ශ්‍රි ලංකා මහජන පක්‌ෂයේ
141ක්‌ ජවිපෙන් මරා දැමූ හැටි



ඝාතනයට ලක්‌වූ විජයගේ දේහය අසල වැළපෙන බිරිඳ චන්ද්‍රිකා. (දේහයේ මුහුණ ඇතුළු උඩ කොටස වෙඩි තැබීමෙන් ලද තුවාල නිසා වසාදමා තිබිණි).
සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර 7 කට තහනම් කිරීමට යෝජනාවක්‌ එජාප ආණ්‌ඩුව මගින් 1980 ඔක්‌තෝබර් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ (ශ්‍රිලනිප) දෙදරීමක්‌ ඇතිවිණි. ඒ ඇය නියෝජනය කළ අත්තනගල්ල ආසනයට චිට්‌ මන්ත්‍රීවරයකු නම් කළ හැකිවීම ආරම්භ කිරීමත් සමඟය. එම පුරප්පාඩුව සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග පත්කළ යුතු බව කීව ද ඒ සඳහා සුදුස්‌සකු ලෙස නුවරඑළියේ බහු මන්ත්‍රී ආසනයේ දෙවැනි මන්ත්‍රී වශයෙන් ඡන්දයෙන් පත්වූ අනුර බණ්‌ඩාරනායකද ඉදිරිපත් විය. අවසානයේ මෙම දේශපාලනයේ සහ පවුලේ අර්බුදය සමථයකට පත්කිරීම සඳහා අවසානයේ අත්තනගල්ලේ චිට්‌ මන්ත්‍රීවරයා වූයේ ලක්‌ෂ්මන් ජයකොඩිය.

පසුව ප්‍රජා අයිතිය අහිමිවූ සිරිමා බණ්‌ඩාරනායක දේශපාලන පක්‌ෂයක සභාපති ධුරය දැරීම නීති විරෝධී යෑයි සැලකිය හැකි බවට නීති තර්කයක්‌ ඉදිරිපත් කර සභාපතිත්වයට එරෙහිව අනුර බණ්‌ඩාරනායක ද කැරලිs ගැසීය. පක්‌ෂය දෙකඩ විය. පක්‌ෂ ගොඩනැඟිල්ල ද, නාමය ද, පක්‌ෂ ලාංඡනය ද එජාප ආණ්‌ඩුවේ නිල නොවන ආධාරයෙන් උරුම කරගත් ශ්‍රීලනිප කණ්‌ඩායම සහ අනෙක්‌ කණ්‌ඩායම අධිකරණයේ ද සහාය පැතීය. එජාප ආණ්‌ඩුව 1984 ට නියමිත වූ ජනාධිපතිවරණය 1982 ඔක්‌තෝබර් 21 පැවැත්වීමට තීරණය කළේය. ඒ සඳහා ශ්‍රීලනිපයේ නිල අපේක්‌ෂකයා වශයෙන් හෙක්‌ටර් කොබ්බැකඩුවට ඉදිරිපත් වීමට අවස්‌ථාව ලැබිණි. රෝහණ

විඡේවීරද ඉදිරිපත්ව තෙවැන්නාවූ එම ජනාධිපතිවරණයේ ජය හිමි වූයේ එජාපයේ ඡේ.ආර්. ජයවර්ධනටය. නැක්‌සලයිට්‌ කුමන්ත්‍රණයක්‌ ද මවාපා විජය කුමාරතුංග ඇතුළු ශ්‍රීලනිප ක්‍රියාකාරිකයන් රැසක්‌ නැක්‌සලයිට්‌ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. පාර්ලිමේන්තුවේ නිල කාලය 1983 ජුලි මාසයේ අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා නිල කාලය වසර 6 කින් දීර්ඝ කර ගැනීම සඳහා මහ ඡන්දයක්‌ නොව 1982 දෙසැම්බර් 22 ජාතික ජනමත විචාරණයක්‌ පැවැත්වූහ. වංචා සහ දූෂණ වලින් ගහණවූ ජනමත විචාරණයෙන් එජාපය ජය ගත්තේය. පරාජයට පත්වූ ආසන 15 ක්‌ සඳහා අතුරු මැතිවරණ පවත්වන ලදී.

