කොරියාවේ බුදුදහම දුබල කළ හැටි...

මෑතක සිට කොරියාව පිළිබඳව යම් කිසි උනන්දුවක්‌ ලංකාවේ ජනතාව තුළ ඇති වී තිබේ. එයට මූලික හේතුව වී ඇත්තේ කොරියාවේ නව රැකියා සඳහා ලාංකිකයන්ට අවස්‌ථාව ලැබීමයි. මේ නිසා කොරියන් බස ඉගෙනීමට අවශ්‍ය පහසුකම් මෙහිදී ගොඩනැඟෙන්නට විය. එසේම කොරියානු කලාකෘති අතර වන ටෙලි නාටකයන් ලංකාවේ රූපවාහිනී මඟින් ප්‍රචාරය කිරීමත් සමඟම මෙතෙක්‌ වැසී තිබූ ආසියාවේ මහා සභ්‍යත්වයක පැතිකඩක්‌ අප අතර දිග හැරෙන්නට විය. සුජාත දියණිය, අභීත දියණිය යනුවෙන් හඬකවා ලංකාවේ විකාශනය කළ ටෙලි සිත්තම් මෙහි ප්‍රේක්‌ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය විය. එයට එක්‌ හේතුවක්‌ වූයේ කොරියාවේ ජීවන රටාවේ පවතින ආහාර සංස්‌කෘතිය, දේශීය වෛද්‍යක්‍රමය ආදිය ලංකාවේ ජනතාවට බොහෝ සමීප බවක්‌ දැක්‌වීමයි. කොරියානු බසින් පියා හැඳින්වීමට යෙදෙනුයේ අපචි යන වදනයි. එය අපගේ වහරේ අප්පච්චි යනුවෙන් සිටී. එසේම රජු හැඳින්වීමේදී අබාමාමා යනුවෙන් විශේෂණයක්‌ යෙදීම දක්‌නට හැකිය. අපගේ පුරාණ සිංහල සෙල්ලිපි බසේ පරුමක අබය යනුවෙන් වදනක්‌ ඇත. ඒ කාලයේ සිටි ජන ප්‍රධානීන් එසේ හඳුන්වාදී ඇත. අප්පච්චි යනුවෙන් බිඳෙන්නේ සංස්‌කෘත භාෂා අතර යෙදෙන ආර්යපාද ජී යන වචනයෙනි. එය ව්‍යවහාරයේදී අප්පච්චී යනුවෙන් පැමිණ ජන බසට එකතු වී ඇත. විශේෂයෙන් උඩරට ජන වහරේදී මේ වදන් යෙදුම බහුලව දක්‌නට හැකිය. එම වදනේ ආරම්භයට තිබෙන පසුබිම අප සොයාගත යුතුය. මෙම ව්‍යවහාරයන් මෙන්ම බුදුදහම හා සංස්‌කෘතිය පිළිබඳව සලකා බැලීමේදී විවිධ සමානකම් දක්‌නට ලැබෙන බව කිව හැකිය.

බුදුදහම පිළිබඳව කොරියාව දැනුම්වත් වන්නේ සතරවැනි සියවසේ සිටයි. ඒ කාලයේ එහි රාජධානි තුනක්‌ විය. ගොගුරියෝ බේක්‌ජී හා සිල්ලා නමින් තිබූ එම රාජධානි තුළ බුදුදහම ව්‍යාප්ත විය. මුල් කොරියානු රාජධානි තුනෙන් එකක්‌ වූ ගොගොරියාවේ සේසුම් රජු බුදුදහම පිළිගැනීම නිසා එහි බෞද්ධ අගාමික ව්‍යාප්තිය සිදු විය. ඔවුහු ටොන්බුල්ගියෝ නමින් බුදු දහමේ ප්‍රතිසංස්‌කරණයන් ඇති කර ගත්හ. ඇතැම් විට එය ඔවුන්ගේ සංස්‌කෘතික අනන්‍යතාවයන් තුළට බුදු දහම සමීප කර ගැනීමක්‌ විය හැකිය. ක්‍රි. ව. 562 දී පායා නම් භික්‌ෂුවක්‌ තන්ත්‍රයානය හැදෑරීමට විදේශගත විය. මෙයින් පසු ම-Cධිම නිකාය විනය හා නිර්වාණය ඉගැන්වීමට විද්‍යාතන තුනක්‌ ස්‌ථාපිත වූ බව පැවසෙයි. මෛත්‍රී බෝධිසත්ව වන්දනාවෙන් ද පිරිපුන් මෙහි බුදු දහම කොරියානු සංස්‌කෘතියට ඇතුළත් වූ අවස්‌ථාවේ සිට සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ එහි ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසයන් ජනිතවීම නිසා මුල් ආගම් අතර බුදුදහමට විශේෂ තැනක්‌ හිමි වූ බව පෙනේ. ජෝසන් රාජ වංශය ක්‍රි. ව. 1392 දී පිහිටුවන ලද්දේ සීසියෙන් හියු රජතුමා විසිනි. මෙතෙක්‌ රාජධානි තුනක්‌ව පැවති රට සිල්ලා යටතේ එක්‌කර ඔහු නව ආධිපත්‍යයක්‌ පිහිටුවීය. ඔහු පසුව තේජෝන් යන නමින් නම් කෙරිණ. මේ රජු කොරියාවේ විශිෂ්ට රජ කෙනකු ලෙසට හැඳින්වෙයි.

