒ වගේම අලුත්ගම පැත්තෙ අවුරුදු 18 ක ගැහැනු ළමයෙක්‌ ඉන්නවා. මේ දෙන්නගෙම හාර්ට්‌ එක 10% ක්‌ තමයි වැඩ කරන්නේ. පුළුවන් තරම් ඉක්‌මනට මේ දෙන්නට හදවත් බද්ධ කිරීමේ සැත්කම් කරන්න ඕනෙ.

අපි මේ දවස්‌වල මේ දරුවො දෙන්නට හදවත් ලබාගන්න කාර්යයට අතගහල ඉන්නෙ.

පෞද්ගලික රෝහල් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මවලට සම්බන්ධ වෙලා නැද්ද?

මේ වෙනකොට මහනුවර රෝහලේ පමණයි මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරන්නේ. හදවත් රෝගයෙන් පෙළෙන ඕනෑම කෙනෙක්‌ පුළුවන්තරම් ඉක්‌මනට මහනුවර රෝහලට එන්න. අපි මේ හැම දෙයක්‌ම කරන්නෙ ශතපහක මුදලක්‌ අය නොකර. මුදල් ගසා කන්න උත්සහ කරන අයට අහුවෙන්න එපා. අපේ වෛද්‍ය කණ්‌ඩායම සූදානම් වෙලා ඉන්නෙ හදවත් බද්ධ කිරීම නොමිලයේම කරන්න. පෞද්ගලික අංශයේ ඇතැම් අය උත්සාහ කරනව හදවත් බද්ධ කිරීමේ තාක්‍ෂණය මංකොල්ල කන්න.

මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක කර ගන්න, ඒ වගේම ඉදිරියේදී අප කරන්න බලාගෙන ඉන්න ශල්‍යකර්මවලට පූර්ණ සහාය ලබා දෙන වෛද්‍ය කණ්‌ඩායමට ඇත්තෙන්ම සමස්‌ත ජාතියේම ප්‍රණාමය හිමි වෙන්න ඕනෙ. මොකද මේ ශල්‍යකර්මය සාර්ථකව කිරීමේ ගෞරවය ඒ හැම වෛද්‍යවරයකුටම හිමි වෙනවා.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක, අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ශිව සුබ්‍රමනියම්, විශේෂඥ වෛද්‍යවරුන් වන කාංචන සිංගප්පුලි, වරුණ කරුණාරත්න. , අක්‍ෂි ජයවික්‍රම, ප්‍රියන්ත දිසානායක, අරුණි ජයසේකර, ජගත් පෙරේරා, මුදිත ලංසක්‌කාර, කේ. ඥානකාන්තන්, සුනේත්‍රා ඉරුගල්බණ්‌ඩාර, වසන්ත කපුකොටුව, රොෂාන් පරණමාන්න, දිමුතු වීරසූරිය, ධර්මා සමරකෝන්, රෝහිත මුතුගල, ශිරුණි චන්ද්‍රසිරි, ලෙස්‌ලි සිරිවර්ධන, රවී වීරකෝන්, අනෝමා විතානගේ, ඇතුළු මේ ශල්‍යකර්මය සඳහා දායක වූ සියලුම වෛද්‍යවරුන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ ශල්‍යකර්මයට සම්බන්ධ වූ මහනුවර රෝහලේ සියලු හෙදියන්ට මෙන්ම අනෙකුත් කාර්ය මණ්‌ඩලයට ද ඒ ගෞරවය හිමිවිය යුතුයි.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැන යමක්‌ පැවසුවොත්

මම උපන්නේ ගාල්ල මොරවක ප්‍රදේශයේ ගමක. අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. මම අවිවාහකයි. ඇත්තටම මම මගේ මුළු ජීවිතේම කැප කරලා ඉන්නේ මේ හදවත් රෝගීන් වෙනුවෙන්.

විවාහ වෙලා දරු මල්ලො හදාගෙන පවුල් ජීවිතයක්‌ ගත කළා නම් මට හදවත් රෝගීන් වෙනුවෙන් මේ වගෙ කැප කිරීමක්‌ කරන්න බැරි වෙනවා. ඒ නිසාමයි මම තාමත් විවාහයක්‌ ගැන හිතන්නෙ නැත්තෙ.

මගේ දවස ගෙවෙන්නෙ මහනුවර රෝහලේ ශල්‍යාගාරය තුළයි. අහිංසක මනුස්‌සයකුගේ ජීවිතයක්‌ බේරගන්නව තරම් සතුටක්‌ තවත් මට නැහැ.

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.