පොලිසිය කපා කොටා උතුරේ ඩෙගා
නටන ආවා කල්ලියේ රහස මෙන්න...


* විශා අහුවුනේ කොළඹදී

හේමන්ත රන්දුණු

උතුරු පළාත මේ වන විට ගිනියම් වූ යකඩයක්‌ බවට පත් වී හමාරය. ඒ ගිනියම් වූ යකඩය මත කරණම් ගසමින් රඟන තුට්‌ටු දෙකේ දේශපාලනඥයන් උත්සාහ ගනිමින් සිටින්නේ තම පටු දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමටය.

ශ්‍රී ලංකාව නමැති අතිශය සුන්දර, සාමකාමී මිනිසුන් ජීවත් වූ දිවයින වසර තිහක්‌ තිස්‌සේ අමු සොහොන් පිටියක්‌ බවට පත් කළේ මේ දුෂ්ඨ දේශපාලනඥයන් ය. රට තිස්‌ වසරකින් ආපස්‌සට යෑවීමට සමත් වූ ඒ කුරිරු යුද්ධය නැවත එනු ඇති බවට සිහින මවන ඇතැම් දේශපාලනඥයන් උතුරේ අර්බුදය වවාගෙන කෑමට උත්සාහ ගනිමින් සිටිති.

උතුරු පළාත කේන්ද්‍ර කර ගෙන බෙදුම්වාදී ගැටුම් ආරම්භ වන්නේ 1972 වර්ෂයේ සිටය. වේලුපිල්ලේ ප්‍රභාකරන්, උමා මහේෂ්වරන්, සභාරත්නම්, කිට්‌ටු, මහත්තයා වැනි දෙමළ තරුණයන් යොදවා කුඩා සන්නද්ධ කණ්‌ඩායම් බිහිකර උතුරේ යුද්ධයට අඩිතාලම දමා දුන්නේ එවකට උතුරේ සිටි දේශපාලනඥයන් සහ ඉන්දීය රජය විසින් බව නොරහසකි.

ප්ලොට්‌, ඊරෝස්‌, එල්.ටී.ටී.ඊ. වැනි නම්වලින් එදා බිහි වූ කුඩා සන්නද්ධ කණ්‌ඩායම් උතුරු පළාත පුරා භීෂණයක්‌ පතුරුවා හැරියේ එවකට රට අරාජික කිරීමට සිහින මවමින් සිටි දේශපාලනඥයන් විසින්ය.

විරැකියාව, අන්ත දිළිඳුකම මෙන්ම තවත් ගැටලු රාශියකට උතුරේ ජනතාව වෙනුවෙන් විසඳුම් දීමට රජය අපොහොසත් වීම නිසා උතුරේ තරුණයන් ද මේ සන්නද්ධ අරගලය සඳහා එක්‌ වූයේ ස්‌ව කැමැත්තෙන් ය.

එදා උතුරේ බිහි වූ ඒ සන්නද්ධ කණ්‌ඩායම් පොලිස්‌ නිලධාරීන් ඝාතනය කරමින් බැංකු කොල්ලකමින් රජයේ දේපළ විනාශ කරමින් උතුරු පළාත පුරා හිංසනය මුදා හරින්නට වූහ.

උතුරේ ඇතිවෙමින් තිබූ මේ ප්‍රචණ්‌ඩත්වය භීෂණය නතර කිරීමට එදා දේශපාලනඥයන් නිවැරැදි තීන්දු තීරණ ගනු ලැබුවේ නැත. නියපොත්තෙන් කඩා දැමීමට තිබූ මේ ගැටලුව පොරොවෙන් කපා දමන තත්ත්වය දක්‌වා දුරදිග යැමට සිදු වූයේ මේ දේශපාලනඥයන්ගේ වරදින්ය.

යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමෙන් පසු යාපනය අර්ධද්වීපයේ පැවැති භීෂණය දිනෙන් දිනම උග්‍රඅතට හැරෙන්නට වුණේය.

