ඇසළ පෙරහැර අස්‌සේ
හැංගුණු කසළ සැණකෙළිය...



ලෝකප්‍රකට අති උත්කර්ශවත් සංස්‌කෘතික අංගයක අසිරිය විඳ දින ගණනක්‌ ගතව ඇත්තේය. ඒ තුළ අන්තර් ගත වූ සුන්දර අසුන්දර කතා ද බෝමය. හිස්‌ ඉඩපාමින් පෙරහැර ගමන් කළහ. දෙස්‌ විදෙස්‌ සංචාරකයන් මුලා වේ දමමින් ත්‍රිරෝද රථ මුදල් ගැරූහ. පෙරහැර නැරඹුම් අසුන් පනවා කෝටි ගණනින් මුදල් හම්බ කළහ. මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ක්‍රියාත්මක කෙරෙද්දී පෙරහැර හා සබැඳි කම්කරුවා පවා එල්ල කරමින් නරඹන්නන් අතරේ තහනම් මත්ද්‍රව්‍ය මත්පැන් වෙළෙඳාම් කොට ලක්‌ෂ ගණන් මුදල් ඉපැයූහ.

කලියෙන්ම කිවයුත්තක්‌ ඇත. දළදා පෙරහැරත්, සිව් මහා දේවාල පෙරහැරත් සංවිධායක මණ්‌ඩලය මෙවර වූ වරද, ලබන වර නම්, නිවැරදි කර ගත යුතුමය. මන්ද මෙය ලොව අන් රටවල නොමැති අතිශය දුර්ලභ ගණයේ, සංස්‌කෘතිකමය දැක්‌මක්‌ හෙයින්, අඩුපාඩු දුර්වලතා අවම කොට විදහා දැක්‌විය යුතු බැවිනි.

දැන් දැන් ඕනෑ තරම් පිරිස්‌ මාළිගාව වටා මෙන්ම සිව් දේවාල වටා රොද බැඳගෙන සිටින්නේය. විය යුත්තේ ඒ සියල්ලන්ගේම පූර්ණ දායකත්ත්වයෙන් දළදා අභිනන්දනය අතිශය සාර්ථකත්ත්වයට පත්ව මහජන දෑස්‌ අභිමුවෙහි දෘෂ්‍යමාන වීමය.

ඒ සඳහා පෙරහැර සංවිධායක මණ්‌ඩලය සහ දළදා මාළිගයේ දියවඩන නිළමේතුමන්ගේ මඟ පෙන්වීමෙන් පෙරහැර ගමන් කරන නර්තන ශිල්පීන් ඇතුළු සෙසු පිරිස්‌ වෙත ඇඳුම් ආයිත්තම් ඇතුළු සියලු දෑ සපයා තිබිණි. ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන්, අලි ඇතුන් සඳහා විසිතුරු ඇඳුම් ආයිත්තම්ද සපයා තිබිණි. ඒ සියල්ල එසේ සිදුව තිබියදී අලංකෘත වූ පෙරහැර එකදිගට එක පෙළට හිස්‌ ඉඩක්‌ නොපෙන්වා අපූර්වත්වයෙන්ම වීදි සැරුවේ නම්, කොපමණ සුන්දරද...? එය සකසා ගත හැකි වරදකි. මන්ද පෙරහැර එක පෙළට ගමන් නොකොට හිස්‌ ඉඩක්‌ පෙන්වූයේ, නර්තන කණ්‌ඩායම් හෝ හේවිසි කණ්‌ඩායම් හෝ ඇත් පන්ති හෝ ශිල්පීන් අතර මනා සබැඳියාවක්‌ නොතිබීම හේතුවෙනි.

