යුද අධිකරණය සහ
දේශපාලන වුවමනාව-02


අතුරුදන් කාර්යාල පනත
විකෘති කරන්නේ කවුද ?

සුනිල් ජයසේකරට පිළිතුරක්‌

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය



එහෙත් බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාවේ සහ තම ඉල්ලීම තුට්‌ටුවකට මායිම් නොකොට ත්‍රස්‌තවාදය අතු ගෑ දැමූ මහින්ද රාජපක්‌ෂ සමඟ බද්ධ වෛරයෙන් පසු වන බටහිරයන්ගේ පදයට නැටූ බෑන්කිමුන් කළේ කුමක්‌ද? ලංකා රජය උගත් පාඩම් කොමිසම පත් කොට මාස 5 ක්‌ ගතවීමට මත්තෙන් "තමාව දැනුවත් කිරීමට" යෑයි කියමින් අපේ රටේ යුධඅපරාධ පිරික්‌සීමට "දරුස්‌මාන්" කොමිටිය පත් කිරීමය. උගත් පාඩම් කොමිසම වාර්තාව නිකුත් කළේ 2011/11/15 වන අතර ඊට මාස 8 කට පෙර නිකුත් කළ දරුස්‌මාන් වාර්තාවෙන් (2011/3/31) කියා සිටියේ උගත් පාඩම් කොමිසමට කිසිදු ජාත්‍යන්තර ප්‍රමිතියක්‌ නැති බවත් එහි බොහෝ අඩුපාඩු ඇති බවත්ය. ලාංකීය යාන්ත්‍රණයකට බෑන්කීමුන් දැක්‌ වූ ඉතාම පිළිකුල් සහගත ප්‍රතිචාරය එයයි. ඉන්පසුව පරණගම වාර්තාව නිකුත් වූයේ 2015/8/15 වැනිදා දී වන අතර එයට සහභාගී වූ ජාත්‍යන්තර යුධ අපරාධ විශේෂඥයින් වන ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ් නයිස්‌ ඇතුළු 6 ක්‌ කියා සිටියේ ලංකා හමුදා රජය කිසිදු යුධ අපරාධයක්‌ සිදු නොකළ බවයි. පරණගම කොමිසමේ වාර්තාව නිකුත් කිරීමට ප්‍රථම එ. ජා. මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්‌වරයා ලංකාවේ යුධ අපරාධ සොයා බැලීමට විශේෂඥ කොමිටියක්‌ පත් කරන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්වාස කටයුතු යාන්ත්‍රණයක්‌ ලංකාවේ නොමැති බව පවසමිනි. එසේ නම් එ. ජා. සං මහ ලේකම් සහ මානව හිමිකම් මහ කොමසාරිස්‌ අපවන් ස්‌වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසුවේ අදාළ කාරණා පිළිබඳ පැහැදිලි ජාතික යාන්ත්‍රණයන් රටතුළ ක්‍රියාත්මක වන අතරතුරේ නොවේද? එවන් තත්ත්වයක්‌ තුළ ආත්ම ගෞරවයක්‌ ඇති අභිමානවත් රටක්‌ හැසිරිය යුත්තේ කවර ආකාරයට දැයි තේරුම් ගත හැක්‌කේ ආත්ම ගෞරවයක්‌ ඇති පුරවැසියන්ට මිස අංශුමාත්‍රයක්‌ හෝ ආත්මගෞරවයක්‌ නැති පුරවැසියන්ට නොවේ.

