'අමුතු බටනළාව' කියන්නෙ අහම්බයක්‌

මගේ අරමුණ කවි රසවින්දනය ම නෙවෙයි
ඒත් එක්‌කම සමාජය දැනුම්වත් කිරීමයි - කුමාර ලියනගේ

කුමාර ලියනගේ විසින් රචිත සිව්වැනි කාව්‍ය සංග්‍රහය වන 'අමුතු බටනළාව' අගෝස්‌තු 17 වැනිදා සවස 2.30 ට කොළඹ, ලක්‌ෂ්මන් කදීර්ගාමර් ආයතනයේ, 'ද ලයිට්‌ හවුස්‌' හිදී එළිදැක්‌වීමට නියමිතය. එදින ප්‍රධාන දේශනය 'ශ්‍රී ලාංකික ඉතිහාසය පිළිබඳ නව දැක්‌මක්‌' මැයෙන් මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් ද, ආරාධිත දේශනය ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විඡේසිංහ මහතා විසින් ද පැවැත් වේ. 'අමුතු බටනළාව' කෘතිය මුල් දින පිට කවර 5කින් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, එය මෙරට ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ නව අත්දැකීමක්‌ වනු ඇත. කතුවරයා විසින් කෘතියට පිටු 68 කින් සමන්විත දීර්ඝ පෙරවදනක්‌ සපයා තිබේ. ඊට භාෂා සංස්‌කෘතිය, ශ්‍රී ලාංකික උරුමය, පොදුජන කලාව පිළිබඳ නිදර්ශනාත්මක අදහස්‌ මාලාවක්‌ අන්තර්ගත වීම විශේෂත්වයකි. පහත පළවන්නේ කුමාර ලියනගේ සමඟ පවත්වන ලද සාකච්ඡාවකි.

ප්‍ර - කුමාර, මම කැමතියි ඔබ ගේ අලුත් පොතේ තිබෙන දීර්ඝ පෙරවදන ගැන මුලින්ම කතා කරන්න. ඔබ ඇයි කවි පොතකට ඒ විදියේ ලිපියක්‌ ඇතුළත් කරන්න හිතුවේ?

උ.- මම හිතනවා ඒක කාලීන අවශ්‍යතාවක්‌ කියලා. මනෝඡ් අපි කවුරුත් පිළිගන්නවා අද සිංහල භාෂාවේ පිරිහීමක්‌ තිබෙනවා කියලා. මෙන්න මේ පිරිහීම කියන දේ අපි කියන්නෙ කොහොමද? කවර පදනමින් ද? මේක තමයි මම මතු කරන්න උත්සාහ කරපු කාරණය. අද ඉන්නවා කට්‌ටියක්‌ සිංහල සංස්‌කෘතියට ගරහන, පහර දෙන. ඔවුන්ගේ බඩ රස්‌සාව තමයි ඒක. අද මේවාට සල්ලි හම්බ වෙනවා. මේ හයිය නිසා ඔවුන් මතයක්‌ ප්‍රචාරය කරනවා 'භාෂාව වෙනස්‌ වෙනවා, ඒවා එක තැන තියන්න බැහැ' කියලා. 'ඒ නිසා භාෂාව රැක ගන්න කියලා කෑ ගහන එකේ තේරුමක්‌ නෑ' කියලා. අපි කියන්නෙත් ඒක තමයි. හැම දේම වෙනස්‌ වෙන එකේ භාෂාව විතරක්‌ වෙනස්‌ නොවී තියෙන්න බැහැ. හැබැයි භාෂාව වෙනස්‌ වෙනවා කියලා හැමදේම බාර ගන්න අපි ලෑස්‌ති නෑ. දැන් දරුවන් වෙනස්‌ වෙනවා කියලා ඔවුන්ට ඕන විදියට ද අපි හැදෙන්න දෙන්නෙ. ඔවුන් අපි පාසලකට යවන්නෙ ඇයි? දහම් මාර්ගයට යොමු කරන්න උත්සාහ ගන්නෙ ඇයි? ළමයා හොඳ දරුවකු හැටියට හැකි තරම් වෙනස්‌ කර ගන්න. මම කියන්නෙ මේක භාෂාවටත් අදාළයි. භාෂාව නරක්‌ වුණොත්, සීමා වුණොත් ඒක සමස්‌ත සමාජයට ම නරක විදියට බලපානවා. තාම අපට සිංහල භාෂාවේ විනාශය දැනුණේ නැහැ. මොකද තාමත් බොහෝ සිංහලයන් ගේ ජාතික භාෂාව ඉංග්‍රීසි නිසා. මේ අපරාධ රැල්ල අපේ භාෂා සංස්‌කෘතියේ පිරිහීම පෙන්වා දෙන්න පුළුවන් එක ප්‍රබල උදාහරණයක්‌ කියලා මට කියන්න පුළුවන්. භාෂා සංස්‌කෘතියේ පිරිහීම සහ අපරාධ රැල්ල අතර තිබෙන සම්බන්ධතාව අදෘශ්‍යමාන එකක්‌. හැබැයි මේක සසඳලා බලන්න පුළුවන් අපේ රටේ අපරාධ අඩු අතීත කාල වකවානුවල පොදුජන සමාජය කතා කරපු දේවල් විමසලා බලපුවා ම. අන්න ඒක තමයි මම පෙරවදනින් පෙන්වලා දෙන්න උත්සාහ කරන්නෙ.