මෙලොව වසන සෑම මිනිසකුම ජීවත් වන්නේ, සොබා දහමෙන් දායාද කොට ඇති හුස්‌ම පොද ආශ්වාස කිරීමෙනි. පය තබා නැගී සිටින්නේ කාටත් පොදු මිහිමතය. පෙර භවයන්හි සිදුකරනු ලැබු පව් පින් අනුව අගහිඟකම්, සැපසම්පත්, ඇති නැතිකම් හිසමතට ගෙන මිනිසා ඔවුනොවුන් විසින්ම බෙදී වෙන්වී ඇත්තේය. එය සැලකිල්ලට ගනිමින් සාමාන්‍ය ගැමි ජනයා වීදි මත ඉටිකවර එලා පාන්, පරිප්පු කමින් තේ කහට බොමින්, උදෑසන සිට අවට සිරි නරඹමින් පෙරහැර බලන්නට සැදී පැහැදී උන්හ. ඔවුන් නොවන්නට සැබැවින්ම පෙරහැර නරඹන්නට සැබෑ බැතිමතුන් නැති වග පසක්‌ වූයේ, පෙරහැර කරඬුව මහ මඟ වැඩම කරද්දී නැගූ සාධු නාදය රැව් පිළිරැව් දෙන මහා හඬ ඇසීමෙනි. පළමු කුඹල් පෙරහැරදා සිට අවසන් රන්දෝලි දින තෙක්‌ම සැබෑ බෞද්ධ හැඟීමෙන් ජීවමාන බුදුන් වහන්සේ වැඳ පුදා ගෞරව කිරීමේ අධිටණින් පෙරහැර සිරි නැරඹූ සත්‍ය සැබෑම බෞද්ධ ජනතාව වන්නේ උදෑසනින් වීදි මතට පැමිණ පැය ගණන් එහි සිට රාත්‍රියේ පෙරහැර නැරඹූ උදවියය. ඔවුනට රටේ උත්තමාචාරය හිමි විය යුත්තේ, මේ සංස්‌කෘතික මංගල්‍යය ඉදිරියට පවත්වා ගෙන යැම සඳහා ඔවුහු ලබා දෙන ශක්‌තිය අතිමහත් නිසාය.

ශ්‍රී ලාංකේය පෞඪ ඉතිහාසය හා නොනැසෙන සංස්‌කෘතික දායාදයක්‌ ඇති රටක්‌ ලෙස ලොව ප්‍රචලිත වීමට ඉවහල් වූ ප්‍රබල සාධකය මහනුවර දළදා ඇසළ පෙරහැර බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටේ ස්‌වෛරීභාවය ආරක්‌ෂා කිරීමේ පරම වගකීම රජයක්‌ සතු කොට ඇත්තේය. නීතියෙන් පටහැනි යමක්‌ සිදුවන්නේ නම්, නීත්‍යානුකූල පරිපාලනයකින් පාලනය කිරීමට පළාත්බදවත් නගර හා ප්‍රාදේශීය වශයෙනුත් රාජ්‍ය නිලධාරීන් පත් කොට ඇත්තේ ඊට ඌණපූර්ණ වශයෙනි. එසේ නම් රජයේ දේපළ ආරක්‌ෂා කිරීමත්, ඒවා අවභාවිත කරන්නන්ගෙන් මුදා ඊට සුදුසු ක්‍රමවේද සැකසීමත් රාජ්‍ය නිලධාරීන් සතු වගකිමකි.

රටේ ආර්ථිකයේත් සංවර්ධනයේත් දියුණුව උදෙසා විදේශ විනිමය වැදගත් බව සියල්ලෝම දනිත්. විදේශිකයන්ගෙන් අප රටට සෘජුව හෝ වක්‍රව ලැබෙන මුදල් විදේශ විනිමය වන්නේය. ඒවා රටට බෙහෙවින් වැදගත් වන බැවිනි , විදේශ විනිමය ඉපැයීම් සඳහා සමස්‌ථ අයවැයෙන් සැලසුම් සකස්‌ කරන්නේ. ප්‍රාදේශීය මට්‌ටමෙන් ද එවන් සැලසුම් ඇත. මහනුවර මහ නගර සභාව ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා වියදම් කරනු ලබන රුපියල් ලක්‌ෂ එකසිය පනහක මුදල නැවත අය කරගැනීම පිණිස රැජිණ හෝටලයේ ආලින්දය (කොරිඩෝව) සහ තවත් විවිධ ව්‍යාපාරික ස්‌ථානයන්හි අසුන් පැනවීම් ඔස්‌සේ බදු මුදල් අයකරනු ලබන්නේ ද එක්‌ සැලසුමක්‌ ලෙසය. එහි වරදක්‌ නැත. වරද වන්නේ, මෙම බදු දීම් කොන්දේසි රහිතව ලබා දීමය. සෑම වසරකම ටෙන්ඩර් කැඳවා විදේශිකයන්ට අසුන් පැනවීම සඳහා රැජිණ හෝටලය බදු දෙන්නේය.

