'ආර්ක්‌ පීස්‌' කොළඹට පැමිණි චීනයේ පාවෙන රෝහල

චීන නාවික හමුදාවට අයත් සුවිසල් නෞකාවක්‌ පසුගියදා කොළඹ වරායට සේන්දු විය. අගෝස්‌තු හයවැනි ඉරු දින සැපත්වී නව වැනිදා යළිත් සමුගෙන ගිය මෙම නෞකාවේ විශේෂත්වය වන්නේ එය ලොව ප්‍රධාන පෙළේ සහ ප්‍රකට පෙළේ පාවෙන රෝහලක්‌ වීමයි. එනම්, මෙම සම්පූර්ණ නෞකාවම රෝහලකි. වෛද්‍යවරුන් හා සෙසු කාර්ය මණ්‌ඩලය 200 කින් සමන්විත, තට්‌ටු හතරකින් යුත් මෙම නෞකාව තුළ ලොව භාවිතයට ගන්නා නවීනතම රෝහල් උපකරණ හා අංගවලින්ද සමන්විත වේ.

'ආර්ක්‌ පීස්‌' (Ark peace) නම් වන මෙම නෞකාව දිගින් මීටර් 178 ක්‌ සහ උපරිම පළල මීටර් 24 කින් සමන්විත වේ. ආරම්භයේදී චීන (නාවික හමුදාවේ) සහන සේවා සහ ප්‍රථමාධාර සේවා නෞකාවක්‌ ලෙස භාවිතයට ගෙන ඇති මෙය එකල හඳුන්වා ඇත්තේ 'ඩයිෂාන් ඩාඕ' ලෙසිනි. චීනයේ නිෂ්පාදිත මෙම නෞකාව ආරම්භයේදී පටන් සැළසුම්කර නිෂ්පාදනය කර ඇත්තේ පාවෙන වෛද්‍ය (රෝහලක්‌) වේදිකාවක්‌ වශයෙනි. අනතුරුව යුද සේවාවෙන් බැහැර කරන ලද මෙම නෞකාව, 2008 වසරේදී කොමිෂන් ලබා අංක 866 යටතේ ජාත්‍යන්තර සේවයට එක්‌කරනු ලැබ ඇත්තේ රටවල් අතර මිත්‍ර සබඳතා ඇතිකරන හා මානුෂීය වෛද්‍යාධාර නොමිලයේ සපයන සේවකයකු පරිද්දෙනි.

ඒ අනුව ලොව හදිසි වෛද්‍යාධාර අපේක්‌ෂා කරන ප්‍රදේශ හා රටවලට වහාම ළඟාවෙමින් හා අදාළ රාජ්‍යයන් හා එක්‌වෙමින් වෛද්‍යාධාර මෙන්ම මානුෂික ආධාර ලබාදීමටද කටයුතු කරගෙන යන්නීය.

මෙසේ සේවාව සපයමින් මෙම වසර ආරම්භ වනවිට 2008 වසරේ පටන් 'ආර්ක්‌ පීස්‌' නෞකාව නොහොත් 866, රෝහල් නෞකාව නාවික සැතපුම් 170,000 ක්‌ යාත්‍රාකර, පැය 13,000 ක්‌ ඊට වැයකර රටවල් 29 කට යාත්‍රාකර ඇති අතර, සාගර තුනක්‌ හා මහාද්වීප පහක්‌ පසුකර, විවිධ රටවල 12,000 ක්‌ දෙනාට ප්‍රතිකාර ලබාදී ඇත.

නෞකාවේ අණදෙන නිලධාරී ගුඩ් බෝෆෙන්ග් (Guo Baofeng) පවසන පරිදි දැන් සම්පූර්ණයෙන්ම තම කාර්යමණ්‌ඩලයේ අරමුණ ජාත්‍යන්තර වශයෙන් මානුෂික වෛද්‍ය ආධාර සපයමින් ලෝකය වෙත තම මිත්‍රත්වයේ දෑත දිගුකිරීම බවය.