ජාත්‍යන්තර විදේශීය යුධ අපරාධ විශේෂඥයන් ලංකා හමුදාවන් කිසිසේත්ම යුධ අපරාධ සිදු කර නැතැයි නිකුත් කළ වාර්තා 7 විදේශ ඇමැති මංගල සමරවීර කිසිදු අවස්‌ථාවක මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ නැත. (පසුගිය මාර්තු මස ජීනීවා මා. හි කවුන්සලයේ එම වාර්තා ප්‍රථමවරට ඉදිරිපත් කළේ අපය) මංගල සමරවීර කළේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් හුසේන් විසින් ඉතාම සාවද්‍ය ලෙස අප යුධඅපරාධ කළා යෑයි නිකුත් කළ වාර්තා කිසිදු විමර්ශනයකින් තොරව "අගය කරමින්" පිළිගෙන ඇමෙරිකාව විසින් අප රටට එරෙහිව ගෙන ආ යෝජනාවට "සම අනුග්‍රහකත්වය" දැක්‌වීමය. එසේ නම් මානව හිමිකම් විශේෂ නියෝජිතයන් වන බෙන් ඉමසන්, මොනිකා පින්ටෝ, ජෙෂ්රි ෆ්‍රීථමත් යන විදේශිකයෝ මෙරටට පැමිණෙන්නේ එසේ අප සම අනුග්‍රහකත්වය දැක්‌ වූ 30/ යෝජනාවට අනුව අප කටයුතු කරන්නේ දැයි බැලීමට එම යෝජනාවට අනුව මිස සුදත් ගුණසේකර නමැති වගකිව යුතු පුරවැසියා කියන පරිදි මහින්ද රාජපක්‍ෂ සහ බෑන්කීමුන් අත්සන් කළ ප්‍රකාශයකට අනුව නොවන බව මොන්ටිසෝරි දරුවෙක්‌ පවා දන්නා කරුණකි. රටේ තිබූ යුද්ධය, භෞමික අඛණ්‌ඩතාවය, ජාතික ආරක්‍ෂාව, එ. ජා. ගේ ක්‍රියාකලාපය, රණවිරු කැපවීම යනාදිය ගැන හසරක්‌ නොදන්නෙක්‌ දේශපාලනඥයන්ගේ වුවමනාවට ලිපි ලියද්දී තමාගේම නිරුවත රටට හෙළිකරන්නේ ඒ අයුරිනි.

තවද අතුරුදන් කාර්යාල පනත මා විසින් කිසිම හිරිකිතයකින් තොරව විකෘති කරන්නේ යෑයි, සාකච්ඡාවට පවා ගෙන නොමැති බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත කවලම් කර ඇතැයිද අතුරුදන් කාර්යාල පනත සාක්‍ෂි ආඥා පනතට පටහැනි සාක්‍ෂි පිළිගන්නා නමුත් කිසිදු පුද්ගලයෙකුට චෝදනා ගොනු කළ නොහැකි නිසා රටේ කිසිදු රණවිරුවෙකුට දඬුවම් ලබාදීමට එම පනත උපයෝගී කරගත නොහැකි බව ඔහු පවසයි.

රටේ ජනතාවට යථාර්ථය සඟවා කටයුතු කිරීම සාපරාධි ක්‍රියාවක්‌ සේ මා දකිමි. එසේ කරන අයට සහ එම ක්‍රියා " සාධාරණීය" කිරීමට තැත් කරන පුද්ගලයන්ට එරෙහිව කවදා හෝ බලයට පත්වන "දේශප්‍රේමී" රජයක්‌ කටයුතු කරනු ඇත. අතුරුදන් අය සොයා බැලීම සාපරාධි ක්‍රියාවක්‌ නොවන බව මොළේ කලඳක්‌ තිබෙන ඕනෑම කෙනෙක්‌ පිළිගන්නා කරුණකි. නමුත් මෙම ඊනියා අතුරුදන් පනත ගැන සහ එහි සැඟවුනු දුෂ්ට අරමුණු පිළිබඳව අප මීට ඉහත කොතෙකුත් පැහැදිලි කිරීම් කර ඇත. නැවතත් කෙටියෙන් එය මතක්‌ කර දෙමි. මෙම පනතින් කෙරෙන නින්දිතම ක්‍රියාව නම් රට වෙනුවෙන් දිවි කැපකළ රණවිරුවා සහ අහිංසකයන් බුරුතු පිටින් මරා දැමූ ත්‍රස්‌තයා සමානකොට සැලකීමයි. යුධ පිටියේ සටන් කොට මිය ගිය අතුරුදන් වූ රණවිරුවාගේ පවුලට සහ ගෝනවල ගමේ බඩදරු මවගේ බඩපලා කිරි කැටියා එළියට ඇද මාළුකපන්නාසේ කපා දැමූ පසුව යුද්ධයේදී මැරුණු අතුරුදන් වූ ත්‍රස්‌තයාගේ පවුලටද ලැබෙනුයේ සමානවන්දි මුදලකි. ත්‍රස්‌තවාදියාගේ පවුලටත් වන්දි ලබා දීමට ප්‍රතිපාදන සපයා ඇති අතුරුදන් කාර්යාල පනතේ එවන් තත්ත්වයක්‌ සුදත් ගුණසේකර නමැති වගකිව යුතු පුරවැසියා පිළිගන්නේ දැයි පළමුව ඇසිය යුතුවේ.