එදා බිහි වී තිබූ එල්.ටී.ටී.ඊ., ප්ලොට්‌, ඊරෝස්‌ වැනි කුඩා සන්නද්ධ කණ්‌ඩායම් දිනෙන් දිනම ශක්‌තිමත් කළේ එවකට සිටි දෙමළ දේශපාලනඥයන් විසින් ය. එවකට ඉන්දීය ආණ්‌ඩුවද, මේ සන්නද්ධ කල්ලි පෝෂණය කිරීම සඳහා ඔක්‌සිජන් ලබා දුන්නේය.

තිස්‌ වසරක්‌ තිස්‌සේ එකිනෙකා මරාගනිමින් ඇදී ගිය උතුරේÊයුද්ධය අවසන් වන්නේ කිසිවකුටත් ජයග්‍රහණයක්‌ අත්කර නොදෙමින් ය. අවසානයේ සිදු වූයේ ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑ දහසකට ජීවිත අහිමි වීම මෙන්ම මේ රටේ වටිනා දේපළ විනාශ වීම පමණය.

යුද්ධය ආරම්භ කළ, ඊට උඩගෙඩි දුන් දේශපාලනඥයන්ට මෙන්ම ප්‍රභාකරන්, උමා මහේෂ්වරන්, සභාරත්නම් වැනි තුච්ඡ නායකයන්ට සිදු වුණේ ද අකාලයේ ජීවිතයෙන් සමු ගෙන යැමටය.

2009 වසරේදී මේ කුරිරු යුද්ධය නිම වන්නේ සිංහලයන් මෙන්ම දමිළයන් ද දැඩි පීඩාවට පත් කරමින්ය.

කොටින්ම නැවත යුද්ධයකට යනවා තබා දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ ඇති කර ගැනීමට පවා මේ සාමාන්‍ය ජනතාව කැමැති නොවූයේ වසර තිහක්‌ තිස්‌සේ විඳිනු ලැබූ දුක, වේදනාව ඔවුන් අත්විඳිනු ලැබූ නිසාය. එහෙත් දැන් දැන් යාපනය අර්ධද්වීපය පුරා නැවත ඇතිවෙමින් තිබෙන ප්‍රචණ්‌ඩකාරී තත්ත්වය තිස්‌ වසරක ඒ අමිහිරි මතකයන් අවදි කරවයි.

අද උතුරු පළාත පුරා භීෂණය පතුරුවා හරිමින් 'ආවා' නමැති සන්නද්ධ කණ්‌ඩායම ක්‍රියාත්මක කරමින් සිටින්නේ ද එදා එල්.ටී.ටී.ඊ. ය කළ දෙයමය.

ආවා නමැති සන්නද්ධ කල්ලිය බිහිවන්නේ දකුණේ දේශපාලනඥයන්ගේ මෙන්ම ඇතැම් ආරක්‍ෂක නිලධාරින්ගේ අවශ්‍යතාවන් මතය.

2009 වර්ෂයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් සිදු කළ දැවැන්ත සටනකින් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය මුළුමනින් ම විනාශ කර දැමීමට හැකි විය. යුද්ධයෙන් පසු උතුරේ සාමාන්‍ය ජනතාව බෙහෙවින් ප්‍රිය කළේ සාමකාමී ජීවිතයක්‌ ගත කිරීමටය.

එහෙත් එවකට ඇතැම් දේශපාලනඥයන්ට මෙන්ම නොයෙකුත් ලාභ පරමාර්ථයෙන් කටයුතු කළ ඇතැම් ආරක්‍ෂක නිලධාරීන්ට අවශ්‍ය වුණේ උතුරේ භීෂණ තත්ත්වයක්‌ දිගින් දිගටම පවත්වා ගෙන යැමට ය. ආවා නමැති පාතාල කල්ලිය බිහිවන්නේ ඒ දුෂ්ඨ අවස්‌ථාවාදී දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මතය.