ප්‍ර - ඔබ පොදුජන කලාව, භාෂාව පිළිබඳව වැඩි කැමැත්තකින් කතා කරනවා. ඇයි ඒ?

උ - පොදුජන භාෂාව කියන එකෙන් මම අදහස්‌ කරන්නෙ අපේ ගැමි සංස්‌කෘතියට අදාළ, බෞද්ධ සම්ප්‍රදායෙන් පෝෂණය වුණු සිංහල බස. අතීතයේ නාගරික සංස්‌කෘතියක්‌ තිබුණා. ඒකට බලපෑවේ සංස්‌කෘත භාෂාව. සකු රීතිය කියන්නෙ අපට ගැලපෙන භාෂාවක්‌ නෙවෙයි. ඒක හැදෑරුවට කමක්‌ නැහැ. නමුත් ඒක අපේ සාහිත්‍යයේ භාෂාව නෙවෙයි. මොකද සංස්‌කෘත භාෂාව ගොඩ නැඟෙන්නේ රණකාමී හින්දු සංස්‌කෘතියෙන්. ඒක හින්දු භක්‌තියකයන්ට අදාළ එකක්‌. දැන් අපට පේනව නේ කතරගම උත්සව කාලයේ හින්දු භක්‌තිකයන් ඔවුන් ගේ දේව භක්‌තිය පළ කරන විදිය. ඔවුන් ඇඟේ කටු ගහගන්නවා. ගිනි පාගනවා. නමුත් බුදුරජාණන් වහන්සේට අපි වඳින පුදන විදිය ඊට වඩා ගොඩක්‌ වෙනස්‌ නේ. මම කියන්නෙ අපට බැහැ හින්දු භක්‌තිවාදයට ගරහන්න. ඒ වගේ ම ඒක අනුගමනය කරන්නත් බැහැ. නමුත් අපේ වරද තමයි පන්සල්වල හින්දු දේවාල පවත්වා ගෙන යැම. මේක බලවත් වරදක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදුදහමට එරෙහිවීමක්‌. නමුත් අපේ ගැමි සංස්‌කෘතියේ දකින්නට ලැබෙන සන්නි නැටුම් වගේ කලාංග. මා දකින්නේ බුද්ධ දේශනාවේ සඳහන් වන සන්නිපාත සංකල්පයේ ම දිගුවක්‌ විදියටයි. සන්නිපාතය කියන්නෙ පොදුජන සමාජය ගොඩ නැඟීම සඳහා බුදුන් වහන්සේ යෝජනා කරපු වැදගත් දේශනාවක්‌. මේ සන්නි නැටුම් කියන්නෙ ශාන්තිකර්මයක්‌. ඒ සඳහා පදනම් කර ගත්තේ බුදුදහමයි. ඔවුන් ඒ ජනකලාව ආරම්භ කළේ 'උතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරණේ' කියලා. ඔවුන් කිසිවිටක කිව්වෙ නැහැ 'දේව සරණේ' කියලා. මේ ගැමියන් තුළ දැවැන්ත පෞරුෂයක්‌ තිබුණා. ඒක ඉතා ශක්‌තිමත් සංස්‌කෘතියක්‌. අපේ රට අදත් ලෝකයේ බැබළෙනවා නම් බැබළෙන්නෙ ගැමි සංස්‌කෘතිය නිසා. අපේ ගැමි නැටුමට ලෝකයේ විශාල ඉල්ලුමක්‌ තිබෙනවා. සංචාරකයන් අපේ රටට එන්නේ ගැමි සංස්‌කෘතිය නිසා. ඒ කියන්නෙ කුඹුරු බලන්න කියන එක නෙවෙයි. අපේ ආගන්තුක සත්කාරය නිසා. මේ උතුම් ගුණාංගය අපට උරුම වුණේ ගැමි සංස්‌කෘතියෙන්. බුදුදහමෙන්. මෙන්න මේ ගැමි සංස්‌කෘතියේ සිංහල භාෂාව කියන්නේ හරිම දියුණු භාෂාවක්‌. මම දියුණුයි කියන්නේ අපේ රටේ මිනිස්‌සුන්ගේ හැඟීම් හරියට ම ප්‍රකාශ වෙන්aනේ ගැමි සිංහලයෙන් වන නිසා. ඒක නවීකරණය වෙන බසක්‌. එක තැන පල්වෙන එකක්‌ නෙවෙයි.

