ප්ලාස්‌ටික්‌ හෝ පොලිතීන්
කසළ ද්‍රව්‍යයක්‌ නෙමෙයි

එය නොදැනීමයි මේ අර්බුදයට මුල
මහාචාර්ය සුදන්ත ලියනගේ


අපේ රටේ වැඩිපුරම කුණු කඳු නිර්මාණය වී ඇත්තේ ඉවත දමන පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වර්ගවලින් නිසා එම ද්‍රව්‍යයන් භාවිතයෙන් ඉවත් කිරීමට ආණ්‌ඩුව සැරසේ. ආණ්‌ඩුවේ මෙම තීරණය පිළිබඳ අප කළ විමසුමකදී ප්ලාස්‌ටික්‌ සහ පොලිතීන් වැනි කසළ නොවන ද්‍රව්‍ය කසළ ලෙස පරිසරයට එක්‌ කිරීම නිසා මෙය අප විසින් කැඳවාගත් අර්බුදයක්‌ බව පවසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ පාරිසරික අර්බුදයක්‌ ඇති කර ගන්නේ නැතිව මෙම වටිනා අමුද්‍රව්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල් ප්‍රයෝජන ගන්නා අන්දම මේ සාකච්ඡාවෙන් ඔබට කියයි.

ප්ලාස්‌ටික්‌ වර්ග භාවිතයෙන් ඉවත් කිරීමට ආණ්‌ඩුව තීරණයක්‌ ගෙන ඇති බව පසුගියදා වාර්තා වුණා. ඩෙංගු රෝගය මර්දනය කිරීමේ සහ කුණු කඳු ඇතිවීම වැළැක්‌වීමේ එක්‌ පියවරක්‌ හැටියටයි ආණ්‌ඩුව මේ තීරණයට එළඹිලා තිබෙන්නෙ?

මේවන විට මේ පිළිබඳ ගැටලු රාශියක්‌ තිබෙනවා. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නය එකක්‌. පරිසරය තුළ ජලය එක්‌රැස්‌වී ඇති ස්‌ථාන වැඩි වන විට ඩෙංගු රෝගය පැතිරීම වේගවත්. ප්ලාස්‌ටික්‌ සහ රබර් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නෑ. එම නිසා මේ භාණ්‌ඩවල ජලය රැඳී දීර්ඝ කාලයක්‌ තිබෙනවා. ප්ලාස්‌ටික්‌, රබර් වැනි දේවල් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම නිසා පරිසරයේ ජලය රැඳී ඇති ස්‌ථාන වැඩි වෙලා තිබෙනවා.

අක්‍රමවත් ලෙස මේ ද්‍රව්‍ය පරිසරයට බැර කිරීම ක්‍රමවත් කරන්නේ නැතිව මේවා භාවිතයෙන් ඉවත් කිරීම යන පහසු තීරණයට අපි එළඹිලා ඉන්නවා. පොලිතීන් කියන්නෙත් ප්ලාස්‌ටික්‌වලම එක්‌ වර්ගයක්‌. මේවා භාවිතයෙන් ඉවත් කරනවාද නැති නම් වෙනත් ආකාරයකින් පවත්වාගෙන යනවාද යන්න තවම පැහැදිලි තීරණයක්‌ ගෙන නැහැ. මයික්‍රෝන 20 ට වඩා වැඩි පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ වර්ග දිගටම භාවිත කිරීම ගැන අදහසකුත් තිබෙනවා. පොලිතීන්වලත් අවස්‌ථා තුනක්‌ පමණක්‌ එනම් ෂොපින් බෑග්, ලන්ච් ෂීට්‌ සහ කෑම පෙට්‌ටි පමණක්‌ තහනම් කළ යුතු බවට අදහසකුත් තිබෙනවා. මේ තහනම ක්‍රියාත්මක වන ආකාරය තවම පැහැදිලි නෑ.

අක්‍රමවත් ලෙස මේ ද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම ක්‍රමවත් කළ යුතු බව ඔබ ප්‍රකාශ කළා. ක්‍රමවත්ව එය සිදුකරන්නෙ කොහොමද?

තෙල් පිරිපහදු කරන විට ලැබෙන එතිලීන් ප්‍රොපලීන් වැනි ද්‍රව්‍ය බහුඅවයවීකරණය කරලයි ප්ලාස්‌ටික්‌ වර්ග හදන්නෙ. මේවා මිලෙන් අඩුයි. ශක්‌තිමත්භාවයෙන් වැඩියි. ජලයත් සමග ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ. එම නිසා ප්ලාස්‌ටික්‌ වර්ග සමාජයේ ඉතාමත් විශාල පරාසයක භාවිත වෙනවා. අඩු මිලත්, වැඩි ශක්‌තියත්, ජලය සමග ප්‍රතික්‍රියා නොකිරීමත් යන හේතු නිසාම ප්ලාස්‌ටික්‌ වර්ග සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මිලදී ගැනීමේ පහසුව නිසාම මේවා වැඩිපුරම භාවිත කරන්නෙත් සමාජයේ අඩු ආදායම් ලබන අය.