මෙම ස්‌ථානය කොන්දේසි රහිතව බදු දීමෙන් නගර සභාව කැත නමක්‌ ගා ගන්නේය. මන්ද කන්ද උඩරට ව්‍යාපාරිකයා පෙරහැර සමයේ, මාන බලන්නේ හැකි තරම් මුදල් කුට්‌ටි ගොඩගසා ගැනීම මිස, සමාජ සත්කාරය හෝ විදේශිකයන් තවදුරටත් රටට ගෙන්වා රට තුළ විදේශ විනිමය ස්‌ථාවර මට්‌ටමක පවත්වා ගෙන යැම නොවේ. එහෙයිනි මෙවර රන්දෝලි පෙරහැර වන විට එක්‌ අසුනක්‌ රුපියල් පහළොස්‌ දහසක්‌ පමණ සහ ඊට ද වැඩි මිලකට අලෙවි වූයේ.

රටක පරිප්පු ඇටයටත් පොල් ගෙඩියටත් ලූනු බිකටත් පාරිභෝගික අධිකාරියෙන් නියම වූ මිලක්‌ ඇත්තේය. ඒ මිල ප්‍රදර්ශනය නොකළහොත් වෙළෙන්ඳා නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දීමට සැකසුණු නීතියක්‌ මේ මොහොතටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේය. එවන් පරිසරයක්‌ පසුබිමක්‌ ඇති මෙලකෙහි ලොව ප්‍රකට සංස්‌කෘතික මංගල්‍යයක්‌ වෙනුවෙන් තුන් හාර මාසයක්‌ එක්‌ රැස්‌ වී කා බී රැස්‌වීම් පවත්වා සැලසුම් සකස්‌ කරන රාජ්‍ය නිලධාරීන්, පෙරහැර භාරයන් ඇතුළු සෙසු සියලු නිලධරයන්ට විදේශීය නරඹන්නන්ගේ පහසුකම් සැලසීම් ඔවුන්ගේ මුදල් වංචනික ලෙස ගසා කෑම් කඩා වඩා ගැනීම් නතර කර දමන්නට ක්‍රමවේදයක්‌ සකසන්නට අමතක වූ යේ ද...?

මේ අමතක වීම හරහා මෙවර මහනුවර නගරයේ කුඹල් පෙරහර සිට අවසන් රන්දෝලිය දක්‌වා දින දහයක කාලයේ විදේශීය නරඹන්නන් විවිධ කොල්ල කෑම්වලට ලක්‌වූහ. සංචාරක පොලිසිය, සංචාරක මඟ පෙන්වන්නෝ, ඇතුළුව පුද්ගලික සංචාරක ව්‍යාපාර මහනුවර නගරය ආශ්‍රිතව කොතෙකුත් ක්‍රියාත්මක වුවද, විදේශිකයාගේ පසුම්බිය ආරක්‌ෂා කිරීමට ඒ කා හටත් උවමනාවක්‌ නොවීය. මැදිහත් වීමක්‌ වන අයුරක්‌ද දක්‌නට නොවීය..

එහෙයිනි දෙස්‌ විදෙස්‌ සංචාරකයන් මහනුවර නිල නොවන ත්‍රිරෝද රථවල නැඟී රුපියල් සියයක්‌ වියදම් කොට යා යුතු තැනට රුපියල් පන්සියයක්‌ වියදම් කර යැමට සිදු වූයේ. දැන් දැන් විදේශිකයන් ලංකා වැසියන්ගේ අකටයුතුකම් දත්හ. කුලියට වාහනයක්‌ නොගෙන බොහොමයක්‌ දෙනා තම තමන්ගේ ගමන් බිමන් පොදු වාහන වල පිහිටෙන් ගමන් කිරීමට පුරුදුව ඇත්තේ ඒ නිසාය.. මෙවර මහනුවර නගරයේ සවස්‌ කාලයේත් මධ්‍යම රාත්‍රියේත් යොදවා තිබූ බොහොමයක්‌ ත්‍රිරෝද රථ බලපත්‍ර සහිත ඒවා නොවේ. ඒ හෙයින් හෙරොයින් ගංජා විදේශිකයන් වෙත විකිණීමත් සෙසු ගණිකා ව්‍යාපාරත් ජයටම සිදුකරගෙන යැමට ඉඩ පහසුව නොඅඩුව ලැබී තිබිණි. නීත්‍යානුකූල නොවන ව්‍යාපාර පාලනය කිරීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යාවශ්‍යය.

රජයේ මැදිහත් වීම අවශ්‍යවන්නේ මිල ගණන් කැඳවීමක්‌ (ටෙන්ඩරයක්‌) සිදුකොට ඉල්ලුම්කරුවන් සොයා මුදල් සෙවීමේ මං තනන්නට පමණක්‌ නොවේ. මේ සියල්ල රජයේ දේපළය. ඒවා ආරක්‌ෂා කිරීම රජයේ වගකීමය.