කොරියාව තුළට බුදුදහමේ ව්‍යාප්තිය මෙන්ම සංස්‌කෘතික සබඳතා ද පැමිණෙන්නේ ඉන්දියාව හරහාය. ක්‍රි. ව. හතර වැනි සියවසෙන් පසුව දඹදිව රටින් භික්‌ෂුන් වහන්සේ නමක්‌ මෙහි පැමිණ බුදු දහමේ හරය දේශනා කරන්නට විය. සයවැනි සියවසේදී පමණ යෝමික්‌ නම් කොරියානු භික්‌ෂුවක්‌ ඉන්දියාවට පැමිණ ශාසනික විනය ද සංස්‌කෘතික භාෂාව ද ඉගෙන ආපසු තම මව් රටට පැමිණ එහි ආරාමයන්හි ඒවා උගන්වන්නට කටයුතු යොදා ඇත. හත අට නව වැනි සියවස්‌වලදී කොරියානු බුදු දහම සංවර්ධනීය අදියරක පසුවිය. පළමු කී ලෙසට ජෝසන් රාජ වංශ සමයේදී එය වඩාත් සංවර්ධනය විය. ජෝසන් රාජ වංශය 1392 සිට 1910 අතර කාලයේ පැවතියක්‌ විය. එහි අවසාන කාලයේදී රජ මාලිගයේ කුමන්ත්‍රණ බහුල විය. 1910 න් පසුව ජපන් ආධිපත්‍යයට යටත්වීමෙන් පසු 1911 වසරේදී විහාරස්‌ථාන ආඥා පනත යටතේ කොරියාවේ බුදුදහම වෙනස්‌ විය. එහි ප්‍රතිසංස්‌කරණ යටතේ ජපන් ආභාෂයෙන් වොන් බුද්ධාගමේ ප්‍රතිෂ්ඨාපනයක්‌ වී ඇත. ජපන් රජයේ සෘජු පාලනයට පන්සල් පත්වීමෙන් සාම්ප්‍රදායික කොරියන් බුදුදහම නවීකරණයකට පත්විය. නමුත් 1950 සිට 1953 කාලය දක්‌වා පැවති ඇමෙරිකන් ආක්‍රමණයෙන් පසුව කොරියාව නව වෙනසකට පත් විය. එම තත්ත්වය තුළ බුදු දහමට තිබූ රාජ්‍ය අනුග්‍රහය නැතිවිය. පාක්‌ චුන්හී ජනාධිපතිවරයාගේ යුගයේදී ජපන් ප්‍රොතෙස්‌තන්ත ක්‍රමයට බුදුදහම වෙනස්‌ වීමත් රතු වස්‌ත්‍ර පෙරවීමත්, විවාහ දිවියට පත් භික්‌ෂුන් වහන්සේලා විසින් පූජා කටයුතු කිරීමත් නිසා අර්බුදයට පත්විය. වෙසෙසින්ම දකුණු කොරියාවේ තත්ත්වය එසේ විය.