2017 වසරේදී තම හොඳ හිත පතුරුවාලීමේ සාම දූත මෙහෙවර අරඹමින් මෙසේ තම පළමු නාවික චාරිකාව ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට පැමිණි බවයි. මේ වසරේ සංචාරය පසුගිය ජුලි මස 26 වැනිදා චීනයේ ෂිජියෑන්ග් පළාතේ, ෂුෂාන් නගරයෙන් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ගතකරන දින හතරක කාල සීමාවෙන් පසු අප්‍රිකානු මහාද්වීපයේ ගැබෝන්, කොන්ගෝ ජනරජය, ඇන්ගෝලාව, මොසැම්බික්‌, ටැන්සානියා සහ නැගෙනහිර ටිමෝරයේ සංචාරයෙන් පසු යළිත් චීනයට ළඟාවීමට අපේක්‌ෂා කරන බවද අණදෙන නිලධාරිවරයා අප හා පැවැසුවේ ඉකුත් 8 වැනිදා පාවෙන රෝහල මතදී මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දක්‌වමිනි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට මෙම දැවැන්ත රෝහල් නෞකාවට පැමිණීමට හා එහි තොරතුරු අනාවරණය කරන්නට අවස්‌ථාවක්‌ ලබාදුන් අතර, එහිදී නෞකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඇවිද බැලීමේ අවස්‌ථාවද උදාකර දුන්නේය. ඒ අනුව එහි ගිය අපට තට්‌ටු හතරකින් සමන්විත හා වර්ග මීටර් 4000 ක්‌ තරමේ වන ප්‍රධාන (පාවෙන) රෝහල පිළිබඳව විස්‌තර ලබා දුන්නේ සුහදශීලී පිළිගැනීමක්‌ද සහිතවය.

බාහිර රෝගී අංශයත්, අභ්‍යන්තර නේවාසික රෝගී අංශයත්, තුවාලකරුවන් හුවමාරු අශයත් (විශේෂ අවස්‌ථාවලදී) ශල්‍ය හා අනෙකුත් රෝග නිශ්චය අංශයන් ලෙස ප්‍රධාන කොටස්‌ පහකින් සමන්විත මෙම රෝහල අංගසම්පූර්ණ රෝහල් සේවාවකින් යුක්‌නතිය. දන්ත, අක්‌ෂි, සර්වාංග පරීක්‍ෂණාගාර ඇතුලු අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන්, එක්‌ස්‌රේ, සීටී ස්‌කෑන්, එම්. ආර්. අයි. පරීක්‍ෂණ ඇතුලු සියලු අංගයන් මෙන්ම චීන පාරම්පරික දේශීය වෛද්‍ය අංශයක්‌ද එහි අන්තර්ගත විය.

එසේම, වකුගඩු රෝග, පිළිකා හදවත් රෝග ඇතුලු බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ කණ්‌ඩායමකින්ද සමන්විත සියයක වෛද්‍ය කණ්‌ඩායමක්‌ "ආර්ක්‌පීස්‌" නෞකාව නියෝජනය කරන්නේය. මෙහි ශල්‍යාගාර අටක්‌ හා ඇඳන් 300 කින් යුතු වාට්‌ටු සංකීර්ණයක්‌ ඇති බව ද අදහස්‌ දැක්‌වූ ප්‍රධාන පෙළේ වෛද්‍යවරයකු පැවැසීය.

මෙම වෛද්‍ය හා හෙද හෙදියන් චීනයේ විවිධ පළාත්වල ප්‍රධාන පෙළේ රෝහල්වලට අනුයුක්‌තව සේවය කරන්නෝ වෙති. විශේෂයෙන්ම හමුදා රෝහල්වල සේවය කරන මොවුන් වාර්ෂිකව සංවිධානය කරන 'ආර්ක්‌ පීස්‌' නෞකා සවාරියට කැඳවිම් කරගන්නා බවද, චීන ගුවන් හමුදාව හැරෙන්නට නාවික හා යුද හමුදා දෙකේම ප්‍රවීණයෝ මෙහි අන්තර්ගත බවද අණදෙන නිලධාරී බෝෆෙන්ග්" අප සමඟ පැවැසුවේ නෞකාවේ ඇවිද යමින් හා ඔහුගේ ප්‍රධාන නාවික යාත්‍රා කුටියේ ද සිට අපට අදහස්‌ දක්‌වමිනි.