මෙම කාර්යාලයට කාර්ය මණ්‌ඩලය පත් කරනුයේ ව්‍යවස්‌ථාදායක සභාවේ විපක්‍ෂනායක සම්බන්ධන් සහ අගමැති රනිල් වික්‍රමසිංහය. ජනාධිපති කරනුයේ අනුමත කිරීම පමණි. ඔහු අනුමත නොකළොත් දින 14 කට පසුව ඉබේම එය අනුමතවේ. සම්බන්ධන් යනු කොටි ත්‍රස්‌තයන්ගේ දේශපාලන හස්‌තයේ ප්‍රධානියා වන අතර රනිල් වික්‍රමසිංහ යනු යුද්ධයේ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින් හෝ දායක නොවූ කෙනෙකි. මේ දෙදෙනා පත් කරන මණ්‌ඩලය රණවිරුවා කෙරෙහි දක්‌වන ආකල්පය කෙබඳු දැයි අපට සිතා ගත හැක. මෙම මණ්‌ඩලයට වරෙන්තුවක්‌ නොමැතිව හෝ ඕනෑම හමුදා පොලිස්‌ කඳවුරකට ඕනෑම වේලාවක ඇතුළු වී ඕනෑම රහස්‌ වාර්තාවක්‌ ලබා ගැනීමට බලය ඇත. ප්‍රතික්‍ෂේප කරන හෝ බාධා කරන අයට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පවරා දඬුවම් දෙනු ලැබේ. මෙම කාර්ය මණ්‌ඩලයට වීඩියෝ තාක්‍ෂණය මගින් දුරකථනයෙන් (සාක්‍ෂි ආඥ පනතට පටහැනි) දෙනු ලබන සාක්‍ෂි පිළිගැනීමට අවසර තිබේ. එවිට ඔවුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම යුද දේශපාලන නායකයෙක්‌ට විරුද්ධව කැමති පරිදි සාක්‍ෂිගොනුකර එම පුද්ගලයාට අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බවට වාර්තා සැකසිය හැකිවේ. ඒවා අපේ අධිකරණයට යොමු නොකරන්නේ රටේ අධිකරණය එම සාක්‍ෂි පිළිනොගන්නා බැවිනි. නමුත් ඔවුන් සකසන එම සාවද්‍ය වාර්තාවලට වලංගු භාවයක්‌ ලැබෙනුයේ එය ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුමත වූ නිසි ලෙස ස්‌ථාපිත කරන ලද කාර්යාලයක්‌ විසින් කරන ලද "සාධාරණ" පරීක්‍ෂණයක ප්‍රතිඵලයක්‌ සේ දැක්‌වෙන බැවිනි. අදවන විට අපේ රට බලත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය අපරානුගත කර තිබේ. එම ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කරන්නේ රටවල් 193 න් 57 ක්‌ පමණි. (අපේ අසල්වැසි කිසිම රටක්‌ හෝ එංගලන්තය, ඇමෙරිකාව, ඔස්‌ටේ්‍රලියාව ආදී කිසිම රටක්‌ මෙය බලාත්මක කොට නැත) එම රටවල් 57 න් එක්‌ රටක කෙනෙක්‌ ඉහත සඳහන් ලෙස අතුරුදන් කාර්යාලය මගින් චූදිතයෙකු බවට පත් කරනු ලැබූ කෙනකුට තමාගේ රටේ නඩු පැවරුවොත් ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශ්වකරුවෙක්‌ වශයෙන් අපේ රට එම අදාළ චූදිතයා එම රටට පිටුවහල් කිරීමට බැඳී සිටී. අප රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැති වුවද අදාල රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට ඇත්නම් එම චූදිතයා ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යා හැක. අතුරුදන් වීමේ කාර්යාල පනත මගින් ත්‍රස්‌තවාදය පරාජය කළ යුධ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යැමට මං විවෘත කර දෙන්නේ එලෙසය. එය එසේ නොවේ නම් එසේ නොවන ආකාරය පිළිබඳව පැහැදිලි කරදෙනමෙන් " වගකිව යුතු පුරවැසියාට" මා අභියෝග කරමි.

ජනාධිපතිතුමා අප රටට විදෙස්‌ විනිසුරුවන් සහිත දෙමුහුන් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කියා ඇතැයි ගුණසේකර මහතා කියයි. එය අසත්‍යයකි. ජනපති ඒ බැව් ප්‍රකාශ කළේ රටතුළ පමණි. නමුත් ජනපති නියෝජනය කරන රටේ විදේශ ඇමැති හෝ ජිනීවාවල ලංකාවේ තානාපති හෝ මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ විනිසුරුවන් සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කළේ නැති බැව් අප දන්නේ අප එයට සහභාගී වී සිටිය බැවිනි. මානව හිමිකම් මහකොමසාරිස්‌වරයා සහ කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන සියල්ල ලංකාවට දෙමුහුන් අධිකරණයක්‌ තිබිය යුතු යෑයි ජිනීවා සමුළුවේ දැඩිව ප්‍රකාශ කරන විට ජනාධිපතිගේ රජයේ නියෝජිතයන් කසාය බිව් ගොළුවන් සේ නිහඬව සිටින විට ජනාධිපති රට තුළ එයට ඉඩ නොදෙන්නේ යෑයි කරන ප්‍රකාශයේ කිසිදු වැදගත්කමක්‌ තිබේද?

