දිග් විජය කරන්නට පෙර නික්‌ම ගිය කුමරුවා -23 කොටස
විජය ප්‍රසිද්ධියේ අපේ පක්‌ෂයට බැන්නා... ඒකයි මේකට හේතුව...
ඇන්ටෝට පාල පිළිතුරු දෙයි

විජයගේ මරණයට දැමූ දම් පාට කොඩි වැල් නිල් පාටට හැරෙයි

විජය ඝාතනය සඳහා යොදා ගන්නා, මෝටර් බයිසිකලය, ඇන්ටෝ හෙවත් ඇන්තනි සෙල්වම් පුනැන්ඩර්ගේ නිවසේ නවතා තිබූ බවට පොලිසියට තොරතුරු ලැබුණ හෙයින් එම තොරතුරු අනුව මැයි මස පස්‌වැනිදා ඇන්ටෝ ද පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

පොලිසිය විසින් මැයි 24 වැනිදා මහෙස්‌ත්‍රාත් හමුවට ඇන්ටෝ ඉදිරිපත් කළේය. එහිදී මහෙස්‌ත්‍රාත් විසින් සැකකරුවන්ට දන්වන ලද්දේ 1979 අංක 48 දරන ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතේ අටවැනි වගන්තිය යටතේ සිය කැමැත්තෙන් සාක්‌ෂි දෙන්නේ නම්, එය මහෙස්‌ත්‍රාත් හමුවේ ලබා දීම සඳහා මැයි 26 වැනිදා දිනය ඔවුන් වෙත ලබා දෙන බවය. ඇන්ටෝ විසින් ඒ සඳහා එකඟ වෙමින්, මැයි මස 26 වැනිදා සිය කැමැත්තෙන් මහෙස්‌ත්‍රාත් හමුවේ සාක්‌ෂි ලබා දුන්නේය. පරීක්‌ෂණ කටයුතුවල නිරතව සිටි පොලිස්‌ නිලධාරීන් අධිකරණයෙන් ඉවත් කරමින් ඇන්ටෝ වෙත සාක්‌ෂි ලබා දීම සඳහා අධිකරණය විසින් අවකාශ සලසා දුන්නේය.

නම - ඇන්තනි සෙල්වම් පුනැන්ඩර්

වයස - අවුරුදු 27 යි.

රැකියාව - ඉන්ටර් කොන්ටිනන්ටල් හෝටලයේ බීම අංශයේ සේවකයෙකි.

1986 වසරේ දෙසැම්බර් මාසයේදී සෙල්වා නම් මිතුරකු මගින් ඇන්ටෝ වෙත පාල හඳුනා ගැනීමට ලැබී තිබුණි. මුල් කාලයේදී පල්ලියට යන අවස්‌ථාවේදී හෝ මහමඟදී ඇන්ටෝ වෙත පාල හමුවිණි. සමන්ත සහ ඇන්ටෝ අතර මිත්‍රත්වය කුඩා කාලයේ පටන් පැවත එන්නකි.