ප්‍ර - ඒ කියන්නේ අද අපි යමින් ඉන්නේ වැරදි පාරක ද?

උ - ඔව්. අපි සහමුලින් වරද්ද ගෙන තියෙන්නෙ. අද අපේ අලුත් පරපුර රටට, සිංහල සංස්‌කෘතියට ගරහනවා. ඔවුන් එක්‌ක කතා කළාම තේරෙනවා ඔවුන් කිසි දෙයක්‌ දන්නෙ නෑ. නිකං ජංගම දුරකථනයි, පරිගණකයයි, තව තාක්‌ෂණික උපකරණ ටිකකුයි ඇඟේ එල්ල ගෙන ඉන්නවා. මොනවද ලෝකෙට දීලා තියෙන්නෙ. අද ඉන්දියාවේ දේශපාලකයෝ බටහිර ගැත්තන් වුණත් ඔවුන්ගේ මහා සංස්‌කෘතිය එහෙම නෑ. හොඳම උදාහරණය තමයි 'ක්‍රිෂ්' විත්‍රපටිය. ඔවුන් 'ක්‍රිෂ්ණා' තමයි ඒකට පාදක කර ගන්නෙ. හැබැයි ඉදිරිපත් කරන්නේ 'ක්‍රිෂ්' කියන වෙළෙඳ නාමයෙන්. ඔවුන් ඉතා සූක්‌ෂ්ම විදියට ඔවුන් ගේ මහා සංස්‌කෘතියේ දේවල් එක්‌ක බටහිර ආක්‍රමණය කරමින් ඉන්නවා. අපි මොනවද කරන්නෙ? අපි තාමත් යන්නෙ සුද්දගේ පස්‌සේ. ඒ අතින් අපි ඉන්නේ වහල් මානසිකත්වයේ. ඉන්දියාව සුද්දා එළවා ගත්තා. අපට බැරි වුණා. බලන්නකො අපේ රටේ තාමත් මේට්‌ලන්ඩ්ලා, ටොරින්ටන්ලා ඉන්නවා. අපි ලැඡ්ජා නැතුව නිදහස්‌ චතුරස්‍රයට, 'ටොරින්ටන් චතුරස්‍රය' කියනවා. ටොරින්ටන් කියන්නේ කවුද?අපේ රටේ ජාතික වීරයන් ඝාතනය කරපු ඝාතකයා. අපි ජාතියක්‌ හැටියට කොතැන ද ඉන්නේ ? අපි තාමත් සුද්දා වගේ ඉන්න කැමතියි. කන්න කැමතයි. කතා කරන්න කැමතියි. සුද්දා සීතල දේශගුණයේ ඉඳගෙන ඉංග්‍රීසි කතා කරන විදිය ඉගෙන ගන්න 'ඉලොකියුෂන්' යනවා. මේ රටේ මිනිස්‌සුන්ට හොඳට කට ඇරලා කතා කරන්න පුළුවන්. සීSතලක්‌ නැහැ. නමුත් අපි මොනවද කරමින් ඉන්නේ. අපට ජාතික පෞරුෂයක්‌ කියලා දෙයක්‌ නැහැ. නිකං පරඩැල් වගේ. ඕන හුළඟකට ගහන් යනවා. මං පෙන්නලා දෙන්න උත්සාහ ගන්නෙ අපට අයිති දේයි. අපට උරුම දේයි. ඒකෙන් තොර ඉදිරි ගමනක්‌ නෑ.

