විනාශය අභිමුව... යුදඟනාව ඉතිහාසය තව ටිකක්‌

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු
සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ
සිරිසමන් විඡේතුංග

පුරාණ අපේ ජන උරුමයට අයත් වන ස්‌ථාන විනාශයට පත්වන හෝ පත්කරන සෑම අවස්‌ථාවකදීම "දිවයින" පුවත්පත විසින් විශේෂ අවධානය යොමු කිරීමෙන් ඒවා රැකගැනීමට කටයුතු කිරීම ජාතික මෙහෙවරක්‌ ලෙසින් ඉටුකිරීම අප හැමගේම කෘතඥතාවයට ලක්‌වන කරුණකි. ඒ අනුව "හිසමත කඩා වැටීමට නියමිත ඉතිහාසය හෙවත් "යුදඟනාව" සංරක්‍ෂණය යන මැය යටතේ 2017 ජූලි මස 30 වැනිදා 'ඉරිදා දිවයින' සංග්‍රහයෙහි රුවන් ජයවර්ධන සහ ප්‍රභාත් විතාන යන මහත්වරුන් විසින් ලියන ලද ලිපියෙන් කරන ලද අනාවරණය ඉතාමත් වැදගත් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. එහිදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත්තේ පොළොන්නරුව යුගයේදී මහාපරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද යුදඟනා දාගැබ අසළම ඇති මහනුවර රාජධානි සමයේ ඉදිකරන ලද පිළිමගෙය විනාශ මුඛයට පත්වී ඇති ශෝචනීය තත්ත්වය ගැනය. අප එම කාර්යය ජාතික යුතුකමක්‌ ලෙසින් පෙන්වාදීම ගැන අගය කළ යුතුව ඇත.

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරවන්නේ මෙම යුදඟනාව දාගැබ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පවා විස්‌තර කර ඇති කරුණු ස්‌වල්පයක්‌ කෙරෙහි අවධානය යොමු කිරීමටය.

රුහුණ හා පැරණි රජරට සම්බන්ධ කළ පැරණි මාර්ගයේ ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙසින් ගුත්තහාල හෙවත් ගුත්තල හැඳින්විය හැකිය. මෙකල "බුත්තල" යනුවෙන් හැඳින්වෙන්නේ මේ පුදබිමය. අනුරාධපුරයේ දුටුගැමුණු කුමරුන්ගේ යුද්ධ කටයුතු විස්‌තර කරන අවස්‌ථාවේදී මහාගාමයේ සිට මහියංගණය තෙක්‌වූ නැවතුම් ස්‌ථාන ථූපවංසයේ සඳහන් වේ. මාගම සිට ගුත්තල හෙවත් බුත්තල තෙක්‌වූ මහාමාර්ගයෙහි දුටුගැමුණු රජුගේ ඒකාබද්ධ වූ ඒ මහා යුද සේනාව එක දිගට අඛණ්‌ඩව සිටි බව මහාවංසයේ සඳහන් වෙයි. එමෙන්ම ගල්කණු හැටක්‌ පිරවූ කරත්ත හැටක්‌ ගෙනයාමට තරම් මේ මාර්ගය ශක්‌ති සම්පන්න හා පළල බව සද්ධර්මාලංකාර ග්‍රන්ථයේ සඳහන් වෙයි. මහාගාමයේ සිට මහියංගණය තෙක්‌වූ මහා මාර්ගයේ පිහිටි ගම් හා නගර නාමවලින් පුරාණ නම් දැනට ආරක්‍ෂා වී ඇත්තේ "ගුත්තල" හෙවත් බුත්තල" නාමය පමණි. එකොළොස්‌ වැනි සියවසේදී පොළොන්නරු රජසමයේ මහ විජයබාහු රජුට විරුද්ධව රෝහණය පාලනය කළ ප්‍රදේශාධිපතියකු කැරැල්ලක්‌ ඇති කළේ බුත්තල මධ්‍යස්‌ථානය කරගෙනය. මහ විජයබාහු සහ මහා පරාක්‍රමබාහු යුගවලදී රෝහණ දේශයේ බල මධ්‍යස්‌ථානයක්‌ ලෙසින් බුත්තල පැවතුණි. යුදඟනාව පිහිටියේ ගුත්තල ආසන්නයේය. යුදඟනාව ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දුටුගැමුණු රාජයුගයේ සිට බව ජනප්‍රවාද අනුව පෙනීයයි. යුදඟනාවෙහි අද දක්‌නට ලැබෙන ඉතා වැදගත් ස්‌මාරකය වන්නේ යුදඟනාව දාගැබය. මෙය කොට වෙහෙර නමින් හඳුන්වනු ලබන දාගැබ් විශේෂයට අයත්ය. පේසාවළලු වලට ඉහළින් දාගැබ සාදා නැත. එහි මතුපිටින් කුඩා දාගැබක්‌ නිර්මාණය කර ඇත. මෙවැනි කොට වෙහෙරක්‌ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකටව ඇත. මෙවැනි තවත් දාගැබක්‌ පොළොන්නරුවේ දෙමළ මහාසෑයද ඇත. එය දෙමළ මහාසෑය ලෙසින්ද හැඳින්වේ. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග - පි. 39 දයාවංශ ජයකොඩි සහ සමාගම 2003)