කොරියාවට කතෝලික මිෂනාරීන් පැමිණෙන්නේ 1880 කාලයේදී ය. එම මිෂනාරි බලපෑම 1945 පසුව ඉතා දැඩි විය. 1980 දී දකුණු කොරියා ජනාධිපතිවරයා චුන් ඩූ හ්වොන් විසින් භික්‌ෂූන් වහන්සේලාට එදිරිව කටයුතු කිරීමට නීතිරීති ඇති කරන ලද්දේ ඔහු මෙතොදිස්‌ත ආගම වැළඳගත් පුද්ගලයකු බැවිනි. කොරියාවේ බොහෝ පන්සල් ආරාම ඔහු විසින් සංචාරක ව්‍යාපාරයට පවරා ගන්නා ලදී. සමහරක්‌ විහාරස්‌ථාන ඉඩම් ජාතික උද්‍යාන බවට පත් කරන ලදී. මේ ආකාරයට දකුණු කොරියාව ලිබරල්කරණයට යටත් වෙද්දී උතුරු කොරියාවේ බුදු දහමට ද රාජ්‍ය අනුග්‍රහයක්‌ නොලැබීමෙන් දුර්වල විය. සියයට අනූ දෙකක්‌ පමණ බෞද්ධ ජනගහනයක්‌ තිබූ කොරියාවේ ඒ තත්ත්වය විශාල විපර්යාසයකට බඳුන් වී ඇත්තේ මිෂනාරි බලපෑම ඉතා දැඩිව රාජ්‍ය තන්ත්‍රය වෙළාගෙන ඇති බැවිනි. දැන් එහි බෞද්ධ ප්‍රතිශතය සියයට විසිතුනක්‌ පමණකි. මේ වන විට ක්‍රිස්‌තියානි සුව කිරීමේ මධ්‍යස්‌ථාන 118900 කට අධික සංඛ්‍යාවක්‌ කොරියාව තුළ පවතී. බෞද්ධයන්ට හා විහාරස්‌ථානයට බදු පැනවීම නිසා මහා සඟරුවන පන්සල් හැරයමින් පවතී. නමුත් කොරියානු බෞද්ධයන් ධෛර්ය සම්පන්න හැඟීමෙන් කටයුතු කර 1990 දී පමණ බෞද්ධ රූපවාහිනී නාළිකාවක්‌ ද සන්නිවේදන ජාලයක්‌ ද ඇති කරගැනීමෙන් බුදු දහමේ දියුණුවට කටයුතු සිදුකර තිබෙන බව ද කිව යුතුය.

කොරියාවේ පවතින ලෙන් විහාර හා ආරාමයන්හි වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණයන් ලංකාවේ ආරාමයන්හි වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණයන්ට එක්‌තරා ආකාරයකින් සමාන කමක්‌ දක්‌වයි. ලංකාවේ ටැම්පිට විහාර සම්ප්‍රදාය වර්ධන වී ඇත්තේ බොහෝ ඈත කාලයක පටන් නමුදු මේ ආභාසයන් ඉන්දු, චීනය, ටිබෙටය, කොරියාව හරහා ලංකාවට පැමිණ වර්ධනය වී දැයි කල්පනාවට වැටේ. අපගේ ටැම්පිට විහාරයන්හි වහලේ පේකඩ යොදන ආකාරය අගුවේ පැන්නුම යොදන ආකාරය වර්ධනය වන්නට ඇත්තේ නිසැකවම කෝට්‌ටේ රාජධානි සමය තුළයි. චීන දූත පිරිස්‌ නෞකා මඟින් නිරන්තරව ලංකාවට පැමිණීමත් කෝට්‌ටේ සයවැනි පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයකු චීනයට ගොස්‌ එහි පෙළපතක්‌ ඇති කිරීමත් යන කරුණු උඩ ඇති වූ අන්තර් සබඳතා නිසා චීනය, කොරියාව හා ලංකාව අතර නිරන්තර අන්තර් සබඳතා වර්ධනය වන්නට ඇති බව පිළිගැන්මට සිදුවේ. කෙසේ වෙතත් ආසියාතික රටවල් දෙකක තිබූ පැරැණි සබඳතා මේ මඟින් ඉස්‌මතු කරගත හැකි වන බව මගේ විශ්වාසයයි.

මතුගම සෙනෙවිරුවන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.