විරැකියාවෙන් පෙළෙන සාමාන්‍ය දෙමළ තරුණයන් යොදා ගෙන බිහිකළ ආවා පාතාල කල්ලිය උතුරු අර්ධද්වීපය පුරා නැවත භීෂණයක්‌ ඇති කරන්නට පටන් ගත්හ. සාමාන්‍ය ජනතාව සතු වස්‌තුව කොල්ලකමින්, අහිංසක දෙමළ ජනතාවට පහරදී ඔවුන් කපා කොටා තුවාල කරමින් දේපළ විනාශ කරමින් යාපනය පුරා ආවා කල්ලිය ගෙන ගිය ප්‍රචණ්‌ඩත්වය මහා භීෂණයක පෙර ලකුණු පහළ කළේය.

සාමාන්‍ය ජනතාව භීතියට පත්කර ඔවුන් අනේක විධ වධ බන්ධනයන්ට ලක්‌ කළ ද ආවා කල්ලිය එදා කිසි විටෙකත් ආරක්‍ෂක අංශ වෙත අත එසවූයේ නැත. යාපනයේ පදිංචි සාමාන්‍ය දෙමළ තරුණයකු වූ කුමරේෂන් රත්නම් විනෝදන් ආවා කල්ලියේ මුල්ම නායකයා වුණේය. 'ආවා' යනු කුමරේෂන්ට පාසල් වියේදී පටබැඳුණු නමකි. පසු කලෙක ඔහු විසින් බිහිකළ කල්ලිය 'ආවා' කල්ලිය ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය.

කුමරේෂන්ගේ නායකත්වයෙන් බිහි වූ ආවා කල්ලිය නවීන පන්නයේ යතුරුපැදිවල නැගී යාපනය අර්ධද්වීපය පුරා සැරිසරමින් විවිධ නීති විරෝධී ප්‍රචණ්‌ඩත්ව ක්‍රියාවල නිරත වන්නට වූහ.

කොටින්ම ආවා කල්ලිය යාපනය ප්‍රදේශය පුරා කැලෑ නීතිය ස්‌ථාපිත කිරීමට සමත් වූහ. තම අණසකට යටත් නොවන අහිංසක වැසියන්ට ආවා කල්ලිය ප්‍රසිද්ධියේම දඬුවම් දෙන්නට පටන් ගත්හ.

මුදල් කොන්ත්‍රාත් මත යාපනයේ අහිංසක වැසියන් මරා දැමීම කපා කොටා තුවාල කිරීම, දේපළ විනාශ කිරීම ඇතුළු නොයෙකුත් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වෙමින් ආවා කල්ලිය ගෙන ගිය භීෂණය අවසානයේ සීමා ඉක්‌මවා ගියේය.

සීමාවන් ඉක්‌මවා කටයුතු කිරීමට යැම නිසා අවසානයේදී කුමරේෂන් රත්නම් විනෝදන් හෙවත් ආවාට සිදුවුණේ සිරබත් කෑමටය. කලක්‌ සිරගතව සිටි කුමරේෂන් දැන් දැහැමි ජීවිතයක්‌ ගත කරමින් සිටියි.

එහෙත් කුමරේෂන් නායකත්වය දුන් ආවා කල්ලිය අදටත් යාපනය අර්ධද්වීපය පුරා සක්‍රීයව පවතියි. කලින් කලට එහි නායකත්වය වෙනස්‌ වුවද, ආවා කල්ලිය තාමත් ජීවමානය.

2015 වර්ෂයේ සිදු වූ ආණ්‌ඩු පෙරළියෙන් පසු ආවා කල්ලියේ ක්‍රියාකාරකම් බෙහෙවින් පහත වැටුණේය. 'ආවා' කල්ලියට ශක්‌තිය ලබා දුන් ඇතැම් දේශපාලනඥයන්ගේ මෙන්ම ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ සහාය නොලැබීම නිසා ඔවුන් නන්නත්තාර වූහ.