විජය කුමාරතුංගගේ මරණයට මාස අටකට පමණ පෙර, පාල විසින් තමන්ගේ මාමාට අයත් ඩෙලිකා වෑන් රථය ඇන්ටෝගේ නිවසේ මිදුලේ නතර කිරීම සඳහා අවසර ඉල්ලා තිබුණි. පාල සිය ගරාජය අසළම තිබූ නිවසක තරුණියක්‌ සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යමින් සිටි අතර, වෑන් රථය නැවැත්වීම සඳහා පාලට තිබූ ආසන්න අවකාශය වූයේ, ඔහු සමඟ පෙමින් බැඳී සිටි තරුණියගේ නිවසට අයත් මිදුලය. ප්‍රේම සම්බන්ධය සඳහා තරුණියගේ පියාගේ විරුද්ධ වීම හේතුවෙන් එම අවස්‌ථාව පාලට නොලැබුණි. මේ නිසා සිය මාමාගේ වෑන් රථය නැවැත්වීම සඳහා පාල ඉඩ ඉල්ලා සිටියේ ඇන්ටෝගේ නිවසේ මිදුලෙනි. එම රථය දින දෙක තුනක්‌ පමණ ඇන්ටෝගේ නිවසේ නතර කර තිබී, ආපසු ගෙනයන ලදී. විජය ඝාතනයට දින කිහිපයකට පෙර පාල විසින් මෝටර් සයිකලයක්‌ නැවැත්වීම සඳහා ඇන්ටෝගෙන් අවසර ඉල්ලා සිටියේ පෙර පරිදිමය. එම මෝටර් රථය කාට අයත් දැයි ඇන්ටෝ විසින් පාලගෙන් විමසන ලදුව පාලගේ පිළිතුර වූයේ, එය තමන්ගේ මිත්‍රයකුට අයත් බවය. දින කිහිපයකට පසු පාල ඔහුගේ මිත්‍රයකු සමග යතුරුපැදියකින් පැමිණ, මෙම ස්‌ථානය හොඳ ද කියා අසා තිබුණි. ඒ මොහොතේ ඇන්ටෝ සිය කාමරයේ සිට ඇති අතර, මිත්‍රයා විසින් ස්‌ථානය හොඳ යෑයි පැවසූ බැවින් මෝටර් සයිකලය නවතා, පාල සහ මිත්‍රයා ඒ බව කාමරයේ සිටි ඇන්ටෝට දැනුම් දී පිටව ගියහ. එය හොණ්‌ඩා 200 වර්ගයේ යතුරුපැදියක්‌ බව, ඇන්ටෝට දැක ගන්නට ලැබුණි.

විජය ඝාතනය වූ පෙබරවාරි 16 වැනිදා උදෑසන ඇන්ටෝ සිටියේ නිදාගෙනය. රෑ වැඩ මුරය අවසන් වී පැමිණි පසු නින්දට වැටී සිටි ඇන්ටෝ ඇහැරූ පාල සහ මිත්‍රයා, තමන් මෝටර් සයිකලය රැගෙන යන බව ඔහු වෙත දන්වා සිටියහ. තද කළු තරමක්‌ උස, හොඳින් වැඩුණු සිරුරක්‌ සහිත පාලගේ මිත්‍රයා සහ පාල බයිසිකලය

රැගෙන ගිය පසු ඇන්ටෝ නින්දට වැටුණි.

දහවල් 12 ට පසුව ගේට්‌ටුව දෙසින් ශබ්දයක්‌ ඇසීම නිසා ඇන්ටෝ යළිත් අවදි වූ අතර, පාල සමඟ පැමිණි මිත්‍රයා, කලබලයෙන් මෙන් පැමිණ ඇන්ටෝගෙන් කමිසයක්‌ ඉල්ලා සිටියේය. ඔහු ඇඳ සිටියේ ක්‍රීම් පාට කමිසයකි. ඇඳේ සිටම කමිස එල්ලා තිබෙන රැක්‌ එක පෙන්වූ ඇන්ටෝ, ඉන් කමිසයක්‌ රැගෙන යන ලෙස පාලගේ මිතුරාට පැවසීය. ඇන්ටෝ සතුව තිබූ, අත් දිග නිල් පාට කොටු සහිත සුදු කමිසයක්‌ රැගත් පාලගේ මිත්‍රයා සමන්තගේ නිවස පැත්තට යන ආකාරය ඇන්ටෝ දුටුවේය.

සමන්තගේ නිවස පිහිටියේ ඇන්ටෝගේ නිවස ඉදිරිපිට පාරෙන් එහා පැත්තේය. ටික වේලාවකින් සමන්ත, ඇන්ටෝගේ නිවසට පැමිණියේය. පාලගේ මිතුරා බෑගයක්‌ තබා ගිය බවත් එය

රැගෙන යන ලෙසට පාලට පවසන ලෙසත් සමන්ත විසින් ඇන්ටෝගෙන් ඉල්ලා සිටියේය. ඒ සැණින්ම පාල සෙවීම සඳහා පිටත්ව යැමට ඇන්ටෝ සැරසුණු අතර එවිට ඔහුට දැනගන්නට ලැබෙන්නේ, විජය කුමාරතුංග වෙත වෙඩි තබා ඇති බවය.

