සුදු මුදලාලිගේ වාහන 5ක්‌
තවමත් අත්වැල්තොට පස්‌ යට...

රුවන් ජයවර්ධන
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත



ගෙවල් දොරවල් නායට හසුව
විනාශ වී ඇති අයුරු.

බදුරලිය අත්වැල්තොට පදිංචි විල්සන් සිල්වා අපට මුණගැසෙන්නේ වෙනත් මාධ්‍ය කටයුත්තක්‌ පිළිබඳව අප එම ප්‍රදේශයේ සංචාරය කරමින් සිsටින අතර වාරයේය. අත්වැල්තොට ශ්‍රී මංගලාරාමය පාමුල ගොඩගැසී ඇති නැවුම් පස්‌ගොඩක්‌ මත ඇවිද යන අතරතුර ඔහු විසින් ප්‍රකාශ කළ විස්‌තරයට ප්‍රස්‌තුතය වූයේ ද අප ඇවිද යමින් සිටි එම පස්‌ ගොඩමය. ඉකුත් මැයි මස 26 වැනිදා අත්වැල්තොට කන්ද නාය යැමත් කඳු බඩවතෙහි ඉදිකොට තිබූ ශ්‍රී මංගලාරාමය හැර දෙපස පිහිටි ගෙවල් දොරවල් සහ මිනිස්‌ ජීවිත 9 ක්‌ පස්‌ යට මිහිදන්ව ගිය ආකාරයත් පිළිබඳ ඔහු සතුව බොහෝ විස්‌තර ඇති බව හැඟී යන්නේ තරමක්‌ දුරට කථාව දික්‌ගැස්‌සෙන අතරවාරයේය. තරමක පෙරැත්ත කිරීමකින් අනතුරුව මැයි 26 දා සිදුවීමත් ඉන් අනතුරුව අනාථයන් බවට පත් වූ තම ගම්වැසියන් පිළිබඳවත් මේ මොහොතේ ඔවුන් ගත කරන "ඇත්ත ජීවිතය" පිළිබඳවත් විස්‌තර පැවසීමට විල්සන් සිල්වා ඉදිරිපත් විය. සිදුවීම පිළිබඳ බොහෝ විස්‌තර ඒ කටහඬෙහි විය.

"දැන් මේව ගැන කතා කරල වැඩක්‌ නෑ මහත්තය. අපි මේ පය ගහල ඉන්න පස්‌ කන්ද යට ගමේ මිනිස්‌සු නම දෙනෙක්‌ වැළලුන. දවස්‌ තුන හතරක්‌ ගියාට පස්‌සේ තමයි මළමිනී ටික හොයා ගත්තෙ. අර..... කන්ද ඇවිල්ල ගෙවල් දොරවල් එක්‌කම ගඟට ගිහින් දැම්ම. දැන් ගඟ ගලන්නේ වෙනද හුරු පුරුදු පාරෙන් නෙමෙයි. මහත්තයලට පේනව ඇතිනේ. මේ පාරෙන් උඩහ තිබුණ ගෙවල් දොරවල් තමයි අර.. ගඟේ තැන් තැන්වල පේන්න තියෙන්නෙ. ඒ දවස්‌ ටිකේ හුඟදෙනෙක්‌ ඇවිත් අපේ දුක බෙදා ගත්ත. කන්න අඳින්න ටික ගෙනත් දුන්න. දැනුත් නේaනව නෙවෙයි. එනව. ඇවිත් නටබුන් නරඹනව වගේ කන්ද දිහාවයි ගඟ දිහාවයි බලල යනව එච්චරයි. ඒත්... මේ පස්‌ කන්ද යට තියෙනව මහත්තයො ආයෙත් කවදාවත් ගොඩගන්න බැරි ඉතිහාසයක්‌."

විල්සන් සිල්වාගේ කටහඬ ගොරහැඩිය. අමිහිරි මතක ස්‌මරණය කිරීම පිණිස හඬ මිහිරි නොවීම බාධාවක්‌ නොවන්නේය. අපත් සමඟ වූ අයෙකුගෙන් දුම්වැටියක්‌ ඉල්ලා ගත් විල්සන් සිල්වා එය දල්වා සිඟරැට්‌ දුමින් පෙනහළු පුරවා ඉනික්‌බිති දුම්රොටු ස්‌වල්පයක්‌ හිස්‌ අවකාශයට මුහුකරනු ලැබුවේ සිත් තැවුල් ඉන් පලවා හරින ආකාරයෙන්ය. වරින්වර ඉහළින් ඇති නාය ගිය කඳු හිස දෙසත් පහළිsන් ගලන කුකුළේ ගඟ දෙසත් දැස්‌ යොමු කරන විල්සන් සිල්වා මෙයින් මාස දෙකකට පෙර උදා වූ අඳුරු මූසල රාත්‍රිය පිළිබඳ මතකය මෙනෙහි කළේය.