මා වසර 35 ක්‌ නාවික හමුදාවේද, වසර 4 ක්‌ සිවිල් ආරක්‍ෂක බළකායේ ප්‍රථම අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන්ද සේවය කර ඇත්තෙමි. යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව ඒ වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය ලැබූ සෙන්පතියන් 5 දෙනාගෙන් මාද එක්‌ අයෙකු වෙමි. ඒ බැව් ප්‍රකාශ කළේ පුරසාරමකට නොව යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සක්‍රීය සේවයේ යේදී සිටි කෙනකු ලෙස රටේ ජාතික ආරක්‍ෂාව, ඒකීය භාවය, රණවිරුවා පිළිබඳව අපේ හදවත තුළ ඇති සංවේදිතාවය කෙබඳු දැයි පෙන්වීමටය. මගේ වසර 39 සේවා කාලය තුළ අපේ සෙබළුන් නිලධාරීන් 29000 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූ අතර 14,000 ක්‌ ආබාධිත වී සිටිති. ඉතිරි හමුදා සාමාජිකයෝ දිවි පරදුවට තබා සටන් කොට දිවිරැක ගෙන ජීවත් වෙති. වර්තමාන පාලකයෝ මෙම ඊනියා ජිනීවා යෝජනාව තුළින් සහ අතුරුදන් කාර්යාල පනත් ආදිය තුළින් කරනුයේ එසේ ජීවත් වන රණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියට යෑවීමටය. එයට අප කිසිදා ඉඩ නොදෙමු. රණවිරුවෙක්‌ වරදක්‌ කර ඇත්නම් ඔහුට රටේ නීතියට අනුව ක්‍රියාකිරීම පිළිබඳව අපේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැත. නමුත් සාවද්‍ය අභූත චෝදනාමත අසාධාරණ ලෙස ඔවුන්ව චූදිතයන් බවට පත් කිරීමට ඉඩදීම නින්දිත ක්‍රියාවකි. ත්‍රස්‌තවාදය සමඟ සටන් වදින අනෙක්‌ සියලුම රටවල නායකයෝ පවසන්නේ තමන්ගේ සෙබළුන් කිසිම යුධ අධිකරණයක්‌ හමුවට ගෙන නොඑන බවයි. වර්තමාන පාලකයෝ බලයට පැමිණි විගස කළේ දරුණු ත්‍රස්‌තවාදීන් සිරෙන් නිදහස්‌ කොට රණවිරුවන් සිරගෙයි ලෑමය. අත්අඩංගුවෙන් පැන යන ත්‍රස්‌තයාට වෙඩි තබා ඝාතනය කළ රණවිරුවාට, ත්‍රස්‌තයාගේ පවුලට රුපියල් ලක්‍ෂ 20 ක වන්දියක්‌ ගෙවීමට අණ කිරීමය. ජාතික ආරක්‍ෂාව සෘජුව බලපාන හමුදා ඉඩම්වලින් ද්‍රවිඩ සංධානයේ බලකිරීම මත හමුදාව ඉවත් කිරීමය. මතුවට රටේ යුද්ධයක්‌ ඇති වුවහොත් එයට මුහුණ දිය නොහැකි වනසේ හමුදාව දුර්වල කරමින් ජාත්‍යන්තර ප්‍රජාවට මැදිහත් වීමට හැකිවන සේ ජාත්‍යන්තර සම්මුතීන්වලට අත්සන් තැබීමය. රටේ අනාගතය සහ අභිමානය අගාධයට ඇද දමන මෙවන් පාලකයන් පලවා හැරීමට ජනතාව සූදානම් විය යුතුය. සමාජයේ කෘතවේදී "වගකිවයුතු" පුරවැසියන්ගේ යුතුකම වනුයේ මාතෘභූමිය බේරා ගැනීමට එසේ ඉදිරිපත් වීම මිස පුද්ගලික වාසි වෙනුවෙන් රණවිරුවා සහ රට පාවාදෙන පාලකයන්ගේ දෙපතුල් ලෙව කෑම නොවේ.


රියර් අද්මිරාල් සරත් වීරසේකර
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.