මරලා දැම්මාද ඇතුළේ මැරුණාද
කාර් එක ඇතුළේ දරුවෙක්‌ මරුට...?



ගිනියම් අව්ව මහා සැරට වැටි ඔලුවිල වැලි කතර උණුසුම් කර තිබුණි. දිවා ආහාරය ගත් මොහමඩ් ඉන්සාර් මිදුලේ ඉඳන් තමන්ගේ පුංචි පාපැදිය පදිමින් සිටින්නට විය. ඉන්සාර්ගෙ වයස අවුරුදු පහයි මාස හයයි. පදිංචිය ඔලුවිල 06 අන්සාර් පල්ලිය පාර ප්‍රදේශයේය. මේ පුංචි දරුපැටියාගේ පියා වන උදුමා ලෙබ්බේ ලාපීර් පෙදරේරුවෙකි. එදත් ලාපීර් උදෑසනින්ම නිවසින් පිටත්ව ගියේ රැකියාවටය.

දිවා ආහාරය ගත් නිවැසියෝ නිවස තුළට වී සිටින්නට වූහ. නමුත් අව්ව සැරට තිබුණත් මේ කොලු පැටියාට ඒ ගැන වගේ වගක්‌ නැත. වේලාව දවල් 1.30 ට පමණ වන්නට ඇත. හිමින් සැරේ ඉන්සාර් පාර දෙසට කුඩා පාපැදිය පදමින් යන්නට වූවේය.

පාර පැත්තේ කවුරුත් නැත. බොහෝ දෙනෙක්‌ ඒ මොහොතේ ආහාර ගනිමින් නිවස තුළටම වී සිටින්නට වූහ. තම නිවාසයට මඳක්‌ ඔබ්බෙන් පාරේ නවතා තිබෙන කාරයක්‌ ඉන්සාර් දුටුවේය. එය බුහාරි මහතාගේ කාරයයි. බුහාරි මහතා වැඩ කරන්නේ විශ්වවිද්‍යාලයක විනය පාලක ලෙසය. නිවසට ඉදිරිපිට මාර්ගයේ ඔහුගේ රිය බොහෝ විට නවතා තිබේ. කුඩා කල සිටම රථවාහන වලට මහත් ඇල්aමක්‌ දක්‌වන මෙම පුංචි ඉන්සාර් බයිසිකලය පැත්තකට දමා මෙම කාරය අසලට ළංවන්නට වූවේය. අලංකාර කාරය දුටු ඉන්සාර් එයට මහත් ආශාවක්‌ ඇතිව එය අතපත ගාන්නට වූවේය. දොර අ`ගුල අතපත ගාද්දී එකවරම දොර ඇරෙන්නට විය.


පාරෙත් කිසිවකු නැත. හීන් සීරුවේ ඉන්සාර් ඇරුණු දොරෙන් කාරය තුළට ගියේය. ඒ සැනින් දොර වසාගෙන එහි තිබූ දෑ අත පත ගාන්නට විය. ඊට පැයකට පසු ඉන්සාර්ගේ නිවැසියෝ ඉන්සාර් පේන්නට නොමැති නිසා ඉන්සාර් කොහේට ගියාදැයි සොයා බලන්නට වූහ. ගේ තුළ ද ඉන්සාර් නැත. කුඩා ගෙවත්තේ ද නැත. ඉදිරිපිට පාරේ ද නැත. එසේ නම් ඉන්සාර් කොහේ ගියාද? ගිනි පත්තුවුණ මව ඇතු`ඵ පිරිස ඉන්සාර් සොයන්ට වූහ. මේ වන විට ඉන්සාර් කාරය තුළය. එළියේ ඔහු සොයන බව කාරයේ සිටි ඉන්සාර් නොදනී. වාහනයට තිබූ තැනට දැඩි අව්වක්‌ පතිත වීම නිසා වාහනට තුළ දැඩි රශ්නයක්‌ ඇතිව තිබුණි. ඒ නිසා හුස්‌ම ගැනීමට අපහසුවක්‌ දැනෙන්නට ඇත. ඉන්සාර් දොර ඇරගෙන එන්නට උත්සාහ කරත් ඒ සෑම උත්සාහයක්‌ම ව්‍යර්ථව යන ලදී. ඒ පොඩි දරුවා දොර ඇරගැනීමට දන්නේ නැති කම නිසාය. ඒ නිසා මේ පුංචි දරු පැටියා බේරාගන්න ලෙස තම දෙමවුපියන්ට අඬගසන්නට ඇත. නමුත් මු`ඵමනින්ම වීදුරු වසා තිබුණ මෙම කාරයේ තුළ සිට කෑගසන ශබ්දය පිට ඇසෙන්නේ ද නැත.