කිසිම ආදායමක්‌ නොමැතිව සිටි ආවා කල්ලියේ සාමාජිකයන් නැවත යාපනය පුරා කොල්ලකෑම් සිදු කරමින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමටත් පටන් ගත්හ. දෙමළ ඩයස්‌පෝරාව ආවා කල්ලිය තම අණසක යටතට ගැනීමට කලක සිට උත්සාහ ගනිමින් සිටියහ. දෙමළ ඩයස්‌පෝරාවට මෙන්ම කොටි හිතවාදීන්ට අවශ්‍යව තිබුණේ යාපනය අර්ධද්වීපය පුරා නැවත භීක්‍ෂණයක්‌ ඇති කර ජාතිවාදී ගැටුම් ආරම්භ කිරීමටය.

දෙමළ ඩයස්‌පෝරාවේ පැවැත්ම තිබෙන්නේ උතුරේ අරගලයක්‌ තිබෙනවා නම් පමණය. ඔවුන්ට දෙමළ ජනතාවගෙන් මුදල් ලැබෙන්නේ උතුරේ ජාතිවාදී අරගල තිබෙන තාක්‌ කල් ය.

දෙමළ ඩයස්‌පෝරාව දෙමළ තරුණයන් යොදාගෙන උතුරු පළාතේ නැවත ජාතිවාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින්නේ ඔවුන්ගේ පැවැත්මටය.

කුමරේෂන් රත්නම් විනෝදන් ආවා කල්ලියට සමුදීමෙන් පසු එහි නායකයා ලෙස පත්වුණේ 'සත්‍යා'ය. සත්‍යාගේ නායකත්වයෙන් ආවා කල්ලිය නැවත සක්‍රීය වුණේය. ඔවුන් යාපනය අර්ධද්වීපය පුරා නැවත භීෂණය මුදා හරින්නට පටන් ගන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ මෙන්ම ඇතැම් ආරක්‍ෂක ප්‍රධානීන්ගේ ද සහාය ලබාගෙනය.

එහෙත් පොලිසිය සහ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය සත්‍යා පසුපස පන්නන්නට පටන් ගත්තේය. එමෙන්ම ආවා කල්ලියේ ප්‍රබලයන් වූ ප්‍රකාශ් සහ දේවා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වුණේය. පොලිසියෙන් බේරීමට සත්‍යා, ප්‍රකාශ් සහ දේවා ඉන්දියාවට පැන ගන්නේ උතුරු මුහුදු ඔස්‌සේ බෝට්‌ටුවක ගොසින්ය.

සත්‍යාට අවශ්‍ය තිබුණේ ඉන්දියාවේ සිට හෝ ආවා කල්ලිය මෙහෙයවීමය. සත්‍යාගේ සැලසුම සාර්ථක විය.

සත්‍යාගෙන් පසු ආවා කල්ලියට නායකත්වය දුන්නේ වික්‌ටර් නිෂා ය. වික්‌ටර් නිෂා සත්‍යා විසින් මෙහෙයවන රූකඩයක්‌ විය. ආවා කල්ලිය පෝෂණය කිරීම සඳහා සත්‍යාට මුදල් ලැබුණේ ස්‌විට්‌සර්ලන්තය ඇතුළු යුරෝපයේ පදිංචිව සිටින දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයන් හරහා ය.

සත්‍යා සතිපතා වික්‌ටර් නිෂාගේ බැංකු ගිණුමට මුදල් බැර කළේය. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ යාපනය පුරා භීෂණ තත්ත්වයක්‌ නිර්මාණය කිරීමය. ජාතිවාදී ගැටුම් නැවත ආරම්භ කිරීමටය.

සත්‍යා රජයේ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකුම සමීපව ඇසුරු කරන බව කියෑවෙයි. දකුණේ ඇතැම් දේශපාලනඥයන්ට අවශ්‍ය වී තිබෙන්නේ ද උතුරේ අර්බුදයක්‌ නැවත නිර්මාණය කිරීමටය. ඔවුන් උත්සාහ කරන්නේ ආවා හෝ ගියා හෝ කුමන හෝ කල්ලියක්‌ යොදාගෙන උතුරේ ගැටුම් ඇති කිරීමටය. ඒ හරහා තම පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමය.