ප්‍ර - ඔබ ගේ දීර්ඝ පෙරවදන වෙනම පොතක්‌ හැටියට පළ කරන්න තිබුණා ...

උ - නෑ. එහෙම කළොත් ඒක වෙනම විකූණන්න වෙනවා. එතකොට මේක අවශ්‍ය අය අතට යන්නේ නෑ. මම මේ පොතේ නිමාව කරලා තියෙන්නේ තරුණ පරපුර ඉලක්‌ක කරගෙන. පොත කවර 5 කින් එළිදක්‌වන්නෙත් ඔවුන් ආකර්ෂණය කර ගන්න. ඒක මගේ දේශපාලනය. මම සෑම පොතකට ම මේ වගේ දීර්ඝ පෙරවදනක්‌ එක්‌ කරලා තිබෙනවා. ඒ නිසා මට නම් වශයෙන් කියන්න පුළුවන් වෙන ම තරුණ කොටසක්‌ හැදිලා ඉන්නවා, මේ අදහස්‌ පිළිගන්න. ඔවුන් අතේ මගේ පොත් සංසරණය වෙනවා. පොත් ඡායාපිටපත් විදියට හුවමාරු කර ගන්නවා. මට මේක හරිම ආස්‌වාදයක්‌. ඔවුන් මට පවසා තිබෙනවා කවියේ පදනම ඔවුන් හදා ගත්තේ මගේ පෙරවදන නිසා කියලා. මම ඔවුන් ගේ නම් කියන්නේ නැහැ. එතකොට ඔවුන් මගේ ගෝලයෝ වගේ වෙන නිසා. මම එහෙම එකක්‌ බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔවුන්ට උපතින් ගෙනාපු ලොකු නිර්මාණ ශක්‌තියක්‌ තිබෙනවා. ඒක මගෙන් පෝෂණය වෙන්න ඇති. එච්චරයි. මමත් සේකර ගෙන්, රත්න ශ්‍රී ගෙන් හොඳට පෝෂණය වුණු කෙනෙක්‌. නමුත් මම ඔවුන් ගේ ගෝලයෙක්‌ නෙවෙයි. ඒක තමයි වෙන්න ඕන. මේ පෙරවදනේ අන්තිම කොටසේ නිදහස්‌ කවි රචනය සම්බන්ධ මා වටහා ගත්ත කලා රීතියක්‌ පෙන්නලා දීලා තිබෙනවා. ඒක මම ලිව්වෙ නිර්මාණශීලී තරුණ පරපුරට යමක්‌ ඉගෙන ගන්න. අපට හොඳ තරුණ පරපුරක්‌ හදා ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු දෙයක්‌ නෙවෙයි. ඒ සඳහා මුලින් අපි හදාරන්න ඕන. හදාරන්නේ නැතුව වදාරන්න බැහැ. මම පෙරවදනින් කරන්නෙ ඒක. ඒ වගේ ම සිංහල සංස්‌කෘතියට ගරහන, අපේ උරුමයට පයින් ගහන, කිසිම හැදෑරීමක්‌ නැති ඔය පශ්චාත් නූතනවාදී කියලා කියා ගන්න, පරණ එක්‌ස්‌ එකට සම්බන්ධ නැති, සංස්‌කෘතික අලුගෝසුවන්ට මම මේ පෙරවදනින් ශාස්‌ත්‍රීය උත්තරයක්‌ දීලා තිබෙනවා. දැන් ඒ අයට පුළුවන් මේකට ඔවුන් ගේ පැත්තෙන් ශාස්‌ත්‍රීය උත්තරයක්‌ දීලා මගේ මතය පරාජය කරන්න. හැබැයි ඒක කවදාවත් කරන්න බැහැ. මම ඒක කරන්න දෙන්නෙත් නෑ. ඔවුන් ගේ ඔලමොට්‌ටල අදහස්‌වලට මුහුණ දෙන එක ඒ තරං කඡ්ජක්‌ නෙවෙයි.

ප්‍ර - එතකොට ඔබ ගේ කවිය හරියට ම ස්‌ථානගත වෙන්නේ කොතැන ද?