"මේ නෞකාවේ විශේෂත්වය තමයි සහන සේවාවලටත් මැදිහත්වීම, මානුෂීය සහන සේවා සඳහා අප අපගේ සේවය ලබා දෙනවා. තුවාලකරුවන් බේරාගැනීම සඳහා විශේෂයෙන් පුහුණුවුණු (හමුදා) කණ්‌ඩායමක්‌ අප සතුව ඉන්නවා. ඒ වගේම ඊට ආධාර වශයෙන් සහන (ප්‍රථමාධාර) හෙලිකොප්ටරයක්‌ විශාල ප්‍රමාණයෙන් ජීවිතාරක්‌ෂක බෝට්‌ටු 10 ක්‌ හා වේග යාත්‍රා (බෝට්‌ටු) දෙකක්‌ අපගේ නැව සතුව තිබෙනවා. මේ උපකාරයෙන් හා වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ උදව්වෙන් අපට ක්‍ෂණිකව මානුෂික සේවාවක්‌ කරන්නට හැකියි" යෑයි ද අණදෙන නිලධාරිවරයා පැවැසීය.

ප්‍රසන්න පෙනුමැති මොහු ෂි ජියෑං ප්‍රාන්ථයේදී 1979 දී උපත ලැබූවෙකි. චීන නාවික හමුදාව 1997 දී බැඳුණු ඔහු 2016 දී කැප්ටන් තනතුරට උසස්‌වීම් ලැබුවත් 2015 සිටම 'ආර්ක්‌ පීස්‌' නෞකාවේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

සැබැවින්ම 'ආර්ක්‌ පීස්‌' නෞකාවට අප ගිය ගමන අලුත් අත්දැකීමකි. පාවෙන රෝහලක පහස ලැබූ ප්‍රථම අවස්‌ථාව මෙය විය.

මෙහිදි අප රෝහල් කාර්ය මණ්‌ඩලයේ මෙන්ම නැව් කාර්ය මණ්‌ඩලයේද සුහ ද පිළිගැනීමට ලක්‌විය. එසේම නවීනතම රෝහල් උපකරණ පිළිබඳව හා එවන් සේවා පිළිබඳවද දැනුවත්වන්නට අවස්‌ථාව ලදිමු. විශේෂයෙන්ම චීන ජාතිකයන්ගේ කාරුණික පිළිගැනීම මත ශ්‍රී ලංකා යුද, ගුවන්, නාවික හා පොලිස්‌ නිලධාරීන්ටද මෙහිදී වෛද්‍යාධාර ලබාගැනීම සිදුවන අයුරුද අපි දුටිමු. 'ආර්ක්‌ පිස්‌' නෞකාවේ වෛද්‍ය සේවාව දෙදිනක්‌ මහජනතාවටද නොමිලේ විවෘතව පැවැතිණි. එහි ප්‍රයෝජන ලාංකිකයන් ලබා ගත්තේ දැයි අපි නොදනිමු.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන පරිදි 'ආර්ක්‌ පීස්‌ නෞකාව' ලොව පුරා ගමන් ගන්නේ එරට අතීත නාවික ගවේෂකයකු වූ 'මින්' අධිරාජ්‍යයේ 'ෂෙන් හෙ' මග යමිනි. එම ගමනේදී ශ්‍රී ලංකාව අමතක කළ නොහැකි තැනක්‌ යෑයි ඔවුහු කියති. මන්ද 'ෂෙන් හෙ' සෙනවියා - 14 සියවසේදී තම තිස්‌ දහසක්‌ පිරිස හා නැව් තුන් සියයක්‌ පමණ රැගෙන ආරම්භ කළ පළමු සංචාරයේ පළමු ගොඩබැසීම සිදුවූයේ ශ්‍රී ලංකා වරායට නිසාය. ඒ මිත්‍රත්වය සිහිපත් කරමින් ආ මේ ගමනේදී සුහදශීලී මිතුරන් ලෙස බොහෝ ශ්‍රී ලාංකිකයන් හමුවූ බව නැව් කාර්යමණ්‌ඩලය පාවෙන රෝහල් පරිශ්‍රයෙන් බැස එන අවස්‌ථාවේදී අප සමඟ පැවැසූහ.

Ö ජගත් කණහැරආරච්චි

ඡායාරූප - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.