අප යමක්‌ කළ යුත්තේ අනාගතයට ආයෝජනයක්‌ වන පරිදිය. අතීතයේ මුතුන් මිත්තන් රැකගෙන ආ දෙයින් අද අප බැබලෙන්නේය. අද අප පවතින දායාදයන් උරුමයන් ආරක්‌ෂා කර නොගතහොත් අනාගතයේ අපේ දූ දරුවන් ට කිසිවක්‌ ඉතිරි නොවන්නේය. මේ න්‍යාය අද සිටින ව්‍යාපාරිකයන් රාජ්‍ය නිලධාරීන් නොසිතන්නේ මන්ද? කුමන මිල කැඳවීම් කළ ද, සෑම වසරකම පෙරහැර ආසන පැනවීම් සිදු කොට ඇත්තේ එකම ගැණුම්කරුවකු විසින්ම පමණි. රැජණ හෝටලයේ ආලින්දය කොටස්‌ දෙකකට බෙදා එක්‌ කොටසක්‌ රුපියල් ලක්‌ෂ තිස්‌පහකටද සෙසු කොටස රුපියල් ලක්‌ෂ විස්‌සකට ද බදු දීමට මිලගණන් කැඳවා ගැණුම්කරුවන්ට ආරාධනා කර තිබිණි. ඒ සඳහා ගැණුම්කරුවන් හතරදෙනකු ඉදිරිපත් වූ බවට මහ නගර සභා වාර්තා සනාථ කොට ඇත.

අයෑදුම්පතක්‌ රුපියල් 1160 කටද තැන්පත් මුදල ප්‍රසම්පාදන මුදලින් සියයට 2.5 ක්‌ ලෙස ද සඳහන්ව තිබිණි. නමුත් බදුගත් උදවිය තැන්පත් මුදල ලෙස එක්‌ කොටසකට රුපියල් අනූදහසක්‌ සහ අනෙක්‌ කොටසට රුපියල් හැටදහසක්‌ ගෙවා ඇත. මේ එක්‌ කොටසක පුටු තුන්සියයක්‌ යෙදුවේ යෑයි උපකල්පනය කරමු. එක්‌ පුටුවකට අවම රුපියල් තුන්දහසක මිලක්‌ නියම කළ බවට ද උපකල්පනය කරමු. එසේ වී නම්, දින දහයට ලක්‌ෂ අනූවක්‌ සෙවිය හැකිය. නමුත්, මෙවර තැරැව්කරුවන්ට පමණක්‌ රුපියල් දෙදහසක්‌ තුන්දහසක්‌ ගෙවා දසදහසට පහළොස්‌දහසට ආසනයක්‌ මිල කළ බව අපි දුටිමු. තහවුරු කර ගැනීම පිණිස දන්නා විදේශිකයින් යොමු කළෙමු.

රැජණ හෝටල් ආලින්දයේ ආසන නිමවූ විට සෙසු පුද්ගලික ආයතන ඉදිරිපිට ඇති අසුන් හා සම්බන්ධ වෙළෙඳාමක්‌ සිදුවූ ජාලයක්‌ ද මහනුවර මෙවර ක්‍රියාත්මක විය. මේ තත්ත්වය වහා වෙනස්‌ නොවන්නේ නම්, ලබන වසර පෙරහැර මුදලට විකිණෙන තත්ත්වයටම පත් වන්නේය. ඇඟිල්ල දිගු කළ යුතු වන්නේම බලය ඇති රාජ්‍ය නිලධාරීන්ටමය. ඔවුන් ද තමන්ගේ පසුම්බිය සරු වන නිසා නිහඬව සිටින බව ප්‍රසිද්ධ රහසකි. එසේ යෑයි කියමින් මේ ලක්‌වැසියන් නිහඬව සිටීම නොවටී. කුමක්‌ හෝ පැහැදිලි නිරවුල් ක්‍රමවේදයක්‌ සකසා අපේ සංස්‌කෘතික දායාදයන් ආරක්‌ෂා කර ගත යුතුය.

එසේ නොවුණ හොත් උඩ බලා කෙලගසා ගන්නට සිදුවන්නේ මේ නුවර වැසියන්ටමය...... නුවර වැසියන් පාලනය කළ බලවතුන්ටමය....


සමන්තී වීරසේකර
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.