ඉසිවර පින්බිමක අනුහස්‌ පිරි හාස්‌කම් - 14
පිළිකාවක්‌ සතියකින් සුව වූ හැටි
වාහල්කඩ ඉසිවර අරණේ තවත් අසිරිමත් ආශ්චර්යයක්‌

මේ වන විට රෝගීන් දෙදහසකට ආසන්න පිරිසක්‌ වාහල්කඩ ඉසිවර අරණේදී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. ඒ සියලුම රෝගීන්ට තුන්වේලටම දානය, විදුලි සහ පිරිසිදු පානීය ජලය ලබා දෙනු ඇත. එම සේවාවන් සැපයීමට දිනකට විශාල මුදලක්‌ වැය වේ. සීග්‍රයෙන් රෝගීන්ගේ වැඩි වීමත් සමඟ එම සේවා පහසුකම් ලබාදීමේදී ගැටලු මතුවෙමින් තිබේ. එමෙන්ම රෝගීන් ගැන සොයාබැලීමට, වගකීම් දැරීමට යම් ක්‍රමවේදයක්‌ තිබිය යුතුය. එහෙයින් මේ ස්‌ථනයේ පැවැත්ම උදෙසා 'ඉසිවර අරණ ජාත්‍යන්තර සුව සේවා පදනම' නමින් සංවිධානයක්‌ පිහිටුවාගෙන තිබේ. මෙරට මෙන්ම දඹදිව වැඩ වාසය කරන නායක ස්‌වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය එම පදනමට ලැබෙනු ඇත.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපතින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩට. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

රජරට නියඟය අහවර කරමින් වාහල්කඩට විටින්, විට තද වැසි ඇදහැළෙමින් තිබේ. සුවසෙත බලාපොරොත්තුවෙන් වාහල්කඩ ඉසිවර අරණේ කූඩාරම්ගතව රැඳී සිටින රෝගීහු පවතින කාලගුණික තත්ත්වයත් සමඟ දැඩි ලෙස පීඩාවට පත් වෙමින් සිටිති. කඳු බෑවුමක පිහිටි පූජා භූමිය පුරා ඇති කූඩාරම් මහ වැස්‌සට දියබත් වන බව නොරහසකි. එහෙත් එම කූඩාරම් තුළ ප්‍රතිකාර ලබන රෝගීහු ලෙඩ සුවපත් කරගැනීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගෙන පින්බිමේ දිගටම රැඳෙති. මේ එවැනි අධිෂ්ඨානයෙන් පසු වන මවක්‌ අපට කියන කතාවය. ඇය නන්දා පෙතියාගොඩය. පස්‌ දරු මවකි. සාමාන්‍යයෙන් කාන්තාවන් මාසිකව සිදුවන අසනීප තත්ත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලි වේ. එහෙත් ඔසප්වීමේ අසාමාන්‍ය තත්ත්වයත් සමඟ ඇයට වැළඳී ඇති මාරාන්තික රෝගී තත්ත්වය ගැන මේ මව අප ඉදිරියේ පැකිළීමකින් තොරව පැවසුවාය.

"සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය අවුරුදු 50 විතර වෙනකොට නතර වෙනවා. මගේ නතර වුණේ අවුරුදු 60 දී. ආයෙමත් අවුරුදු 8 කින් හැදෙන්න පටන්ගත්තා. අසාමාන්‍ය තත්ත්වයක්‌ නිසා ප්‍රතිකාර ගන්න මම වෛද්‍යවරයකු හමු වුණා. වෛද්‍යවරයා පරීක්‍ෂා කරලා 'ගර්භාෂය හෝදලා, කෑල්ලක්‌ කපලා පරීක්‍ෂණයක්‌ කරන්න ඕනා' කියලා කිව්වා. 'පරීක්‍ෂණ වාර්තාව එන්න මාසයක්‌ විතර යනවා... එතකම් රෝහලක නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් වෛද්‍ය උපදෙස්‌ ලැබුණා. මාසෙකට පස්‌සෙ වෛද්‍ය වාර්තාව ආවා. පරීක්‍ෂණයෙන් තහවුරු වුණේ ගර්භාෂයේ පිළිකාවක්‌ කියලා. වෛද්‍යවරු කිව්වේ ගර්භාෂය ඉවත් කරන්න ඕනා කියලා. අවසානයේ ඔපරේෂන් එකක්‌ කරලා ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ වසාග්‍රන්ථි ඇතුළු ප්‍රජනක පද්ධතියම ඉවත් කළා..."