මෙම කාරය නවතා තිබුණ තැන අවට ගෙවල් කිහිපයක්‌ තිබණ ද ඒවා වට කොට තාප්ප තිබෙන නිසා ඒ කිසිවකුත් ඉන්සාර් කාරය තුළට නඟින බව දුටවේ නැත. ඒ නිසා ඉන්සාර් සොයන අය කාරය අසලින් ගිය ද මෙම පුංචි කොලුපැටියා කාරය තුළ සිටින්නේ යෑයි මොහොතක්‌ වත් නොසිතන්නට ඇත.

සවස පහයි තිහ පමණ වන විට බුහාරි මහතා කාරයට ගොඩ වූයේ ගමනක්‌ යැම සඳහාය. ඒ සැනින් ඔහු දුටු දෙයින් දැඩි තැති ගැම්මකට ලක්‌වූවේය. අසල ගේක පදිංචිව සිටි ඉන්සාර් නම් කොලුපැටියා සිය කාරයේ රියෑදුරු අසුනට යාබද අසුන අසල බිම වැටි සිටියේය. සැනෙකින් අහල පහල අය සමඟින් මෙම දරුවා අක්‌කරපත්තුව රෝහලට වෙනත් රියක දමාගෙන ගෙන යන්නට වූහ. සැණෙකින් මෙම දරුවා වට කොට ගත් වෛද්‍යවරු මෙම දරුවා පරීක්‌ෂා කරන්නට වූහ. මැලවුණ මුහුණෙන් යුක්‌තව වෛද්‍යවරු මේ දරුවා මැරිලා යයි පවසද්දී සියල්ලෝම මවිතයට පත්වන්නට වූහ. ඒ අසල සිටි ඉන්සාර්ගේ ඥාතීන්ගේ හැඬුමෙන් රෝහලම කම්පාවට පත්වන්නට වූහ.

මේ පිළිබඳව අක්‌කරපත්තුව රෝහලේ පිරිස්‌ අක්‌කරපත්ව පොලිසියට දැනුම් දෙන්නට වූහ. ඒ අනුව අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස්‌ මත අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසේකර මහතා අක්‌කරපත්තුව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන් කුමාර මහතාට පරීක්‌ෂණ ආරම්භ කරන්නට උපදෙස්‌ ලබාදෙන ලදී. ඒ අනුව අම්පාර විද්‍යාත්මක අපරාධ පරීක්‌ෂා කිරීමේ (සොකො) අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක අමරසිංහ මහතා ඇතු`ඵ නිලධාරීන් සැණෙකින් එම ස්‌ථානයට ගොස්‌ පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරන්නට වූහ.

මෙම දරුවා කාරයේ තුළ මැරුණේ කුමන හේතුවක්‌ නිසාද? කවුරුන් හෝ මරා කාරය තුළට දැමුවාද? කාරයක්‌ තුළ සිටියදී හුස්‌ම හිරව මියයන්නට පු`ඵවන්ද? යනුවෙන් විවිධ කතා සැම දෙනාගෙම මුවින් නැඟෙන්නට වූහ.

 

පොලිස්‌ පරීක්‌aෂක අමරසිංහ මහතා එම කාරය පරීක්‌ෂා කිරීමේදී දුටුවේ එම කාරයේ ඇතැම් උපකරණ සමහරක්‌ කැඩීගොස්‌ ඇති ආකාරයයි. වාහනය සුව`ද ගන්වන උපකරණය ද කැඩී ගොස්‌ තිබුණි. මෙම දරුවා සුව`ද ගල්වන උපකරණයේ තිබූ දේ කෑවාදැයි තවත් සමහරෙක්‌ මතයක්‌ ගෙන එන්නට වූහ. මෙම කාරය නවතා තිබුණ තැන අධික ලෙස අව්ව වැටී තිබෙන ස්‌ථානයක්‌ බැවින් මෙම කාරය තුළ අධික රස්‌නයක්‌ ඇතිවීමත් මෙම මරණයට හේතු වූවා ද යෑයි විවිධ කතාවන් බොහෝ දෙනකු පවසන්නට වූහ.