ශ්‍රීලනිප නායකත්වයේ අගතිගාමිත්වය කෙරෙහි කලකිරුණු ප්‍රගතිශීලී මධ්‍යම කාරක සභිකයන් ඇතුළු ඉදිරි පෙළ සිටි බොහෝමයක්‌ තරුණ ක්‍රියාකාරිකයන් ප්‍රගතිශීලී දේශපාලන ගමන යථාපරිදි යැම සඳහා නව පක්‌ෂයක්‌ ආරම්භ කිරීමට පසුබිම සහ සංවිධානය සකස්‌ කර දුන්නේය. ශ්‍රී ලංකා මහජන පක්‌ෂය නමින් නව පක්‌ෂයක්‌ 1984 ජනවාරි 22 දා කොළඹ නව නගර ශාලාවේදී නිල වශයෙන් ඇරඹුණේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. එදිනම පස්‌වරුවේ දහස්‌ ගණනකගේ සහභාගිත්වයෙන් සුගතදාස ක්‍රීඩා භූමියේදී උත්සවාකාරයෙන් මංගල සමුළුව ද පැවැත්විණි. ටී.බී. ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, ආචාර්ය ප්‍රේමදාස උඩගම, පෝටස්‌ තිසේරා, නීතිඥ වී.ඩබ්ලිව්. කුලරත්න, පී. කුමාරසූරියර්, චම්ලි ගුණවර්ධන, වයි.පී. ද සිල්වා, ඔසී අබේගුණසේකර, දේවබණ්‌ඩාර සේනාරත්න, ප්‍රේමසිරි පෙරේරා, වයි. ඒ. ඉසෙත් ඇතුළු 17 දෙනකු එහි සමාරම්භක දේශපාලන මණ්‌ඩල සභිකයන් විය. මහජන පක්‌ෂ ගීතයේ තේමාව ටී.බී. ඉලංගරත්නගේ වූ අතර සංගීතය එච්.එම්. ජයවර්ධනගෙනි. නීරෝලාගෙන් සහ ක්‌ලියෝපැට්‌රාලාගෙන් දෙන ලද බොරු පොරොන්දුවලට රැවටුණු අයට දැන් තමන්ගේ නඩුව කීමට අපක්‌ෂපාතී අධිකරණයක්‌ ඇතැයි එහිදී විජය කියා සිටියේය.

ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ වගකීම වූයේ එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රීලනිප නව නායකත්වය ඇතුළු ප්‍රතිගාමිත්වයට එරෙහිව 1951 සැප්තැම්බර් 2 වැනිදා පිහිටුවූ සැබෑ ශ්‍රීලනිප මෙන් ප්‍රගතිශීලී දේශපාලන පක්‌ෂවලට සහ බලවේගයන්ට පොදු වේදිකාවක්‌ ඉදිකර සමානාත්මතා සමාජයක්‌ ගොඩනැංවීමේ මාර්ගය ක්‍රමවත් කිරීමය. මහජන පක්‌ෂය මාක්‌ස්‌වාදී පක්‌ෂයක්‌ නොවූවද එය කාලයට සහ තාලයට දේශපාලන සහ ආර්ථික තත්ත්වයට ගැලපෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක්‌ ඉදිරිපත් කළේය. මහජන පක්‌ෂයට ආරම්භයේ සිට වමේ පක්‌ෂවලින් සතුටුදායක ප්‍රතිචාරයක්‌ ලැබිණි. එයට ගම් නියම්ගම් කරා ජනතා ප්‍රසාදය ඉහළින්ම ලැබුණු අතර නවකයන්ගේ අභිනන්දනයට හේතු විය. එය බොහෝ කල පුද්ගල අභිවාදනයක්‌ ලෙස ඇතැමුන්ට දිස්‌විය. සටන කොතැනද එතැන මහජන පක්‌ෂය සටන් කළ යුතුයි යන්න තරමට එහි ඇතැම් නායකයන් වේගවත් විය.