පාල සෙවීම නතර කර, අසලම වූ විජයට වෙඩි වැදුණු ස්‌ථානය බැලීම සඳහා ඇන්ටෝ පිටත්ව ගියේය. ඔහු යන විටත්, විජයගේ සිරුර රෝහල කරා ගෙන ගොස්‌ තිබුණි. ලේ පැල්ලම් අවට විසිරී තිබූ අතර,

රැස්‌ව සිටි පිරිස අතර කතා බහෙන් ඇන්ටෝ තේරුම් ගත්තේ, රතු පැහැති හොණ්‌ඩා බයිසිකලයකින් පැමිණි දෙදෙනෙක්‌, විජයට වෙඩි තබා පලාගොස්‌ ඇති බවය. මේ සමගම ඇන්ටෝගේ හිතට පැමිණි අදහස වූයේ, තම මිදුලේ නවතා තැබූ යතුරුපැදිය විජය ඝාතනය සඳහා යොදා ගන්නා ලද බවය. විජය ඝාතනය කරන ලද ස්‌ථානයේ සිට පාලගේ ගරාජයට ගිය ඇන්ටෝට එහිදී පාල හමු වූයේ නැත. එතැන් සිට පැමිණෙන විට හයිලෙවල් පාර අසලදී ඇන්ටෝට පාල මුණගැසුණේය. සමන්ත, ඔහු සොයන බව ඇන්ටෝ විසින් පාලට පැවසූ පසු, දෙදෙනාම සමන්තගේ නිවසට ගියේ පාලගේ යතුරුපැදියේ නැඟීය. ඒ අතරේදී තම නිවසේ නවතා ඇති යතුරුපැදිය ද රැගෙන යන ලෙස ඇන්ටෝ විසින් පාලට දැනුම් දුන්නේය.

සමන්තගේ නිවසට ගිය විගස පාල විසින් එහි තබා තිබූ බෑගය හැර ඒ තුළ තිබූ තුවක්‌කුව කඩදාසියකින් පිස දමා, යළිත් බෑගය වසා දමන ලද්දේය. නිවසින් එළියට පැමිණි ඇන්ටෝ සහ සමන්ත විසින් පාලගෙන් විමසා සිටියේ දැන් කුමක්‌ කරමුද කියාය. "උඹලා බය වෙන්න එපා... මම ඔක්‌කොම බලා ගන්නම් " යෑයි පාල ඊට පිළිතුරු ලබා දුන්නේය. සමන්ත සහ ඇන්ටෝ විසින් පාලගෙන් කළ ඉල්ලීම වූයේ බෑගය සහ යතුරුපැදිය

රැගෙන වහාම ප්‍රදේශයෙන් පිටව යන ලෙසය. ඒ මොහොතේ පාල පොරොන්දු වූයේ සන්ධ්‍යාව වන විට ඒවා රැගෙන යන බවය. සන්ධ්‍යාවේ පාල සහ ශ්‍රීකාන්ත සමන්තගේ නිවසට බයිසිකලයෙන් පැමිණ බෑගය රැගෙන පිටව යනවා ඇන්ටෝ දුටුවේය. ආයුධ සහිත බෑගය ශ්‍රීකාන්තගේ කරේ තිබෙන ආකාරය ඇන්ටෝට පෙනුණි. රෑ වැඩ මුරය සඳහා යැමට සූදානම් වූ ඇන්ටෝ, සමන්තගේ නිවසට ගොස්‌ ඔහුගෙන් විමසා සිටියේ "පාල බයිසිකලය රැගෙන යන්නේ නැද්ද...?" යනුවෙනි. ආපසු ඇවිත් එය රැගෙන යන බවට පාල පැවසූ බව සමන්ත විසින් ඇන්ටෝට පවසන්නේ එවිටය.