ඔපරේෂන් එක කළාට පස්‌සෙ කරදරයක්‌ නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒත් වෛද්‍යවරු කිව්වේ නැවත පිළිකා සෛල වර්ධනය වෙන්න පුළුවන් කැමැති නම් මහරගම පිළිකා රෝහලට ගිහින් කරන්ට්‌ එක අල්ලගන්න කියලා. වෛද්‍ය උපදෙස්‌ පිට මහරගම පිළිකා රෝහලට ගිහින් විසිහතර වතාවක්‌ කරන්ට්‌ එක අල්ලගත්තා. බෙහෙත් හතරක්‌ විද්දා. වොකි තෙරපි දෙකක්‌ කළා. අවුරුදු එකහමාරක්‌ විතර නිරෝගීව හිටියා. ආයෙමත් ගුදමාර්ගයෙන් ලේ වහනය වෙන්න පටන් ගත්තා. ඒ එක්‌කම අසාමාන්‍ය විදිහට කකුල් දෙක ඉදිමෙන්න ගත්තා. සායනයට ගිය වේලාවේදී වෛද්‍යවරුන්ට ඒ බව කිව්වා. 'කරන්ට්‌ ඇල්ලුවම ඒ වගේ තත්ත්වයන් මතු වෙනවා. ඒවට ස්‌ථිර විසඳුමක්‌ නෑ...' කියලා වෛද්‍යවරු කිව්වා. ටික දවසක්‌ යනකොට හිමොග්ලොබින් මට්‌ටම හතළිස්‌දාහට, ප්ලේටට්‌ 5 ට ත් අඩු මට්‌ටමකට පහළ බැස්‌සා. කෑම කන්න බැරිව ගියා. නැඟිටලා ඉන්න පණ නැති වුණා. අන්තිමේ ලේ දුන්නා. දරුවො පස්‌ දෙනෙක්‌ වැදුවා. ඒත් මේ තරම් දුකක්‌ විඳලා නෑ. ජීවිතේ එපා වුණා..." වචන සිර විය. හැඬුම වේගවත් විය. ඇයගේ දෙපා පිරිමදිමින් සිටි කාන්තාවගේ හඬ උස්‌ විය. ඇය නන්දා අම්මාගේ දියණිය රසිකා අමරසිංහය.

"අම්මා අවුරුදු පහක්‌ එකම විදිහට දුක්‌වින්දා. අපිට කරන්න පුළුවන් හැම දේම කළා. ඒත් වැඩක්‌ වුණේ නෑ. මගේ අයියා විශේෂ කාර්ය බළකා පුහුණු පාසලක කර්නල්වරයෙක්‌ විදිහට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරනවා. අයියා තමයි මේ පන්සල ගැන කියලා අම්මාව එක්‌කගෙන ආවේ. බුලත් නවයක්‌ යහනේ තියලා ස්‌වාමීන් වහන්සේ ඉදිරිපිට සිමෙන්ති පොළොවේ ඈඳි ගත්තා. මොහොතක්‌ යනකොට ස්‌වාමීන් වහන්සේ මගේ අම්මාගේ ඇඟේ තියෙන සියලුම රෝග ස්‌කෑන් කළා වගේ විස්‌තර කළා. අපි පුදුම වෙලා අහගෙන හිටියා. ඒ එක්‌කම පන්සලේ නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් ස්‌වාමීන් වහන්සේ උපදෙස්‌ දුන්නා. ඒ අවස්‌ථාවේ පුදුම සැනසීමක්‌ හිතට දැනුණේ. මෙතැනට එන හැම කෙනෙක්‌ටම වෙදකම් කරන්න භාරගන්නේ නෑ. විශේෂයෙන්ම කරන්ට්‌ අල්ලලා බෙහෙත් විදලා ඔඩු දුවපු පිළිකා ලෙඩ්ඩු නතර කරගන්නවා බොහෝම අඩුයි. මේ හැමදේම වෙලාත් අම්මාව නතර කරගත්තා. බෙහෙත් තුණ්‌ඩුවක්‌ දුන්නා. බොන්න තෙල් වර්ග දෙකක්‌. තව තෙල් වර්ගයක්‌ ගාන්න දුන්නා..."