උ - හරියට ම මගේ ශාස්‌ත්‍රීය හැදෑරීම මත. අපට පේන දෙයක්‌ තමයි අපේ සාහිත්‍ය නිර්මාණ සමයේ හිටපු සහ ඉන්න දැවැන්ත චරිත කියන්නේ භාෂාව, සංස්‌කෘතිය ඉතා ගැඹුරින් හදාරපු අය. මං උත්සාහ කරන්නේ ඔවුන් අපට උරුම කරලා දීපු සම්ප්‍රදාය මට හැකි පමණ ඉදිරියට ගෙනි යන්න. මට පණ්‌ඩිත් අමරදේව, මඩවල එස්‌. රත්නායක, ධර්මසිරි ගමගේ, බී. වික්‌ටර් පෙරේරා, ඩී.ආර්. පීරිස්‌ වගේ අපේ රටේ හිටපු දැවැන්ත චරිත ඇසුරු කරන්න, ඔවුන් එක්‌ක නිර්මාණ කරන්න වාසනාව ලැබුණා. මම ඔවුන් තුළින් දැක්‌කේ ඔවුන් ගේ නිර්මාණ දහරාව එන්නේ, දැවැන්ත වැසි වනාන්තරයකින් කියන එක. ඒක අපට පේන්නේ නෑ. අන්න ඒ හැදෑරීම නිර්මාණකරුවකුට හරිම අවශ්‍ය දෙයක්‌. මම මගේ පෙරවදනේ ඉන්දියාවේ තෘප්ති දෝෂි කියන ගෘහනිර්මාණ ශිල්පිනිය ගේ 'අභ්‍යන්තර සබුද්ධිකතාව' කියන සංකල්පය ටිකක්‌ ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා. ඇයත් බුදුදහමෙන් පෝෂණය වුණු තැනැත්තියක්‌. ඇය ඒ සංකල්පය ගන්නෙ බුදුදහමෙන්. මම බැලුවේ ඒක අපේ භාෂා සාහිත්‍යයට ගලපලා අලුත් අදහසක්‌ ඉදිරිපත් කරන්න. මම හිතනවා මේ වෙලාවේ එහෙම අලුත් අදහසක්‌ ඉල්ලා සිටිමින් ඉන්නවා කියලා. සමහරවිට මේ පෙරවදන අපේ නිර්මාණ ජීවිතවල හැරවුම් ලක්‌ෂයක්‌ වෙන්න පුළුවන්. වසර 30ක කාව්‍ය රචනා ජීවිතයේ මම ලියපු හොඳම පෙරවදන මේක කියලා කියන්නත් පුළුවන්. මම ලෝකයේ විවිධ සංස්‌කෘතින් ගෙන් අවශ්‍ය දේවල් මේ මතවාදයට මම දායක කර ගත්තා. ඒ වගේ ම පුළුවන් තරම් කෙටි කරලා තමයි ලිව්වෙ. හරිම අමාරුවෙන් තමයි ඒක කළේ.

එතකොට 'අමුතු බටනළාව' කියන්නෙ කවි පොතක්‌ ද? ශාස්‌ත්‍රීය කෘතියක්‌ ද?