ආවා කල්ලිය බිහි වූ කාල සීමාවේ සහ වර්තමාන ආවා කල්ලියේ හැසිරීම සංසන්දනය කිරීමේදී පැහැදිලි වෙනසක්‌ දක්‌නට ලැබෙයි. ආවා කල්ලිය එදා උත්සහ කළේ උතුරේ ජනතාව භීතියට පත් කර ඔවුන් සතු දේපළ කොල්ලකමින් අහිංසක දෙමළ වැසියන් ඝාතනය කරමින් කැලෑ නීතිය රජ කරවීමටය.

ආවා කල්ලිය එදා කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක අංශවලට එරෙහිව අතක්‌ එසවූයේ නැත. එහෙත් වර්තමානයේ ආවා කල්ලියේ හැසිරීම සම්පූර්ණ වෙනස්‌ තත්ත්වයකට පත්වී හමාරය.

ආවා කල්ලිය වර්තමානයේ ක්‍රියාකරන්නේ රජයේ ආරක්‍ෂක අංශවලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමටය. ඔවුන් මහ දවල් ප්‍රසිද්ධියේම පොලිස්‌ නිලධාරීන්ට පහර දීමට, ඔවුන් කපා කොටා තුවාල කිරීම වැනි බරපතළ අපරාධ කිරීමට පෙළඹී සිටිති.

පසුගියදා යාපනය අර්ධද්වීපයේ වැලි ජාවාරම්කරුවන් පිරිසක්‌ සහ පොලිසිය අතර ගැටුමක්‌ හටගත්තේය. එය සිදුවන්නේ නීති විරෝධී වැලි ජාවාරම්කාරයන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය අවස්‌ථාවේය. එහිදී පොලිසිය එල්ල කළ ප්‍රහාරයකින් දෙමළ තරුණයකු මිය ගියේය. යාපනය ගිනි ගන්නට පටන් ගත්තේ මේ සිදුවීමෙන් පසුවය. කෝපයට පත් වූ සන්නද්ධ කණ්‌ඩායම් මෙම වැටලීමට නායකත්වය දුන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයාට අයත් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවස බිමට සමතලා කළහ.

ඉන් නොනැවතුණු මේ සන්නද්ධ කණ්‌ඩායම් පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කළහ. විශේෂ කාර්ය බළකායේ ජීප් රථයකට පහර දී ඊට හානි කළෝය. මේ සියලු ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුÊකළේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සහ ආවා කල්ලියට සම්බන්ධ පාතාල අපරාධකාරයන් විසින් බව පසුව හෙළි විය.

මේ සිදුවීමෙන් පසු නල්ලූර් ප්‍රදේශයේදී තවත් බරපතළ සිදුවීමක්‌ වුණේය. යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංෙච්ලියන් මහතාට ආරක්‍ෂාව සලසමින් ගිය පොලිස්‌ නිලධාරියා මහ දවල් වෙඩි තබා ඝාතනය කළේය. එය සිදු කළේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු විසින්ය.

මේ සිදුවීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා දැඩි ලෙස කම්පාවට පත් වුණේය. ඔහු පොලිස්‌ නිලධාරියාගේ බිරිඳ ඉදිරියේ වැඳ වැටී ඇයගෙන් සමාව ඉල්ලා සිටියේය. මේ සිදුවීම සිංහල - දෙමළ ජනතාව අතර සංහිඳියාවක්‌ ඇති කිරීමට සමත් විය.

උතුරු පළාත් භාර මහඇමැති විග්නේෂ්වරන් මහතාද ප්‍රසිද්ධියේ කියා සිටියේ තමාට දෙමළ ආරක්‍ෂකයන්ට වඩා සිංහල ජාතික පොලිස්‌ නිලධාරීන් විශ්වාස බවය. මේ සිද්ධිය දකුණේ ජනතාව උතුරේ ජනතාව කෙරෙහි කිසියම් ලබැඳියාවක්‌ ඇති කරවන්නට සමත් විය.