පසුදා පාන්දර ඇන්ටෝ නිවසට එන විටත් යතුරුපැදිය මිදුලේ නවතා තිබූ අතර, ඔහු ඇඳේ නිදාගෙන සිටියදී පාල පැමිණියේය. බයිසිකලය ගෙන යන්නේ නැද්දැයි පාලගෙන් ඇසූ විට ඔහු ඇන්ටෝගෙන් අසන ලද්දේ එහි යතුර ඔහු ළඟ තිබේද කියාය. තමා ළඟ එය නැති බව ඇන්ටෝ පැවසූ විට "කොහේ හරි දමා යන්නට ඇති... පොඩ්ඩක්‌ හොයමු" කියා ඇන්ටෝගේ නිවසේ කිහිප තැනක, පාල විසින් යතුර සොයා බලන ලද්දේය. යතුර නොමැති නිසා පාල යළිත් යැමට සැරසෙන විට ඇන්ටෝ කියා සිටියේ කොහොම හරි බයිසිකලය රැගෙන යන ලෙසය. "හරි හරි මම කොහොම හරි අරගෙන යන්නම්..." යෑයි පාල පිළිතුරු දුන්න ද, තමා අද වැඩට යැමට පෙර බයිසිකලය රැගෙන යන ලෙස පාලට ඇන්ටෝ විසින් බල කළේය.

දෙදෙනා සමන්තගේ නිවසට දෙසට යැමට පැමිණෙන විට සමන්ත ද ඒ දෙසට එමින් සිටියේය. සමන්ත සහ ඇන්ටෝ යන දෙදෙනාම පාලගෙන්, මේ මොහොතේ විමසා සිටියේ "උඹලා විජය කුමාරතුංගට වෙඩි තිබ්බේ ඇයි..?" යන්නය. "විජය කුමාරතුංග ප්‍රසිද්ධ වේදිකාවක අපේ පක්‌ෂයට බැනලා තියෙනවා, එම නිසා මෙය සිදුවුණා..." යන්න පාලගේ පිළිතුර විය. "උඹලා කාටවත් මේ ගැන කියන්න එපා. මම ඔක්‌කොම බලා ගන්නම්" යෑයි පැවසූ පාල සිය බයිසිකලයේ නැඟී යන්නට ගියේය. එදින පාල එනතුරු බලා සිටි ඇන්ටෝ වැඩට ගිය අතර 18 වැනිදා, වැඩ නිමවා පැමිණි පසු, උදෑසන අටත් නවයත් අතර පාල සහ ශ්‍රීකාන්ත ඔවුන්ගේ බයිසිකලයෙන් සිය නිවසට පැමිණෙන අයුරු ඇන්ටෝ දුටුවේය. බයිසිකලය කෙසේ හෝ රැගෙන යන ලෙස ඇන්ටෝ පාලගෙන් ඉල්ලා සිටි අතර, යතුර නැති නිසා එය තල්ලු කරගෙන යැමට සිදුවන බව පාල පැවසූ විට, එසේ හෝ කරන ලෙස ඇන්ටෝ විසින් පාලට බල කරන ලද්දේය. ඇන්ටෝගෙන් අඬුවක්‌ ඉල්ලා ගත් පාල, බයිසිකලයේ වයර් කිහිපයක්‌ කපා එය පනගන්වන්නට උත්සාහ දරන ලද නමුත් එය සාර්ථක නොවීය. ශ්‍රීකාන්ත විසින් ඇන්ටෝගෙන් වයර් කැබැල්ලක්‌ ඉල්ලාගෙන, යතුරුපැදිය පණගන්වා ගත්තේය. ඒ සමගම එහි පැති කණ්‌ණාඩි දෙක ගලවා, ඇන්ටෝගේ නිවසේ තැබූ පාල, ආපසු යන විට එම දෙක

රැගෙන යන බව ඇන්ටෝට පැවසුවේය. පාලගේ යතුරුපැදිය ශ්‍රිකාන්තට දී පාල විසින් රතු පැහැති යතුරුපැදිය පදවාගෙන ගියේය. ටික වේලාවකට පසු පාල සහ ශ්‍රීකාන්ත යන දෙදෙනා, පාලගේ යතුරු පැදියෙන් ආපසු ඇන්ටෝගේ නිවස වෙත පැමිණියහ.