ඝාතනය කළ පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමිගේ දේහය 1988 දෙසැම්බර් 21වැනිදා කළුතර නගර ශාලාවේදී තැන්පත් කර තිබියදී.(ඒ අසළ සිටිනේනේ බේරුවල සෝභිත සහ කළුතර පියරතන හිමියන්ය.) රත්තොට එස්‌.බී. යාලේගම (පහළ) 1988 මැයි 28 වැනිදා සිය කාර්යාලයේදී වෙඩිතබා ඝාතනයට ලක්‌වී සුළු මොහොතකින් පසුව.
මහජන පක්‌ෂය විනය, සාමූහික වගකීම සහ පන්නරය අතින් ළදරු වියේ සිටිය ද ආණ්‌ඩුවේ පළමු අතුරු මැතිවරණ දෙකවූ මින්නේරිය සහ කුණ්‌ඩසාලයට තරග කිරීමට තීරණය කළේය. විජය කුමාරතුංග තරග කළ මින්නේරියේදී ශ්‍රීලනිප තෙවැනි තැනට ඇද දමමින් එජාපය විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජය ගත්තේය. කුණ්‌ඩසාලේදී මහජන පක්‌ෂයේ අපේක්‌ෂකයා වූ මහින්ද සේනානායක තෙවැනි ස්‌ථානයට පත්වී ඇප ද රාජසන්තක විය. විජයගේ පරාජය මින්නේරියේදී සිදුවීමත් සමඟම මහජන පක්‌ෂය පිරිහීම ආරම්භ වූ අතර ප්‍රගතිශීලී ව්‍යාපාරය ද සෑහෙන පසුබැස්‌මකට ලක්‌විය. පක්‌ෂ සභාපති ටී.බී ඉලංගරත්න 1986 ජුනි 16 වැනිදා ඉවත් වූ අතර අනතුරුව ආචාර්ය ප්‍රේමදාස උඩගම, නීතිඥ වී. ඩබ්ලිව්. කුලරත්න ඇතුළු පිරිසක්‌ ක්‍රම ක්‍රමයෙන් ඉන් ඉවත් විය. අනතුරුව විජයගේ පුද්ගල අභිවාදනය මහජන පක්‌ෂය තුළ රජවිය. පසු කලෙක මහජන පක්‌ෂයේ සටන් පාඨ වූයේ වර්ගවාදය සහ පැසිස්‌ට්‌වාදය සුන්කරමු යන්නය. අගමැතිවරුන් දෙපළක්‌ වූ බණ්‌ඩාරනායකගේ කනිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ වූ විජය ඝාතනය වන විට දෙදරු පියෙකි.