නාය යැමට දින දෙකකට පෙර කුකුලේ ග`ග දිස්‌වූ අයුරු
"එදා.... අනෝරා වැස්‌ස. එදා මේ අපි දැන් පය ගහල ඉන්න තැන. ඔව්... හරියටම මෙතැන තිබුණේ මගේ දරුවකුට අයත් තට්‌ටු දෙකේ බිල්ඩිමක්‌. රට ගිහින් දුක්‌ මහන්සියෙන් හම්බ කළ සේසතම ඒකට යට කරල තමයි පුතා ඒ බිල්ඩිම හැදුවෙ. ඊට පොඩ්ඩක්‌ එහායින් තව ගෙයක්‌ තිබුණ ඒ ගෙදර හිටියෙ අම්මයි දුවයි. පාරෙන් එහා පැත්තෙ සුදු මුදලාලිගේ ගේ. ගෙයි මිදුලේ සුදු මුදලාලිට අයත් වාහන පහක්‌ තිබුණ. ඊට ටිකක්‌ එහාට මෙහාට වෙන්න තව ගෙවල් කීපයක්‌. ඊට ටිකක්‌ උඩහට වෙන්න තමයි ගමේ පන්සල තියෙන්නේ..."

"උඩහට වහිනකොට ගඟ මහත් වෙන්න ගන්නව. ඒක අපිට අමුත්තක්‌ නෙවෙයි. එදත් එහෙමයි. හැබැයි රෑ වෙන්න රෑ වෙන්න වෙනදට වැඩිය වේගයෙන් ගඟ මහත්වෙන්න ගත්ත. ඒ හින්ද සමහරු නිදිපොල මාරු කරල ආරක්‍ෂාව ඇති තැන්වලට යන්න ගත්ත. මම හිටියෙ අපේ බිල්ඩින් එකේ උඩ තට්‌ටුවෙ ඔය වෙද්දි මේ පළාතේ බොහොමයක්‌ තැන් ගංවතුරට යටවෙලා. තැන තැන පස්‌ කඳු කඩාවැටිල මට.. වෙනදට නැති අමුත්තක්‌ දැනෙන්න ගත්ත. දැන් වෙලාව රෑ 11.00 ට විතර ඇති ලයිට්‌ නෑ. ගඟට ටෝච් එක ගහල බැලින්නම් වියරුවෙන් වගේ පහළට ගලනව. මට හිතුන මෙතැනින් පිටවෙන එක නුවණට හුරුයි කියල එහෙම හිතල තමයි අනෝරා වැස්‌සෙ පාරට බැහැල ගෙදරට ගොඩවෙන්න පය ඉක්‌මන් කළේ. ඒ වෙද්දි එහා ගෙදර හිටිය අම්මයි දුවයි ටෝච් එළිය අල්ල අල්ල ගඟ දිහා බලනව. ඒ පාර මම ඒ අයටත් කිව්ව "ඔතැන ඉන්න එපා කොහාට හරි යන්න" කියල එහෙම කියල මම යන්න ගියා".


සුන්බුන් පරීක්‍ෂා කරන ගම්වැසියෙක්‌.
එතැන් සිට ගතව ගොස්‌ ඇත්තේ හෝරා දෙක තුනක්‌ වැනි කෙටි කාලයකි. විල්සන් සිල්වා පවසන ආකාරයට එය ද අනෝරා වැසි සහිත හෝරා කීපයකි. අත්වැල්තොට කඳුළුතොටක්‌ බවට පත්වන්නේ එත් සමගිනි. ඒ වනවිට විල්සන් සිල්වා මාරයාගේ ඉසව්වෙන් පිටව ගොස්‌ සිටි අතර ඔහු හීනයෙන් මෙන් අවදි වී ඇත්තේ ගමට ඉහළින් නැඟුන මහ හඬක්‌ විසින් ගම්මුන්ගේ නිදිගත් දැස්‌ අවදි කිරීමත් සමඟිනි.

"පාන්දර 4.45 ට විතර මහහඬත් එක්‌ක අමුතු සද්දයක්‌ ආව. එක පැත්තකින් කළුවර. අනික්‌ පැත්තෙන් ගංවතුර එළියට බහින්න බෑ. ඒත් පුළුපුළුවන් අය මොකක්‌ද වුණේ කියල විපරම් කරල බලද්දී තමයි වෙලා තියෙන වින්නැහිය ගැන දැනගත්තෙ."