මේ සිදුවීම් දෙමළ ඩයස්‌පෝරාවට නොරිස්‌සුවා විය යුතුය. යාපනය අර්ධද්වීපයේ නැවතත් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. සත්‍යා හරහා ඔවුන් ආවා කල්ලිය කුලප්පු කළේය. ආවා කල්ලිය කිසියම් හේතුවක්‌ නොමැතිව පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කෝපායි ප්‍රදේශයේදී කපා කොටා දමන්නේ ඔවුන්ට දෙමළ ඩයස්‌පෝරාවෙන් ලැබුණු උපදෙස්‌ නිසා විය යුතුය.

ඉකුත් ජුලි මස 30 වැනි ඉරිදා දහවල් යාපනය කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක්‌ රාජකාරි කටයුත්තක්‌ සඳහා යමින් සිටියහ. යාපනය කෝපායි නන්දවිල් ජලාශය අසල මත්පැන් පානය කරමින් සිටින පිරිසකි.

යතුරුපැදියේ යමින් සිටි පොලිස්‌ නිලධාරීන් වැව් තාවුල්ලේ මත්පැන් පානය කරමින් සිටින පිsරිස දුටුවේය. ඔවුන් කිසියම් අපරාධයකට සැරසෙමින් සිටින බව තේරුම් ගත් පොලිස්‌ නිලධාරින් දෙදෙනා තමන්ගේ රාජකාරි ගමන පසෙක තබා නන්දවිල් ජලාශය දෙසට එන්නට වූහ.

එහෙත් ජලාශය අසල සිටින පිරිස විශාලය. ඔවුන්ගේ හැසිරීම ද එතරම් හොඳ නැත. තමන් නිරායුධව මේ ස්‌ථානයට යැම නුවණට හුරු නැති බව තේරුම් ගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා යතුරු පැදිය ආපසු හරවාගෙන කෝපායි පොලිසිය වෙත යන්නට වූයේ තවත් නිලධාරීන් පිරිසක්‌ කැඳවාගෙන එන බලාපොරොත්තු ඇතිවය.

එහෙත් සිදුවූයේ ඔවුන් නොසිතූ දෙයකි. යතුරු පැදි හත අටක නැගී පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පසුපස පන්නාගෙන ආ වික්‌ටර් නිෂා ඇතුළු ආවා කල්ලියේ සාමාජිකයන් මඟ හරස්‌ කර ඉවක්‌ බවක්‌ නොමැතිව ඔවුන්ට පහර දෙන්නට පටන් ගත්හ.

අවසානයේ කඩුවලින් මෙම නිලධාරීන් කපා දැමූ ආවා කල්ලියේ සාමාජිකයන් මුළු කෝපායි ප්‍රදේශයම භීතියට පත් කරමින් පලා ගියහ.

මේ සිදුවීමෙන් යාපනය අර්ධද්වීපය ගිනියම් වුණේය. යාපනයේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන බවත් යුද්ධය නැවත පැමිණ තිබෙන බවත් කියමින් දකුණේ බඩගෝස්‌තරවාදී දේශපාලනඥයන් කෑ ගසන්නට වූහ.

යාපනය අර්ධද්වීපයේ ඇති වී තිබෙන තත්ත්වය විමර්ශනය කිරීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා එහි සංචාරය කළේය. යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂාව සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගත්තේය.

මේ අතර පොලිස්‌ නිලධාරීන් දෙදෙනා කපා කොටා පලා ගිය ආවා කල්ලිය අත්අඩංගුවට ගැනීමේ කාර්යය සඳහා පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකය වෙත භාරදීමට පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේ ඇතිවෙමින් තිබෙන භයානක තත්ත්වය තේරුම් ගනිමිනි.

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ කණ්‌ඩායමක්‌ යාපනය නගරය වෙත ගොස්‌ සිය පරීක්‍ෂණ ආරම්භ කළහ. එහි නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් යාපනය පීරමින් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් හොයන්නට වූහ.