ජවිපෙ ප්‍රහාරයන් ප්‍රථම වරට මහජන පක්‌ෂයට එල්ල වූයේ 1986 දී විජය යාපනයට සහ ඉන්දියාවට දෙවරක්‌ම ගොස්‌ දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ සාකච්ඡා කිරීමත් සමඟය. මහජන පක්‌ෂයේ මෙහෙයවීමෙන් පානදුරේදී 1986 අගෝස්‌තු 24 පැවති රැස්‌වීමටද, ගල්කිස්‌සේ සහ මීගමුවේ එම වසරේම පැවැත්වූ රැස්‌වීම්වලටද ජවිපෙ මගින් බෝම්බ ප්‍රහාරයන් එල්ල කරන ලදී. මේවාට මුහුණදීම සඳහා මහජන පක්‌ෂයේ සාමාජිකයන් සහ හිතවතුන් 31 වව්නියාවේ ප්ලොට්‌ කඳවුරුවලදී ඉන්දීය මැදිහත් වීමෙන් පුහුණුව ලබාදෙන ලදී. ප්ලොට්‌ සාමාජිකයන් වූ 'ගාමිණී' ඇතුළු සන්නද්ධ භටයින් 20 ක පමණ සංඛ්‍යාවක්‌ මහජන පක්‌ෂයේ නායකයන්ගේ ආරක්‌ෂාව සඳහා පසුව අනුයුක්‌ත කරන ලදී. ජවිපෙ වෙඩි තැබීමෙන් විජය 1988 පෙබරවාරි 16 වැනිදා ඝාතනයට පත්වූ අතර අවමඟුල 1988 පෙබරවාරි 21වැනිදා පැවැත්විණි. විජය කුමාරතුංග පැවසූ පරිදි ඔහු නියෝජනය කළේ පැරණි සහ නව වමට වඩා වෙනස්‌ වූද වර්ගවාදයට සහ වාම අන්තවාදයට ප්‍රතිවිරුද්ධ වූද වමේ විකල්පයෙකි. පක්‌ෂයේ සභාපතිනිව සිටි චන්ද්‍රිකා පසුව නායකත්වයට පත්විය.

මහජන පක්‌ෂයේ නායක විජය කුමාරතුංග ඝාතනය වීමත් සමඟම ජනතා විමුක්‌ති පෙරමුණ විනාශ කිරීම සඳහා මහජන පක්‌ෂය ඇතුළු ඇතැම් වාමාංශික පක්‌ෂ සහ කණ්‌ඩායම්වලට අවශ්‍ය විය. ප්‍රා සංවිධානය බිහි වූයේ ඒ අනුවය. එජාප ආණ්‌ඩුව මගින් ඒකේ 47 තුවක්‌කු, ටී 56 තුවක්‌කු, රිවෝල්වර 38, මූනිස්‌සම් තොගයක්‌, අත්බෝම්බ 1988 මාර්තු 25 වැනිදා ශ්‍රී ලංකා මහජන පක්‌ෂයට භාර දුන් අතර ඒ ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහ විසිනි. මෙම ආයුධ වලින් කොටසක්‌ පක්‌ෂයේ නායකයන් සහ ක්‍රියාකාරිකයන්ගේ ආරක්‌ෂාව සඳහා ද ප්‍රා. සංවිධානය ශක්‌තිමත් කිරීම සඳහා ද යොමු විය. රටපුරා ආරක්‌ෂක කඳවුරු 7 ක පමණ මහජන පක්‌ෂයේ ක්‍රියාකාරීහු එම කාලයේදී රැකවරණය පැතූහ. සෑම පළාත් සභා මන්ත්‍රීවරයකුටම රජය මගින් ලබාදුන් රිවෝල්වරයක්‌ සහ රීපීටර තුවක්‌කු ගත් ආරක්‌ෂකයන් තිදෙනෙකුද විය.