"කොහේද බයික්‌ එක දැම්මේ..." කියා ඇන්ටෝ විසින් පාලගෙන් විමසීය. කළුබෝවිල රෝහල අසල එය දැම්මා, යනුවෙන් පාලගෙන් පිළිතුරු ලැබිණ. පාල සහ ශ්‍රීකාන්ත විසින් ඇන්ටෝගේ නිවසේ තබා ගිය පැති කණ්‌ණාඩි දෙක ද

රැගෙන ගියහ.

පසුව ඇන්ටෝට අහම්බයෙන් පාල මුණගැසුණද ඔහු ඇන්ටෝ සමග කතා බහක්‌ නොකළේය. පසු අවස්‌ථාවක පාල විසින් ඇන්ටෝට පවසන ලද්දේ, සීඅයිඩිය තමන් අල්ලා ගැනීම සඳහා සොයමින් සිටින බවය. ශ්‍රීකාන්ත ද සීඅයිඩිය විසින් සොයන බව පැවසූ පාල, ඔහු පාපන්දු ක්‍රීඩා කිරීමට ගොස්‌ කකුල කඩාගෙන සිටින බව ද පැවසුවේය. මේ සිදුවීමෙන් දින දෙකකට පමණ පසු, ඇන්ටෝ සේවය කරන හෝටලයට පැමිණි සමන්ත පවසා සිටියේ, සීඅයිඩිය විසින් පාල අල්ලාගෙන ගිය බවය. ශ්‍රීකාන්ත ද අල්ලාගෙන ගෙන ගොස්‌ ඇති බව සමන්ත, ඇන්ටෝට පැවසුවේය.

"අපි අල්ලාගෙන ගියොත් බොරු කියන්න බැහැ, ඇත්ත කියමු..." යෑයි සමන්ත විසින් ඇන්ටෝට යෝජනා කළේය.

මැයි මස පස්‌වැනිදා පොලීසිය විසින් ඇන්ටෝ හෙවත් ඇන්තනි සෙල්වම් පුනැන්ඩර් විජය කුමාරතුංග ඝාතනය සඳහා අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලදී.

සමන්තගේ සහ ඇන්ටෝගේ සාක්‌ෂිය විජය ඝාතනය පිළිබද වැදගත් හෝඩුවාවන් ගණනාවක්‌ හෙළි කරයි. ඝාතනය සඳහා වන පූර්ව සැලසුම සකස්‌ වන ආකාරය සහ ඝාතනයෙන් පසු අපරාධකරුවන් පැන යන ආකාරය සමන්තගේ සහ ඇන්ටෝගේ කට උත්තර මගින් පෙන්වනු ලබයි.

මෙම සාක්‌ෂි අධිකරණයේ හෙළිදරව් වන බව රටට අනාවරණය වන්නේ වසර කිහිපයක්‌ ගත වූ පසුවය. සාක්‌ෂි හෙළිදරව් වන කාලය වන විට එතෙක්‌ නොවුණු මට්‌ටමෙන් විජයගේ සිනමාව සහ දේශපාලනය පිළිබඳව මාධ්‍යයේ විචාර කතිකාවත් පළ විය. විජයගේ සිනමාව සහ ඔහු රටේ ජනප්‍රිය ප්‍රතිරූපයක්‌ බවට පත්වීම පිළිබඳවත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දේශපාලන ධාරාව ලක්‌වූ ඉරණමත් පිළිබඳව චිචිත්‍ර රේඛා 1988 ජුනි 25 කලාපයට සිරිල් බී. පෙරේරා විසින් ලියන ලද ලිපිය වැදගත් වන්නේ ඔහුගේ ඝාතකයන් සොයා පොලිසිය හඹා යන විට, ඔහුගේ ප්‍රතිරූපය සහ දේශපාලනය ලක්‌ව තිබූ ඉරණම පිළිබඳව හෙළිදරව්වක්‌ ලෙස එය වැදගත් වන බැවිනි. විජය ඝාතනය වී මාස හතරක්‌ සපුරන විට සිරිල් බී. පෙරේරා විසින් ලියන ලද "විජය කුමාරණතුංග කැරිස්‌මාවේ බීජය කොතැනද?" යන එම රචනය මෙසේය.