දින කිහිපයක්‌ ගතවීමට පෙර යාපනය කෝපායි ප්‍රහාරයට සම්බන්ධ ආවා කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්‌ත විමර්ශන ඒකකය සමත් විය. දක්‍ෂින් නමැති මේ ආවා කල්ලිය සාමාජිකයා පොලිස්‌ නිලධාරීන් කපා කොටා තුවාල කිරීමට සම්බන්ධ වූ අයෙකි. දක්‍ෂින් ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මේ ප්‍රහාරයට නායකත්වය දුන් පාතාල කල්ලිය සොයා ත්‍රස්‌ත විමර්ශන නිලධාරීන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය වැටලූහ.

ආවා කල්ලියේ වර්තමාන නායකයා ලෙස හැඳින්වෙන වික්‌ටර් නිශා ඇතුළු පාතාල සාමාජිකයන්ගේ ජංගම දුරකථන අංක සොයාගත් ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඒ ඔස්‌සේ කළ විමර්ශන වලින් හෙළි වූයේ ඔවුන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැඟ වී සිsටින බවය.

එහෙත් ත්‍රස්‌ත විමර්ශන නිලධාරීන් ප්‍රමාද වැඩිය. ඔවුන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය වැටලීමට පෙර වික්‌ටර් නිෂා ඇතුළු පාතාල සගයන් කොළඹට පලා ගොස්‌ සිටියහ.

ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වික්‌ටර් නිෂා ඇතුළු පිරිස සොයා කොළඹ නගරය පීරන්නට වූහ. ඔවුන්ගේ බුද්ධි මෙහෙයුම අවසානයේ සාර්ථක වුණේය. ආවා කල්ලියේ සාමාජිකයකු මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වික්‌ටර් නිෂා ඇතුළු කීපදෙනෙක්‌ කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සැඟවී සිටින බව හෙළිකර ගැනීමට ත්‍රස්‌ත විමර්ශන ඒකකය සමත් වුණේය.

අවසානයේ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී වික්‌ටර් නිෂා ඇතුළු පිරිස ගුණසිංහපුර ප්‍රදේශයේ සැඟවී සිටියදී කොටුකර ගත්හ.ඔවුන් විදේශගත වීමේ අරමුණෙන් කොළඹ සැඟ වී සිටි බව පසුව අනාවරණය විය. පොලිසිය වික්‌ටර් නිෂාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් ලද තොරතුරු මත ආවා කල්ලියට සම්බන්ධ තවත් තිදෙනෙකු යාපනයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට ත්‍රස්‌ත විමර්ශන ඒකකය සමත් විය.

වික්‌ටර් නිෂාගෙන් ප්‍රශ්න කිරීමේදී ආවා කල්ලියට උපදෙස්‌ ලබා දෙන, එම කල්ලිය මෙහෙයවන 'සත්‍යා' පිළිබඳ තොරතුරු හෙළිකර ගන්නට ත්‍රස්‌ත විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

කෙසේ වෙතත් යාපනයේ වර්තමාන හැසිරීම පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුය. යාපනයට නැවත ගිනි තැබීමට උත්සාහ කරමින් සිටින දෙමළ ඩයස්‌පෝරාව මෙන්ම දකුණේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයන් නිරීක්‍ෂණය කළ යුතුය.

යාපනය නැවත ගිනි ගන්නා දෙස බලා සතුටුවන මේ තුච්ඡ දේශපාලනඥයන් බිල්ලට දෙන්නේ අහිංසක ශ්‍රී ලාංකිකයන් ය.

එමෙන්ම යාපනයේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය වැඩි කළ යුතුය. සංවිධානාත්මක කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය සෙවීම සඳහා මීට වඩා හොඳ බුද්ධි සේවාවක්‌ යාපනය තුළ ක්‍රියාත්මක විය යුතුය. ජාතිවාදී අරගලයක්‌ නැවත ඇතිවීමට ඉඩ නොතබා යාපනයේ මේ ආකාරයට භීක්‍ෂණය සක්‍රීය වීමට ඉඩ නොදී යුද්ධයෙන් තොර සාමකාමී රටක්‌ බිහිකිරීමේ පරම වගකීම රජය සතුය.



 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.