එජාප ආණ්‌ඩුව මගින් පළාත් සභා ඡන්දය පැවැත්වූයේ අවස්‌ථා 4 කදීය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28 වැනිදා ද මධ්‍යම සහ බස්‌නාහිර පළාත් සභා ඡන්ද 1988 ජුනි 02 වැනිදා ද, දකුණු පළාතේ ඡන්දය 1988 ජුනි 09 වැනිදා ද, නැගෙනහිර පළාතේ ඡන්දය 1988 නොවැම්බර් 19 වැනිදා ද පැවැත්විණි. එම පළාත් සභා ඡන්දයේදී ආණ්‌ඩු බලය හිමි එජාපය සමඟ තරග කළේ එක්‌සත් සමාජවාදී පෙරමුණ (කොප, සමසමාජ, නසසප සහ ශ්‍රී ලංකා මහජන පක්‌ෂය), ඊ. පී. ආර්. එල්. එෆ්. සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පමණි. ශ්‍රීලනිප, මහජන එක්‌සත් පෙරමුණ, රුක්‌මන් සේනානායකගේ එක්‌සත් ලංකා ජනතා පක්‌ෂය පළාත් සභාවට විරෝධය පළ කරමින් එය වර්ජනය කළහ. ඉන්දු ලංකා ගිවිසුමට පක්‌ෂව බිහිකළ එක්‌සත් සමාජවාදී පෙරමුණ යටතේ මහජන පක්‌ෂයට මෙම පළාත්සභා මැතිවරණවලට තරග කිරීමට අනුග්‍රහයක්‌ වශයෙන් ඉන්දීය රෝ සංවිධානයෙන් රුපියල් ලක්‌ෂ 400 ක්‌ද මුස්‌ලිම් කොංග්‍රසයට රුපියල් ලක්‌ෂ 200 ද සෙසු වමේ පක්‌ෂවලට ලක්‌ෂ 50 බැගින්ද ලබාදී තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුමට පක්‌ෂව පළාත් සභා මැතිවරණවලට තරග කිරීමට මහජන පක්‌ෂය තීරණය කළේ 1988 මාර්තු 6 වැනිදා චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් රොස්‌මිඩ් පෙදෙසේ පැවති පක්‌ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්තෙනි. පළාත් සභා මැතිවරණය වට 4 කින් පැවති අතර ප්‍රථම වටය 1988 අප්‍රේල් 28 වැනිදා නිමවීමට ප්‍රථම පක්‌ෂ නායිකා චන්ද්‍රිකා කුමාරතුංග දරු දෙදෙනා සමගින් ආරක්‌ෂාව සඳහා බ්‍රිතාන්‍යය බලා සංක්‍රමණය විය. පළාත් සභාවට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ අපේක්‌ෂකයන් 83 දෙනකු පළාත් සභා මන්ත්‍රීවරුන් වශයෙන් 1988 ජුනි 10 වැනිදා වන විට පත්වී සිටියහ. එම පළාත් සභා තරගයේදී මහජන පක්‌ෂය, කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, නව සමසමාජ පක්‌ෂය ද ඇතුළත්වූ එක්‌සත් සමාජවාදී පෙරමුණට පළාත් සභා මන්ත්‍රීවරුන් 139 ක්‌ හිමිවූ අතර ඉන් තනි පක්‌ෂයක්‌ ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන් සියයට 60 ක්‌ හිමි වූයේ මහජන පක්‌ෂයටය.


ජනාධිපතිවරණ අපේක්‌ෂක ඔසී රැස්‌වීමක්‌ අමතමින්.
මහ මැතිවරණය 1989 පෙබරවාරි 15 තිබූ අතර ඉන් එක්‌සත් සමාජවාදී පෙරමුණ (එසපෙ) ආසන 3 ක්‌ ජයග්‍රහණය කළේය. ඒ රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් නසසප වාසුදේව නානායක්‌කාර සහ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයෙන් සමසමාජයේ අතාවුද සෙනෙවිරත්නය. ජාතික ලැයිස්‌තුවෙන්ද ඔවුනට එක්‌ ආසනයක්‌ හිමිවිය. ජාතික ලැයිස්‌තු මන්ත්‍රී තනතුර වැඩිම මනාප ලබාගත් ඔසී අබේගුණසේකරට ලබාදෙන ලෙස මහජන පක්‌ෂය කළ ඉල්ලීමත් සමඟම එයට විකල්පයක්‌ ලෙස සාමාජික පක්‌ෂ බහුතරය යෝජනා කළේ ලසසප ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. ආචාර්ය කොල්වින් එයට නම් කරනු ලැබුවද රෝගීව සිටි ඔහු අභාවප්‍රාප්ත වීමෙන් හිස්‌වූ පුරප්පාඩුවට වසරක්‌ යන තෙක්‌ මත ගැටුමක්‌ හේතුවෙන් කිසිවකු පත් කිරීමට නොහැකි විය. පසුව එසපෙ ලේකම් රාජා කොල්ලුරේ එම ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයට පත්කර ගැනීමත් සමඟම එසපෙ පක්‌ෂ අතර දීගය ද අවසන් විය.