වටින් ගොඩින් එළිය වැටීමත් සමඟ සිදුව ඇති විනාශයේ තරම ගම්මුන්ට වැටහී යන අතර අවට දකින්නට ලැබී ඇත්තේ යකා නැටූ පිට්‌ටනියක ස්‌වරූපයක්‌ ය. එවෙලෙහිද අත්වැල්තොට කන්දේ සිට උකු දුඹුරු බොර වතුර කඳක්‌ පහළට ගලමින් සිදුව ඇති විනාශයේ තරම "මේ යෑයි" පෙන්වමින් තිබූ අතර පහළට රූටා ආ කන්ද විසින් කුකුළේ ගඟ හරස්‌කොට ගඟ මැද යෝධ පස්‌කන්ද මවා ඇත. එය විල්සන් සිල්වාගේ වචනයෙන් පවසතොත් මේ ආකාරයෙන්ය.

නාය යැමෙන් හානියට පත් නොවූ අත්වැල්තොට ශ්‍රී මංගලාරාමය ඈතට දිස්‌වන අයුරු.
"එතකොට වෙන්න ඕන හැම දෙයක්‌ම වෙලා ඉවරයි. අහල පහල තිබුණ එක ගෙයක්‌වත් පේන්න නෑ. මම හිටපු බිල්ඩිම තට්‌ටු දෙකක්‌ අඩුම තරමින් ඒකට වුණේ මොකක්‌ද කියලවත් පේන්න තිබුණේ නෑ. අර අම්මයි දුවයි හිටපු ගේ... ඒක කොහෙද කියලවත් නෑ. සුදු මුදලාලිගෙ ගේයි මිදුලෙ තිබුණ වාහන පහයි හොරු ගෙනිහිල්aලා වගේ තිබුණ තැනක්‌ වත් නෑ. ගඟට ගලන්න තැනක්‌ නෑ. හිතු හිතූ අතේ යනව. පාරක්‌ තොටක්‌ නෑ. මුළු පළාතම පස්‌ කන්දකට යටවෙලා. හැබැයි එක දෙයක්‌ ඉතුරු කරල තමයි සොභා දහම අපෙන් පළිගත්තේ. ඒ තමයි මහත්තයො ගමේ පන්සල දෙපැත්තම යකා කට ඇරිය වගේ නාය ගිහින් තිබුණත් පන්සලට වැලි කැටයක තරම්වත් හානියක්‌ වුණේ නැහැ. ලොකු හාමුදුරුවොයි පන්සලයි අපිට ඉතිරි කරල තමයි අනිත් හැමදේම අපෙන් උදුර ගත්තේ...." අපෙන් එහෙමත් නැත්නම් මේ ගමෙන් උදුර ගත්ත හැම දෙයක්‌ම මේ පස්‌ කන්ද යට තියෙනව."

ඔහු පවසන දෙය සැබෑවක්‌ ය. පෙනෙන තෙක්‌ මානයේ දකින්නට ලැබෙන්නේ අලුත ඉදිවූ කන්දක ආකාරයේ උස්‌ පස්‌ තට්‌ටුවක්‌ ය. මින් මාස දෙකකට පෙර ඒ යට සැඟව ගිය මිනිස්‌ ජීවිත නවයක්‌ දින කීපයක ඇවෑමෙන් සහන සේවා කණ්‌ඩායම් විසින් මහත් අසීරුවෙන් සොයා ගන්නා අතර ඉතිරි වූ අනෙකුත් සියලු දෑ තවමත් පස්‌ යටය. නවීන පන්නයේ වාහන පහක්‌ ගෙවල් දොරවල් රාශියක්‌ එම පස්‌ තට්‌ටුව යට තවමත් සැඟව ඇති බව විශ්වාස කළ නොහැකි පුවතක්‌ සේ හැඟී ගියද එය සත්‍යයක්‌ ය..

අප එම දසුන දෑසින් දකින මොහොත වනවිට කුකුළේ ගඟ කිසිවක්‌ සිදු නොවූ ලෙස පහළට ගලමින් තිබූ අතර අතරින් පතර ගඟ පතුල විසින් සඟවා ගත් නිවාසවල සුන්බුන් දැකගත හැකි විය. පසෙකින් නාය යැමට හසු වූ කඳු හිස පහළ වූ මිනිසුන්ට වූ විපත දෙස විස්‌සෝපයෙන් බලා සිටිනවා වැනිය.

පහළින් ගලන ගඟෙහි වූ සුන්බුන් අතර නාඳුනන ගැමියකු කුමක්‌ හෝ සොයනු දැකීමෙන් උපන් කුතුහලයෙන් යුක්‌තව ඔහු කුමක්‌ සොයනවා දැයි මා විසින් විල්සන් සිල්වාගෙන් අසන ලද පැනයටද ඔහු තුළ පිළිතුරක්‌ විය.

