හාතාවාරිය කසායෙන් පොතු කබර සුව කරන හැටි

ප්‍රශ්නය - ඉකුත් සතිවල අප පොතුකබර රෝගය ගැන මේ තීරය ඔස්‌සේ ඔබ සමඟ සාකච්ඡා කළා. අද ඔබ අපට ලබාදෙන ඖෂධ වට්‌ටෝරුව කුමක්‌ද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - අද ඔබට කසාය වට්‌ටෝරුවක්‌ වගේම පොතු කබර කැළැල් ශෝධනය කරන ඖෂධීය වට්‌ටෝරුවක්‌ ලබා දීමටත් මා සූදානම්.

කසාය වට්‌ටෝරුව

හාතාවාරිය, සුදුහඳුන්, අරළු, බුලු, නෙල්ලි, මුද්දරප්පලම්, වැල් මදට, මානෙල් අල, වෙනිවැල්ගැට, ඇත්දෙමට, ඉරමුසු, බිංකොහොඹ

ඉහත සඳහන් ඖෂධ කලං එක බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 පතට සිඳ පත භාගය (කෝප්ප භාගය) බැගින් උදේ සවස දින 14 ක්‌ පානය කළ යුතුයි. කසාය තම්බන විට මැටි මුට්‌ටියක්‌ යොදා ගත යුතු අතර මඳ ගින්නේ තැම්බීම අත්‍යවශ්‍යයි. මේ සඳහා දර පාවිච්චි කළොත් ඉතා හොඳයි. හැබැයි අද දර ලිප් නැති නිසා ගෑස්‌ ලිපක තබා කසාය පිළියෙල කළත් වරදක්‌ නැහැ. හැබැයි මැටි මුට්‌ටියක්‌ නම් අත්‍යවශ්‍යයි.

ශෝධන දියරය

පාවට්‌ටා පස්‌ පංගුව සහ ඇත්තෝර පස්‌ පංගුව තම්බා දිනකට දෙවරක්‌ පොතු කබර පැල්ලම් සේදිය යුතුයි.

ප්‍රශ්නය - මේ ඖෂධ මගින් රෝගය සුව වීමේ අදහස කුමක්‌ද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - සොරයිසිස්‌ රෝගයට මූලික වන්නේ රුධිරයේ සංකූලතාව. එම සංකූලතාව හට ගන්නට පාදක වන හේතු කිහිපයක්‌ තිබෙනවා. ලොකුවට බලපාන හේතුව තමයි ජාන උරුමය. සොරයිසිස්‌ රෝගීන් තුනෙන් එකක්‌ම ජාන උරුමය නිසා රෝගී වූ අය. කොහොම වුණත් ශරීරයේ ගමන් කරන රුධිරය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් නම් සොරයිසිස්‌ රෝගය සුව කරන්න පුළුවන්. මේක තමයි අප කරන ප්‍රතිකාරවල සෛද්ධාන්තික පදනම. ඉහත සඳහන් කසාය වට්‌ටෝරුවේ තිබෙන ඖෂධවලින් සිදුවන්නේ ලේ පිරිසිදු කිරීමයි. ලේවල තිබෙන විෂ සහිත බව නැති කිරීමයි. උදාහරණයක්‌ ලෙස හාතාවාරිය ගනිමු. ඇස්‌පරාගස්‌ පන්තියට අයත් හාතාවාරිය ශාකය හිමාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව යන රටවල් මුල් බිම කරගත් ශාකයක්‌. හාතවාරිය ශාකය හඳුන්වන්නේ සියලු ඖෂධීය ශාක අතර අග රැජනක්‌ ලෙසයි. හේතුව එමගින් ලෙඩ රෝග රැසකට ප්‍රතිකාර කරන්න පුළුවන්. වෙනකක්‌ තබා කාන්තාවන්ගේ මඳසරු භාවයටත් හාතාවාරියවලින් ඖෂධ හදනවා. ඒ අතර හෝමෝන තුලනාත්මකව තබා ගැනීම සඳහාත් මෙමගින් ප්‍රතිකාර කරනවා. කිරිදෙන මවුවරුන්ගේ කිරි නිපදවීම වැඩි කිරීම, මුත්‍රා බොක්‌කේ ආසාදන, ශ්වසන පද්ධතියේ තෙත් ගතිය රඳවා ගැනීම, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කර ගැනීම, ශරීරයේ රුධිරයේ තිබෙන විෂ ගතිය නැසීමට මෙය ඉවහල් වෙනවා. අප පොතුකබර වලට නියම කළ ඉහත සඳහන් කසායේ මුලටම ඉන්නේ හාතාවාරියා. ඉහත සඳහන් කසාය සහ ශෝධන දියරය දින 14 ක්‌ පාවිච්චි කළ පසු මා ඊළඟ කසාය නිර්දේශ කරනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.