මහජන පක්‌ෂයේ සෙසු ජනප්‍රිය නායකයන් අතර බොරැල්ලේ වෛද්‍ය රාජිත සේනාරත්න, නුවර නීතිඥ සරත් කෝන්ගහගේ, ගම්පහ නිමලසිරි ජයසිංහ, කුරුණෑගල රංජිත් නවරත්න සහ සාලින්ද දිසානායක, අනුරාධපුර නීතිඥ ශාන්ත ප්‍රේමරත්න, මීගමුවේ ෆීලික්‌ස්‌ පෙරේරා, බදුල්ල එඩිවින් වික්‍රමරත්න, ලංකා බැංකුවේ හිටපු සභාපති ටී. රුසිරපාල, ගාල්ල මොහොමඩ් අක්‍රම්, කැස්‌බෑව චන්දන කත්‍රිආරච්චි, හික්‌කඩුවේ සරත් ගුණවර්ධන, කළුතර ටියුඩර් දයාරත්න ඇතුළු කිහිපදෙනෙක්‌ම විය. ශ්‍රී ලංකා මහජන පක්‌ෂය 1986 සිට 1990 ජවිපෙ 2 වැනි කැරලි සමයට මුහුණ දුන් අතර එහිදී පක්‌ෂයේ නායක විජය කුමාරතුංග ඇතුළු පහත 141 දෙනකු කැරලිකරුවන් අතින් ඝාතනයට පත්විය.

ජවිපෙ කැරලිකරුවන් විසින් වාද්දුව තල්පිටිය පන්සලේදී 1988 දෙසැම්බර් 18 වැනිදා පස්‌වරු 7.30 ට වෙඩිතබා ඝාතනය කළ ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ පැවිදි අනුශාසක 1953 දී උපන් පොහොද්දරමුල්ලේ පේමාලෝක නාහිමි කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක වූ අතර ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකි. විෙද්‍යාදය සරසවියේ සමසමාජ පක්‌ෂ ශාඛාවේ 1963 උප සභාපතිවරයාය. ශ්‍රීලනිපයට 1970 දී එක්‌වූ පේමාලෝක හිමි කළුතර මහා විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සිටියදී 1980 ජුලි වර්ජනයට එක්‌වීමෙන් රැකියාව අහිමි විය. වසර 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්‌ෂක කොබ්බෑකඩුවගේ ප්‍රධාන කථිකයකු විය. ආදාහනය කළුතර නගර සභා ක්‍රීඩාංගනයේදී විශාල ජනකායක්‌ මැද සිදුකළ අතර දේහය මහජන ගෞරවය සඳහා කළුතර නගර ශාලාවේදී 1988 දෙසැම්බර් 21 තබා තිබිණි. මුහුණට වෙඩි තැබීම නිසා මුහුණ විරූප වී ඇති හෙයින් පේමාලෝක හිමිගේ දේහයේ උඩ කොටස සම්පූර්ණයෙන් වසා තිබිණි. ජනතා සංගමයේ ද හිතවතකු වශයෙන් කටයුතු කළ මහජන භික්‌ෂු සංවිධානයේ ක්‍රියාකාරිකයකුවූ රෑද්දගොඩ සරණංකර හිමිද 1985 ජුනි 25 වැනිදා දොඩම්ගස්‌ලන්දේදී කැරලිකරුවන් විසින් ඝාතනය කරන ලදී.