මෙම ස්‌ථානයට පැමිණි අක්‌කරපත්තුව වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා මෙම මළ සිරුර පරීක්‌ෂා කරන ලෙස අක්‌කරපත්තුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හට යොමු කරන ලෙස නියෝග කරන්නට වූවේය. අක්‌කරපත්තුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නිවාඩු ගොස්‌ තිබීම නිසා ගැටලුවක්‌ පැන නැඟුනි. ඒ නිසා එම කාර්ය සඳහා අම්පාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ සහ අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාගේ මැදිහත්වීමෙන් මෙම පරීක්‌ෂණ කටයුතු සඳහා කොළඹින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියකු ගෙන්වන්නට කටයුතු කරන්නට වූහ. ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. ඉලංගෝවන් මහතා අම්පාර රෝහලට පැමිණ පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සිදුකරන්නට විය. ඒ අනුව මෙම මරණය හුස්‌ම ගැනීමේ අපහසුතාව නිසා සිදුවූ මරණයක්‌ බව අනාවරණය විය. තවද මෙම දරුවාගේ සිරුරේ කොටස්‌ වැඩිදුර පරීක්‌ෂාව සඳහා රස පරීක්‌ෂකවරයා වෙත යොමුකරන්නට ඉලංගෝවන් මහතා කටයුතු කරන්නට වූවේය.

මේ පුංචි දරුවා කළේ වරදක්‌ද? එයා කාරෙක ඇතුළට ගිය නිසානේ මැරුණේ සමහරුන් පවසා සිටින්නට වූහ. නමුත් දණ්‌ඩ නීති සංග්‍රහයේ 75 වැනි වගන්තියේ වයස අවුරුදු 08 ට අඩු දරුවකු සිදුකරන ක්‍රියාවන් වරදක්‌ නොවන බවට දක්‌වා තිබේ. මෙම පුංචි දරුවා කාරයට රිංගීම ඒ අනුව නිතීයෙන් වරදක්‌ නොවන්නේය.

ඉන්සාර් අප සියලු දෙනාම හැර ගොසින්ය. ඒ අප සියලු දෙනාටම නැවත නැවත හිතන්නට කරුණක්‌ ඉතිරි කර ඇත. දෙමවුපියන් මීට වඩා දරුවන් ගැන සිතිය යුතුය. දරුවන්ට දෙමවුපියන්ගේ ඇස්‌ වසා පැය ගාණක්‌ නිවසින් බැහැර වීමට ඉඩ හසර ලබා නොදිය යුතුය.

නමුත් එසේ නොවී දෙමවුපියන් දරුවන්ට තමන්ට අභිමත ආකාරයෙන් නිවසින් සහ වත්තෙන් බැහැරව යැමට ඉඩ ලබාදීම තුළ මෙවන් දුක්‌මුසු සිදුවීම් නැවත නැවත අපට අසන්නට සිදුවනු ඇත. ඒ නිසා දැන්වත් මෙවන් දේ ගැන නිසි අවධානය යොමුකර අවධානයෙන් සිටිය යුතුය. මෙම කාරය හිමිකරු මෙම කාරයේ දොරගු`ඵලා ගියේ නම් මෙම දරුවා කාරය තුළට රිංගන්නට උත්සාහ කර ද ඇතුළට යැමට නොහැකිවනු ඇත. මේ සම්බන්ධයෙන් කාරයේ හිමිකරු වැරද්දක්‌ නොකළ ද අපිට මතක්‌ කර දෙන කරුණක්‌ තිබේ. එනම් දිගු වේලාවක්‌ වාහනයක්‌ නවතා තබන්නේ නම් එහි දොරවල් ඇරීමට නොහැකි වන සේ අගු`ඵ දමා තිබිය යුතු බවය. මේ පිළිබඳව පරීක්‌ෂණ කටයුතු අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස්‌ මත කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් සහකාර පොලිස්‌ අධිකාර මනෝඡ් රණගල මහතාගේ අධීක්‌ෂණයෙන් අම්පාර අපරාධ ස්‌ථාන පරීක්‌ෂා කිරීමේ අංශයේ ස්‌ථානාධිපති පො. ප. අමරසිංහ, උ. පො. ප. ප්‍රියදර්ශන, පො. කො. (66500) සිරිවර්ධන, පො. කො. (80737) දිසානායක යන මහත්වරුන් සහ අක්‌කරපත්තුව පොලිසියේ ස්‌ථානාධිපති සමන් කුමාර, අපරාධ පරීක්‌ෂා කිරීමේ අංශයේ උ. පො. ප. ලාරිප් සහ උ. පො. ප. රනිල් ඇතු`ළු නිලධාරී මහත්වරුන් විසින් සිදු කරනු ලබයි.


සුසන්ත අමර බන්දු

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.