විජය කුමාරණතුංග ඝාතනය කොට පැය ගණනක්‌ ගත වන්නට පෙර රට පුරා වීදියක්‌ වීදියක්‌ පාසා අදින ලද දම්පාට කොඩි තැනින් තැන මෙය ලියන මොහොත වන විටත් ඉතිරි වී තිබෙනවා. එහෙත් පසුගිය කෙටි කාලය තුළ ඒවා පාරිසරික හා කාලගුණික තත්ත්වයන්ගේ සැඩකමට අසු වීම නිසා ඒවා මූලික වර්ණයන් වන නිල් පාටට හැරිලා. අව්ව වැස්‌ස නිසා මූලික වර්ණවල පාට එච්චර ලේසියෙන් පිච්චෙන්නෙ නැතිලු. චන්ද්‍රිකා ඩයස්‌ බණ්‌ඩාරනායක කුමාරණතුංග පොල්හේන්ගොඩ නිවස වසා දමා ගොස්‌, රොස්‌මිඩ් පෙදෙසේ අල්ලපු ගෙදර සිට පළාත් සභා මැතිවරණය මෙහෙයවනවා. උතුරේ හා නැඟෙනහිර ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනවාර්ගික කරුණු අධ්‍යයනය පිළිබඳ කේන්ද්‍රය විසින් නිපදවන ලද විත්ති වීඩියෝ චිත්‍රපටය රොස්‌මීඩ් පෙදෙසේ තම නිවසේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මේ ළඟදී නරඹා ඇත්තේ විජය කුමාරණතුංගගේ දරුවකු උකුලේ තබාගෙන නළවමින්.

මෙම සංකේත හා සිද්ධීන් පිළිබඳ ඇත්ත නාටකය අපේ රටේ වර්තමාන සංකීර්ණත්වය පිළිබඳ චිත්‍රපටයකට අපූරු වස්‌තුවක්‌ සහ තේමාවක්‌. එහෙත් එය අද වැදි රජුන් නැතිව මනමේල නටනවා වාගෙ වැඩක්‌. නළුවා අද නැති නිසා.

මීගමුව අසල වෙරළබඩ ගමක පල්ලියක සෙවණේ සිට හොරගොල්ල - රත්වත්ත වලව්ව දක්‌වාත්, හන්තානේ බොළඳ කතාවක සිට ක්‍රිස්‌තු චරිතය දක්‌වාත්, ට්‍රොට්‌ස්‌කිවාදී ගැටවරකමේ සිට නළුකම ඔස්‌සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දක්‌වාත්, එතැන් සිට අලුත් පක්‌ෂයක්‌ පිහිටුවීමේ සිට සම්මත වම එක්‌ කිරීමේ චිතකය දක්‌වාත් වේදිකා රැසක රඟ පෑ යුගයේ අරුම නළුවා විජය.

මීට අවුරුදු ගණනකට පෙර වෙසක්‌ දවසක සුගතදාස ස්‌ටේඩියම් පහුකොට යනකොට මම දැක්‌කා විජය කුමාරණතුංග වෙසක්‌ දන්සලක්‌ විවෘත කරනවා. විජය මියගිය දා එතැනම පසුකොට යනකොට, පරණ කුණු මෝල තිබුණු තැනට එහා වැසිකිළි සහ කම්කරු තට්‌ටු නිවෙස්‌ ළඟ, සුදු රෙද්දේ අවියත් කළු අකුරෙන් ඇඳපු බැනර් එකක්‌ දැක්‌කා. ඒකෙ තිබුණ්‌ණ්‌ ශෝක ප්‍රකාශය, "අම්මපා හදවත පැලෙනවා." විජය කුමාරණතුංග මහතාට නිවන් සැප ලැබේවා· මම හිතන්නේ ඒ රෙදි කෑල්ලේ "හදවත පැලෙනවා" කියන හරිය එතැන තවමත් තියෙනවා.