"මියගිය අයගෙ ඥතීන් සැරින් සැරේ ගඟට එනව. ඇවිත් මොනවා හරි දෙයක්‌ මතුවෙලා තියෙනවද කියල විපරම් කරනව. මැරිච්ච කෙනෙක්‌ව සිහිවෙන්නවත් කිසි දෙයක්‌ ඉතුරු කරල නෙවෙයිනේ පස්‌ කන්ද හැම දෙයක්‌ම වහගත්තෙ.

ඒ හින්ද අඩුම තරමින් ගෙයක්‌ ඇතුළෙ තිබුණ පිඟන් කටු කෑල්ලක්‌ හරි මතු වුණොත් ඒකත් ගමේ මිනිස්‌සුන්ට වටිනව. අර.... පේනවනේ කොන්ක්‍රීට්‌ තට්‌ටු පිටින් ගැලවිල අඩි සීය දෙසීය විතර දුරකට තල්ලුවෙලා ගිහින් තියෙන ආකාරය.

තැන තැන දකින්නට ලැබෙන කොන්ක්‍රීට්‌ කඳන් වහලවල කොටස්‌ දෙස අත දික්‌ කරමින් විල්සන් සිල්වා විසින් එසේ පවසන්නට වූ අතර සිදුව ඇති විනාශයේ තරම ඉන් තේරුම් ගත හැකිය.

අත්වැල්තොට ශ්‍රී මංගලාරාමය අවට සිටි පවුල් පනහක්‌ පමණ අනාථයන් බවට පත් කරමින් සහ තවත් කීපදෙනකුගේ ජීවිත අහිමි කරමින් සිදුවූ විනාශයට අප එහි යනවිට මාස දෙකක්‌ ඉක්‌ම ගොසින් ය. තවත් මසකින් උදාවන මියගිය අයට පිං පැමිණවීමේ තෙමන් පූර්ණ පිංකම පිණිස ශ්‍රී මංගලාරාමයත් එහි වෙසෙන භික්‍ෂූන් වහන්සේ වෙතත් තවමත් ගම්වැසියන්ට ඉන්න හිටින්නට තැනක්‌ නොමැත. රජය විසින් ලබා දෙන රුපියල් 7500/- ක ආධාර මුදලින් පමණක්‌ ඔවුන්ට සෑහීමකට පත්වීමට සිදුව ඇත. මේ වනවිටත් පවුල් පනහක්‌ පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇතත් ඔවුන්ට නිසි රැකවරණයක්‌ හිසට සෙවනක්‌ අහිමිය. එබැවින් හදාගත් ගේ දොර තමන් හිසමත කඩා වැටුණත් ඔවුන් පවසා සිටින්නේ තවදුරටත් තමන්ට "අනාථයන්" ලෙස දිවි ගෙවීමට නොහැකි බවත්ය.

මෙය ලියන මොහොත වනවිට ගංවතුරින් හා නාය යැමෙන් විපතට පත් අත්වැල්තොට ප්‍රදේශයේ ගම්වැසියන් ඇත්තේ ජීවත් වීම පිළිබඳ ගැටලුවක නොව ජීවත් වීමට සුදුසු වටපිටාවක්‌ තවමත් උදා නොවීම පිළිබඳ ගැටලුවකය. එය අත්වැල්තොටට පමණක්‌ සීමාවූවක්‌ නොව එම විපතට ගොදුරු වූ රටේ බොහෝ ප්‍රදේශවල මිනිසුන් සාමුහිකව මුහුණපා ඇති ගැටලුවක්‌ වී ඇත. එබැවින් ඔවුන් වෙනුවෙන් සෑහීමකට පත් විය හැකි විසඳුම් සපයාදීම මතු විපත්වලින් ඔවුන් ආරක්‍ෂා කිරීමක්‌ බව වැටහී යන්නේ අප එම ඉසව්වෙන් නික්‌ම යැමට මොහොතකට පෙර විල්සන් සිල්වා විසින් ප්‍රකාශ කළ තවත් කරුණක්‌ හේතුවෙන් ය. අවසාන වශයෙන් නාය ගොස්‌ ඇති කන්දේ තවත් කොටසක්‌ වෙත අත දිගු කරමින් විල්සන් සිල්වා කියා සිටියේ "අර පැත්තත් නාය යනව කියල කන්ද පරීක්‍ෂා කරපු මහත්වරු කියල තියෙනව. කන්ද පාමුල ගෙවල් හැට හැත්තෑවක්‌ තියෙනව. ඒත් ඒ මිනිස්‌සු හදාගත්ත ගෙවල් දොරවල් දාල කොහේ යන්නද මහත්තයා" අපි දැන් මරණයත් එක්‌ක ජීවත් වෙන මිනිස්‌සු".




 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.