මහජන පක්‌ෂයේ උප සභාපතිවරයකුවූ සහ වයඹ පළාත් සභා මන්ත්‍රී දේවබණ්‌ඩාර සේනාරත්න (44) ඝාතනය වූයේ මහජන පක්‌ෂයේ ජනාධිපතිවරණ රැස්‌වීමක්‌ කඩවතදී 1988 දෙසැම්බර් 3 අමතමින් සිටියදී ජවිපෙ තැබූ වෙඩි ප්‍රහාරයකිනි. මෙහිදී දේවබණ්‌ඩාර සමඟ මහජන තරුණ සම්මේලනයේ මහින්ද ජෝති පිලානි විතානගේ (37) ද මරුමුවට පත්විය. එම වෙඩි පහරවලට ගොදුරුවී මහජන පක්‌ෂයේ හිතවතුන් වූ කැලණියේ බියගම පදිංචි ඩබ්ලිව්. එම්. ජගත් රෝහණ (19) සහ කඩවත පහල බියන්විල පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ. කේ. ධර්මදාස (55) යන දෙදෙනා ද මිය ගියහ. එමෙන්ම 85 දෙනකුට තුවාල සිදුවිය. මහමඟ ගමන්ගත් 29 ශ්‍රී 7169 දරන බස්‌ රථයට මගදී නුවර පාරෙන් ගොඩවූ කැරලිකරුවන් සිව්දෙනකු එහි රියෑදුරු වූ ඇවරියවත්ත හෙයියන්තුඩුව පදිංචි කේ. එම්. වික්‍රමසිංහ යටත් කරගෙන ඔහු රියෑදුරු අසුනෙන් ඉවත් කරගෙන කැරලිකරුවකු කඩවත දෙසට බස්‌රිය පදවාගෙන යන අතරතුර සෙසු කැරලිකරුවන් තිදෙනා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි.

දේවබණ්‌ඩාරගේ පියා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල රාජ්‍ය තක්‌සේරුකරුවූ මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි ශිෂ්‍ය මේජර් විමලබණ්‌ඩාරය. ඔහුගේ පුතුන් සිව්දෙනාවූ වික්‌ටර් බණ්‌ඩාර, දේවබණ්‌ඩාර, සිසිල් බණ්‌ඩාර සහ එඩීබණ්‌ඩාර ජවිපෙ 71 කැරැල්ලට සම්බන්ධ වූයේ කැරැල්ලේ 29 වැනි විත්තිකරුවූ ඇඹුල්දෙණියේ ලක්‌ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු නොහොත් කළු ලකී මගින් 1969 දීය. මහරගම පොලිසියට 1971 අප්‍රේල් පහර දීමට දේවබණ්‌ඩාර සහභාගිවූ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු පහරදී ජීප් රථයක බැඳ පාරේ ඇදගෙන ගොස්‌ ඇත. ඔහු සමඟ මහරගම පොලිසියට පහර දීමට ගිය කරුණාසේන පෙරේරාගේ කකුල ඇසිඩ් දමා පොලිසිය මගින් පිළිස්‌සූ අතර එම තුවාල වලින් කරුණාසේන පසුව මිය ගියේය. වසර 5 ක සිරදඬුවමකින් පසු දේවබණ්‌ඩාර නිදහස්‌ විය. සිර ගෙදරින් නිදහස්‌වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සම්බන්ධ වී ආණමඩුව සංවිධායක විය. සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය 1981 අහෝසි කිරීමට එරෙහිව කටයුතු කිරීම නිසා සිරගත කළ අතර ශ්‍රීලනිපයේ කොබ්බෑකඩුවගේ 1982 ජනාධිපතිවරණ සටනේදී නැක්‌සලයිට්‌ චෝදනාව මත නැවතත් 1982 එජාප ආණ්‌ඩුව මගින් සිරගත කරන ලදී. යළිත් වතාවත් 1983 කළු ජුලියට මුවාවී බොරු චෝදනා යටතේ සිරගෙදරට ගාල් කරන ලදී. මහජන පක්‌ෂයේ සමාරම්භකයකුවූ ඔහු සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිද විය.