සිය නළු සොහොයුරාගේ අවමඟුල අත්පොළසන් දෙන දේශපාලන වේදිකාවක්‌ බවට පත් වීමෙන් ගාමිණී ෆොන්සේකාට අඩ මිලියනයක්‌ ජනතාව ඉදිරියේ හරියට තරහ ගියා. අපේ රටේ අවමඟුල්වල සම්මත සිරිත් සුන් වුණා. කාලෝෆොන්සේකා ජුලියස්‌ සීසර් නාට්‍ය රඟපපා, මාක්‌ ඇන්ටනී වාගේ කතා කළා. වර්තමාන බෲටස්‌ පිස්‌සෙක්‌ය කියන්නට ඔහු උත්සාහ කළා.

ට්‍රොට්‌ස්‌කිවාදයේ සිට ගොර්බචොෆ්ගේ පෙරෙස්‌ට්‍රොයිකා දක්‌වා සියලු වමේ වාද මිනී පෙට්‌ටියක්‌ මත දුරු වුණා. ඒ අතර, රටේ ප්‍රධාන සිනමා ශාලාවල "ඔබටයි ප්‍රියේ ආදරේ" ප්‍රදර්ශනය වෙමින් පැවතුණා.

නවසිය හැට අටේ සිට අසූ අට දක්‌වා පෙන්නපු චිත්‍රපට 88ක විජය රඟපෑවා. ඉන් 18ක්‌ හොඳයි කියන්නට පුළුවන් චිත්‍රපට. මෙයින් 8 ක්‌ අපේ රටේ හැටියට හුඟාක්‌ හොඳ චිත්‍රපට. ඔහුගෙන් සිනමාවට සිද්ද වෙච්ච සම්මාදම මේ අටට සීමා කරනවාද? අනික්‌ දහයත් එක්‌ක ගණන් ගන්නවාද? නැත්නම් ඔහුගේ සැබෑ සම්මාදම තිබුණේ අර ඉතිරි හැත්තෑවේද? ඔහු නැවත ජනප්‍රිය නළුවා බවට පත් කළේ අර හැත්තෑවයි. ඔහුට දේශපාලන වේදිකාවට මග පෑදුවේ අර හැත්තෑවයි. ඉතින් විජය මනින මිනුම් දණ්‌ඩ ඒකද?

එක පැත්තකින් ජාතිවාදය උග්‍රව ඇවිස්‌සෙද්දී අනෙක්‌ පැත්තෙන් ඔහු දෙමළ කොටස්‌ සමග සමගි සන්ධාන ඇති කර ගත්තත් ඔහු ගේ ජනප්‍රියත්වයට ඒවා බලනොපාන්නට හේතුව කුමක්‌ද? ඔහුගේ ආගම් පසුබිම ගැන, කුලගොත් පසුබිම ගැන මිනිසුන් ප්‍රශ්න නාහන්නට හේතුව කුමක්‌ද? අර චිත්‍රපට හැත්තෑවද?

විජයගේ මෙම කැරිස්‌මාවේ හේතුව දකින්නට පුළුවන් අර චිත්‍රපට හැත්තෑව තුළ නම්, විජය පිළිබඳ හොඳම අධ්‍යයනය වන්නේ ඒ චිත්‍රපට හැදෑරීමයි ඒවායේ තේමා, දෙබස්‌ ආදිය හැදෑරීමයි. ඒවායේ හිඟාකන ධනපාලලාගේ, මෝඩ ඥානපාලලාගේ, දුෂ්ට ගුණපාලලාගේ අනෙක්‌ චරිත හැදෑරීමයි. එය අප රටේ වර්තමාන සමාජ මනස පිළිබඳ ඉතා වැදගත් අධ්‍යයනයක්‌ වනවාට සැක නැහැ. විජය කැරිස්‌මාව හැදෑරීම අපේ රටේ වර්තමාන දේශපාලන, සාමාජික, සංස්‌කෘතික හා මානසික තත්ත්වයක්‌ පිළිබඳ හැදෑරීමක්‌. ඒ කැඩපතෙන් අපිත් මූණ බලමුද?

ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.