යුදඟනා සෑය (රත්නාවලි දේවිය ආදාහනය කළ ස්‌ථානයේ ඉදිකළා)

යුදඟනාව සෑය ඉදිකර ඇත්තේ සිරිලක එක්‌සේසත් කළ සමෘද්ධිමත් කළ පෙරදිග ධාන්‍යාගාරය නමින් ලංකාව ප්‍රකට කළ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජු විසින් බවත් රජුගේ මෑණියන් වූ "රත්නාවලි දේවිය" ආදාහනය කළ ස්‌ථානයේ බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි.

"රත්නාවලි දේවිය රුහුණේ දී අභාවප්‍රාප්ත වූ බවත් එම දේහය වේරගාම නම් ස්‌ථානයේ ආදාහනය කළ බවත් මහාවංසයේ දෙවැනි කොටසේ සඳහන් වෙයි. වේරගම යනු සිංහලෙන් කිරිගම හෝ ගිරිගම විය හැකි බැවින් දුටුගැමුණු රජුගේ සේනා බුත්තලින් පසු නතර වූ බව ථූපවංසයේ සඳහන් ඉහත කී වේරගම ලෙස සලකා මේ නිගමනයට එළඹ ඇත. බුත්තලට උතුරින් මහා ථූපයක්‌ ලෙසින් දක්‌නට ඇත්තේ "යුදඟනාව" පමණක්‌ නිසා එය මේ ආදාහනය කළ ස්‌ථානය සේ සැළකේ. මෙය සාදා ඇත්තේ පොළොන්නරු යුගයට අයත් ගඩොලු වලිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය විටින් විට සංරක්‍ෂණය කර ඇත. යුදඟනාව යන්නෙහි අරුත සටන්බිමයි. දුටුගැමුණු කුමරුත් ඔහුගේ බාල සොහොයුරු සද්ධාතිස්‌ස කුමරුත් අතර මෙහිදී යුද්ධයක්‌ ඇතිවූයේ යෑයි ජන විශ්වාසයක්‌ පැවතීම නිසා මෙම ස්‌ථානයට මෙසේ නම් විය. මෙය අහේතුක විශ්වාසයක්‌ නොවූවත් ඒ විශ්වාසය අනුව ගොස්‌ මෙහි ඇති දාගැබ සද්ධාතිස්‌ස විසින් පිහිටුවන ලද්දකැයි තර්කානුකූල නොවේ. සද්ධාතිස්‌ස කුමාරයාට පරාජය අත්කරවමින් සොහොයුරන් දෙදෙනා අතර ඇතිවූ සටන සිහිකිරීම සඳහා මෙහි ස්‌ථූපයක්‌ කළ බව මහාවංශය සඳහන් නොකරයි. එපමණක්‌ද නොව දාගැබ බැඳීම සඳහා භාවිත කර ඇති ගඩොල් මුල්කාලීන ගොඩනැඟිලි සඳහා පාවිච්චි කළ ප්‍රමාණයේ ගඩොල් නොවේ.