"ලේ වහනය වන නිසා නිතරම අම්මට ලේ දෙන්න වුණා. හිමොග්ලොබින් අඩු නිසා පීකුදු කන්න කියලා වෛද්‍යවරු කියලා තිබුණා. මේ පින්බිමේ ප්‍රතිකාර ගන්න හැම කෙනෙක්‌ම නිර්මාංශවීම මූලික ප්‍රතිපත්තියක්‌. පීකුදු වැනි විශේෂ මාංශ ආහාරයක්‌ නොලැබුණොත් අම්මගේ හිමොග්ලොබින් තවත් අඩු වෙනවා. පන්සලේ ප්‍රතිපත්තිවලට අනුව පීකුදු කන්නේ කොහොමද කියලා අපි දෙලොවක්‌ අතර අතරමං වුණා. මේ පින්බිමේදී අම්මාගේ ජීවිතය නැති වුණත් කමක්‌ නෑ කියලා කතිකාකරගෙන සියලුම මස්‌ මාංශවලින් වැළකී බෙහෙත් කළා. ස්‌වාමීන්වහන්සේගේ උපදෙස්‌ එලෙසින්ම පිළිපැද්දා. බෙහෙත් කරගෙන යනකොට හිටි ගමන් අම්මට උණක්‌ හැදුණා. ඒ දවස්‌ වෙනකොට ස්‌වාමීන් වහන්සේ විශේෂ පිළිකා සෛල නාසක තෙලක්‌ හිඳිමින් හිටියේ. තෙල හිඳලා ඉවර වෙනකම් උණ සනීප කරගෙන එන්න කියලා ස්‌වාමීන් වහන්සේ අම්මව ගෙදර එව්වා. හැමදාම ළඟින් හිටිය මට අම්මාගේ ලොකු වෙනසක්‌ දැනුණා. මට හිතුණා අම්මාගේ ලේ එකක්‌ පරීක්‍ෂා කරලා බලන්න. කුරුණෑගල පරීක්‍ෂණාගාරයකින් ලේ පරීක්‍ෂාවක්‌ කළා. හරිම පුදුමයි. පන්සලට ඇවිත් සතියයි ගත වුණේ. ලැබුණු ලේ වාර්තාවට අනුව 95000 තිබුණු ප්ලේටට්‌ ප්‍රමාණය 10,10000 දක්‌වා වැඩි වෙලා තිබුණා. 5.5 ක තිබුණ හිමොග්ලොබින් ප්‍රමාණය 7.2 කට ඉහළ ගොස්‌ තිබුණා. මේක පුදුම ආශ්චර්යයක්‌. ඒ වෙනකොට අම්මගේ උණ ගතියත් හොඳටම සුව වෙලා තිබුණා. නැවත මම අම්මා එක්‌ක පන්සලට ඇවිත් නතර වුණා. සතියක්‌ විතර වෙදකම් කරලා අනුරාධපුර පෞද්ගලික රෝහලකින් නැවත ලේ පරීක්‍ෂාවක්‌ කරගත්තා. එම පරීක්‍ෂණයට අනුව ප්ලේටට්‌ 10,20000 ක්‌ හිමොග්ලොබින් 7.60 දක්‌වා ඉහළ ගොස්‌ තිබුණා. අවුරුදු පහක්‌ තිස්‌සේ ලේ වහනය වූ මගේ අම්මාගේ ඒ ලෙඩෙත් මුළුමනින්ම නතර වෙලා තිබුණා. දැන් අම්මා හොඳට කනවා, බොනවා. පන්සල් වත්තේ ඇවිදිනවා. ඇඟ රිදෙනවා කියලා කියන්නෙත් නෑ. මෙතැන දෙන බෙහෙත්වලටත් වඩා නොපෙනෙන ශක්‌තියකින් තමයි ලෙඩ සුව වෙන්නේ. මෙතැන පුදුම තැනක්‌. මැරෙන්න යන මිනිස්‌සුන්ට ජීවිත දානය දෙන පත්තිනි මෑණියන්ට බුදුබව අත් වෙන්න ඕනා. නායක හාමුදුරුවන් නිවන් දකින්න ඕනා. තෑගි බෝග, මිල මුදල් ගන්නේ නැති උන්වහන්සේට පින් දෙනවා හැරෙන්න වෙන කළ හැකි දෙයක්‌ නෑ..." රසිකා දොහොත් මුදුන් තබා චෛත්‍ය වහන්සේ දෙසට වැඳ නමස්‌කාර කළාය. රසිකාට මෙන්ම නන්දා අම්මාට ද සමු දී අපි ඔවුන්ගේ කූඩාරම අසලිsන් ඈත් වීමු.

මේ වන විට ලෝකය පුරා ප්‍රසිද්ධව තිබෙන වාහල්කඩ ඉසිවර අරණේ සත්ක්‍රියාවට මල් වැසි මෙන්ම ගල් වැහි ද අඩුවක්‌ නැත. ගිහි පැවිදි දෙපාර්ශවයම ප්‍රසිද්ධියේ වාහල්කඩ ඉසිවර අරණ විවේචනය කරන අවස්‌ථා තිබේ. බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළපු දේවදත්තලා සිටිය ලෝකයක වාහල්කඩ ඉසිවර අරණට අවලාද, මඩගැසීම් නොමැති වූවොත් පුදුමයකි. හොඳ දේ අගැයීමට මැලි, මිනිසුන්ගේ දියුණුව බලා සතුටු විය නොහැකි ඊර්ෂියා, කුහක අපතයන් ඕනෑම සමාජයක සිටිති. ඒ ඔවුන්ගේ ජන්ම ගතියකි. එහෙයින් අපට ජන්ම ගති වෙනස්‌ කළ නොහැක. මඩ, අවලාද වැස්‌සක්‌ වැස්‌සුවද වාහල්කඩ ඉසිවර අරණට එය මල් වැස්‌සකි. ඒ එම පින්බිමේ අවැඩක්‌ නොව යහපත් දේ සිදු වන බව ඇස්‌පනාපිට පෙනෙන නිසාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.