උ - කවි පොතක්‌. අපට කවිවල ගැඹුර පිටු ගණනින් මනින්න බැහැ. කවිවල පිටු ගණනට සමාන වන තරමේ පෙරවදනක්‌ මා සපයා තිබෙනවා තමයි. ඒ සියල්ල මා කරන්නේ මගේ කවිවලට පදනම් වුණු ශාස්‌ත්‍රීය පදනම හෙළි කරන්නයි. එතකොට තව අලුත් කෙනෙකුත් මේ මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන්. අපේ වැඩිහිටියන් තුළ තිබෙනවා 'ඇසූ පිරූ තැන් ඇති' කියලා කියමනක්‌. මේක ඉතා ප්‍රබල අදහසක්‌ මතු කරනවා. බහුශ්‍රැත කියන්නේ මේක තමයි. ඉස්‌සර වැඩිහිටියා කියන්නේ බහුශ්‍රැතයෙක්‌. ඔහු ශිෂ්ටාචාරයක්‌ ගොඩ නැඟුවේ දැවැන්ත දැනුමක්‌ අත්පත් කර ගෙන සිටි නිසයි. අදටත් ලාංකික ශිෂ්ටාචාරයට අභියෝග කරන්න බැහැ. අපේ රටේ පොදුජනතාව කොපමණ දැනුමක්‌ අත්පත් කර ගෙන සිටියා ද කියන එක පේනවා සීගිරි ගී වලින්. සීගිරි ගී ලියන්නෙ අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ආවා සාමාන්‍ය ජනතාව. ඔවුන් ගේ නිර්මාණවලින් පේනවා බහුශ්‍රැතකම. අන්න ඒ බහුශ්‍රැත සම්ප්‍රදාය අපේ තරුණ පරපුරටත් උරුම කරලා දෙන්න ඕනෑ. ඒ නිසා පෙරවදන කවියට බාධාවක්‌ නෑ. කවි වෙනම කියවන්න පුළුවන්. ඒ අතරේ මම 'කවිකාර වස්‌තුව' කියලා තව කොටසක්‌ මේ කවි පොතේ අවසාන කොටසට එකතු කරලා තිබෙනවා. ඒකත් කවි රස වින්දනයට අලුත් යමක්‌ එකතු කරයි කියලා මම හිතනවා. 'කවිකාර වස්‌තුව' කියන්නේ මගේ කවිවලට වස්‌තු බීජ වුණු පරිවාර තොරතුරු ටික. දැනුමෙන් පිරිහුණු සමාජයකට යමක්‌ ඉදිරිපත් කරන කොට ඒකට අත්වැලක්‌ දෙන්න වෙනවා. මගේ අරමුණ කවි රසවින්දනය ම නෙවෙයි. ඒත් එක්‌කම සමාජය දැනුම්වත් කිරීම.

ප්‍ර - පොත එළිදැක්‌වීම ගැනත් කතා කරමු.

උ - 'අමුතු බටනළාව' කියන්නෙ අහම්බයක්‌. පසුගිය වසරේ මගේ මව මිය ගියා. ඇය ගේ මිය යැම මා සිතා සිටියාට වඩා සංකීර්ණ එකක්‌ කියලා තේරුණේ ඇය මිය ගිහින් ටික දවසකට පස්‌සෙ. මව මිය යනවා කියන්නෙ සංස්‌කෘතික මූලයෙන් ගැලවෙනවා කියන එක. ඒක දරන්න අපහසු දෙයක්‌. ඒ අතරේ තමයි මම ගෙදර ඉන්න කාලේ ඇය හිමිදිරියේ ළිපට පිඹින සද්දේ නැවත නැවත මට ඇහෙන්න ගත්තෙ. ඒක තමයි 'අමුතු බටනළාව' කියලා මට ලියවුණේ. ඔය අතරේ රන්පත් ආයතනයේ නිරූන් බුද්ධසිරි කියන මගේ මිත්‍රයා මට බල කරමින් හිටියේ කවි පොතක්‌ ලියලා දෙන්න කියලා. ඒක මට හිත හදා ගන්න හොඳ අවස්‌ථාවක්‌ කියලා මට තේරුණා. ඒ නිසා මම ඉඩකඩ තියෙන වෙලාවට මේ පොත ලිව්වා. ඔහු තමයි මේ සියල්ලට බැරපැණ දැරුවේ. අගෝස්‌තු 17 වැනිදා කොළඹ, ලක්‌ෂ්මන් කදීරගාමර් ආයතනයේ 'ද ලයිට්‌ හවුස්‌' ශ්‍රවණාගාරයේදී පොත එළිදැක්‌වෙනවා. එදාට 'ශ්‍රී ලාංකික ඉතිහාසය පිළිබඳ නව දැක්‌මක්‌' කියලා මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ප්‍රධාන දේශනය පවත්වනවා. ඒ වගේ ම ආරාධිත දේශනය ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විඡේසිsංහ පවත්වනවා. ප්‍රධාන අමුත්තා විදියට මා අධ්‍යාපනය හදාරපු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ එවකට අපේ ආදරණීය විදුහල්පතිතුමන් විදියට, අපි ව හදන්න දැවැන්ත වැඩ කොටසක්‌ කරපු බී. සූරියාරච්චි සර්ට ආරාධනා කරලා තිබෙනවා.

කැමති කෙනෙකුට එදාට එන්න කියලා මම විවෘත ආරාධනයක්‌ කරන්න කැමතියි.

සාකච්ඡා කළේ - රුවන් ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.