(පුරාවිද්‍යා පර්යේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි.228-1972)

පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ සැලකිල්ලට භාජනය වූ තවත් වැදගත් ඓතිහාසික ගොඩනැඟිල්ලක්‌ නම් රත්නාවලි ෙච්තියයි. මෙම ෙච්තිය ඉදිකරවන ලද්දේ ඒ රජතුමාගේ (මහා පරාක්‍රමබාහු) මෑණියන් වූ රත්නාවලි දේවිය ආදාහනය කරනු ලැබූ ස්‌ථානයේය. රත්නාවලි දේවිය රුහුණේ කලුරිය කළ බවත් චූලවංසය සඳහන් කරයි. ‚රගාම යන්න සිංහලෙන් කිරිගම හෝ ගිරිගම විය හැකිය. මහගම සිට මහියංගණය බලා ගමන් ගත්a දුටුගැමුණු රජුගේ සේනාව බුත්තලින් පසු කිරිගම වාඩිලූ බව සිංහල ථූපවංසයේ සඳහන් වේ. එබැවින් රත්නාවලි දේවිය ආදාහනය කරනු ලැබූ ස්‌ථානය බුත්තලට උතුරින් යුද හමුදාවකට දවසකින් ගමන් කළ හැකි ස්‌ථානයක්‌ විය යුතුය. මේ අනුව බලන විට ‚රගාමය ලෙස සැලකිය හැක්‌කේ බුත්තලට උතුරින් කෙළින් ගමන් ගතහොත් සැතපුම් දහය හමාරක්‌ පමණ දුරින් පිහිටි ඌව පළාත් මැදගම්පත්තු කෝරළේ බඩල්කුඹුර යෑයි එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් මහතා තීරණය කළේය. කොඩ්රිංටන් මහතාගේ තීරණය හේතු දෙකක්‌ උඩ පිළිගත නොහැකිය. පළමු වැනි හේතුව බඩල්කුඹුර දුර්ග මාර්ගයක පිහිටා තිබීමය. කඳුහෙල් ඔස්‌සේ වැටුණු වෙහෙසකර මාර්ගයක්‌ දුටුගැමුණු රජතුමාගේ සේනා ගමන් කිරීමට තෝරාගත්තේ යෑයි සිතීම උගහටය. හමුදා ගමන් කරන්නට ඇත්තේ කඳු පාමුල තැනිතලාව හරහා විය යුතුය. දෙවැනි හේතුව මීටත් වඩා වැදගත්ය.

බඩල්කුඹුරත් ‚රගමත් එකම ස්‌ථානයක්‌ නම් මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකරවූයේ යයි කියන රියන් 120 ක්‌ විෂ්කම්භය ඇති යෝධ දාගැබ එහි පිහිටා තිබිය යුතුය. එවැනි යෝධ දාගැබක්‌ බඩල්කුඹුරේ නැත. ගරාවැටුණු දාගැබ් යෑයි කොඩ්රිංටන් මහතා සිතූ ගොඩැල්ල ස්‌වභාවික කඳු ගැටයකි. කොඩ්රිංටන් මහතා මෙම ස්‌ථානයට තමාම ගොස්‌ බැලුවේ නැත. ඔහු තීරණය කළේ ඔහු බදුල්ල දිසාපති වශයෙන් සිටියදී තමාට ගම්මුලාදැනියාගෙන් ලැබුණු වාර්තා අනුවය.

බුත්තලට උතුරින් යෝධ ස්‌ථූපයක නටබුන් දක්‌නට ලැබෙන එක්‌ දවසකින් ගමන් කළ හැකි ස්‌ථානය යුදඟනාව පමණි. මෙය මාගම සිට රජරටට වැටී ඇති පුරාණ මාවතේ පිහිටි ස්‌ථානයක්‌ බව එහි වර්තමාන පන්සල් භූමියේ දක්‌නට ලැබෙන නිශ්ශංක මල්ල රජුගේ ශිලාලිපියක්‌ සහිත ගව්ත කණුවෙන් ඔප්පු වෙයි. දාගැබ පොළොන්නරුවේ දෙමළ මහාසෑයත් දැදිගම සූතිඝර ෙච්තියටත් සමාන වූවකි. පේසාවළලු වලට ඉහළින් පිහිටි දාගැබ් බඳ මැදින් නිමවා සමතලා කොට එය මැද කුඩා ස්‌ථූපයක්‌ පිහිටුවා ඇත. එහි පාවිච්චියට ගෙන ඇති ගඩොල් පොළොන්නරු යුගයේ භාවිත වූ ගඩොල්වල ප්‍රමාණයේ ඒවාය. මේ අනුව යුදඟනාවේ දාගැබ මහා පරාක්‍රමබාහු රජතුමා තම මෑණියන් ආදාහනය කළ ස්‌ථානයේ ඇය සිහිවීම පිණිස ඉදිකළ දාගැබ විය හැකිය.

(පුරාවිද්‍යා පර්යේෂණ - මහාචාර්ය සෙනරත් පරණවිතාන පිටු 228-229 (1972)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.