2 වැනි කැරලි සමයේදී පළාත් සභා මන්ත්‍රීවරුන් වූ කළුතර පදිංචි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී සෝමදාස ගන්කන්ද 1989 පෙබරවාරි 5 ඉංගිරිය පනංගලදී ද, මහනුවර පදිංචි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයන්ත හේරත් 1989 මාර්තු 6, අත්තනගල්ල පදිංචි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ඊ. ගුණතිලක ඉලේසිංහ 1989 ජුනි 12 ද, කුලියාපිටිය වැවගම පදිංචි වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. පී. බි. ප්‍රේමචන්ද්‍ර 1989 ජුනි 26 ද, මාතලේ පදිංචි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. ජී. තේමියදාස 1988 නොවැම්බර් 26 ද, මහරගම පදිංචි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී අයිවන් ජයසේකර 1989 ජුනි 6 සහ පොල්ගහවෙල පදිංචි වයඹ පළාත් සභා මන්ත්‍රී එම්. ගුණපාල රණවීර 1988 සැප්තැම්බර් 22 පොල්ගහවෙල මහවත්තේදී ඝාතනය කරන ලදී. රණවීර ඊට පසු දින ඔහු විවාහවීමට නියමිතව සිටි අතර මනාලියගේ නිවසට ගොස්‌ ආපසු එමින් සිටියදී මෙම අනතුරට ගොදුරු විය.

රත්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එසපෙ පළාත් සභා අපේක්‌ෂකයකුවූ එස්‌.බී යාලේගම ජවිපෙ මගින් ඝාතනය කරන ලද්දේ 1988 මැයි 28 වැනිදාය. ප්‍රථම වරට 1965 මැතිවරණයෙන් ඡන්ද 10,481 ක්‌ ලබාගෙන ශ්‍රීලනිපයෙන් රත්තොට ආසනය ජයගත් යාලේගම උපන්නේ 1925 ඔක්‌තෝබර් 16 වැනිදාය. දෙවැනි වරටද 1970 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ යාලේගම මහජන පක්‌ෂය ආරම්භ කිරීමත් සමඟම එහි ක්‍රියාකාරිකයකු විය. වර්තමාන මධ්‍යම පළාත් අමාත්‍ය ශ්‍රීලනිප බන්දුල යාලේගම ඔහුගේ පුත්‍රයෙකි. පළාත් සභා මැතිවරණ අපේක්‌ෂකයන් වශයෙන් සිටි අකුරැස්‌ස කොල්වින් මෙත්තසේන 1988 ජුලි 25 ද, දඹගල්ල මීගහපිටියේ ඒ. පී. ගුණපාල, කුරුණෑගල මල්කඩුවාවේ එච්. සුමතිරත්න, වැලිගම සංවිධායක ආරියරත්න ජයසේකර 1988 නොවැම්බර් 5ද, දෙනියාය අමරදාස හීන්පැල්ල 1988 ඔක්‌තෝබර් 22 ද, ලග්ගල ග්‍රාමසේවක සහ මැතිවරණ අපේක්‌ෂක ජී.බී. පියදාස 1989 මාර්තු 8 ද, හක්‌මන කේ. ඒ. ඩී. ප්‍රැන්සිස්‌, හිරියාය වෛද්‍ය ආර්. ඒ ජයවීර 1989 පෙබරවාරි 5 ද, ගලිගමුව විමලසිරි නවරත්න සහ බණ්‌ඩාරගම එච්. වයි. රුද්‍රිගෝ ඝාතනයට ලක්‌විය. සූරියමල් ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වු 72 හැවිරිදි රොද්‍රිගූ හොරණදී ඝාතනය කරන ලද්දේ 1988 මැයි 24 වැනිදාය.

ලබන සතියට
 

ධර්මන් වික්‍රමරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.