ලෝකයේ සෑම රටක්‌ම පාහේ ප්ලාස්‌ටික්‌ වර්ග වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ එයින් පාරිසරික ගැටලු ඇතිවන බව නොදැන නෙමෙයි. එම පාරිසරික ගැටලු වළක්‌වා ගැනීමේ ක්‍රමවේදත් ඒ සමගම හඳුන්වා දී තිබෙනවා. එම ක්‍රමවේදයන් නියමාකාරයට පිළිපදිමින් ප්ලාස්‌ටික්‌ භාවිත කරන රටවල ප්ලාස්‌ටික්‌ නිසා පාරිසරික ගැටලු ඇතිවෙලා නෑ. පොලිතින් ආදිය භාවිත කරන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න ඕන. අපේ රටේ පොලිතින් භාවිතය එන්න එන්නම වැඩිවුණත් පාරිසරික අර්බුදයක්‌ ඇති නොවන ලෙස ඒවා භාවිත කරන අන්දම පිළිබඳ ජනතාවට දැනුමක්‌ ලැබුණෙ නෑ. පොලිතින් කසළ වර්ගයක්‌ නෙමෙයි.

පොලිතින් කසළ වර්ගයක්‌ නොවන නිසා එය පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. පොලිතින් හෝ වෙනත් කවර ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ හෝ රබර් ආශ්‍රිත නිෂ්පාදනයක්‌ අපි භාවිත කරනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත ලබාදිය යුතුයි.

පොලිතීන් ඇතුළු අපි භාවිත කරන බහුඅවයවීකරණ ද්‍රව්‍ය ප්‍රධාන කොටස්‌ හතකට බෙදල තිබෙනවා. එනම් මේ ඕනෑම නිෂ්පාදනයකට එකේ සිට හත දක්‌වා අංක ලබාදෙනවා. එහි අදහස එම ද්‍රව්‍ය එක්‌වරක්‌, දෙවරක්‌ හෝ තුන්වරක්‌ භාවිත කරන්න පුළුවන් කියන එක නෙමෙයි. එය එම ද්‍රව්‍ය වෙන්කර හඳුනා ගැනීම සඳහා යොදා ඇති කේතයක්‌. මේවා ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබාදීමට එකතු කරන විට අංක එක සඳහන් ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය එක ගොඩකටත්, අංක දෙක සඳහන් ප්ලාස්‌ටික්‌ වර්ග එක ගොඩකටත් වශයෙන් වෙන් කර එකතු කළ යුතු වෙනවා. එසේ කරන්නට බැරිනම් අඩුතරමින් මේවා පරිසරයට දමන්නෙ නැතිව අංක හතේම ප්ලාස්‌ටික්‌ වර්ග එක ගොඩකට එකතු කර ප්‍රතිචක්‍රීකරණයට ලබා දීමෙන් වුවත් මේ ගැටලුව විසඳාගන්න පුළුවන්.

නගර සභා සහ පළාත් පාලන ආයතන මගින් නිවාස වලින් මේවා එකතු කිරීමේදී එම එකතු කරන ද්‍රව්‍ය ප්‍රධාන අවස්‌ථා හතරකට බෙදා වෙන් කර තිබෙනවා. වීදුරු, කඩදාසි, ප්ලාස්‌ටික්‌ වර්ග සහ ඉඳුල් එම වර්ග හතරයි. ආයතනයකින් හෝ නිවසකින් අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කරනවා කියන්නේ මේ හතර වර්ගය එකිනෙකට මුසු නොකොට නගර සභා සහ පළාත් පාලන ආයතන විසින් ඒවා රැගෙන යන නියමිත දිනයට ඒ ඒ ද්‍රව්‍ය ලබාදීමයි. මේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක වන බොහෝ රටවල ප්ලාස්‌ටික්‌, වීදුරු සහ කඩදාසි රැගෙන යන්නේ මාසයේ පළමුවැනිදා සහ පහළොස්‌ වැනිදා පමණයි. වැඩිපුරම එකතුවෙන්නේ ඉඳුල්. ඒවා බැහැර කිරීමට සතියේ දින එකක්‌ හෝ දෙකක්‌ යොදා තිබෙනවා. මේ ඉඳුල් සතුන්ට ආහාර සඳහාත් කොම්පෝස්‌ට්‌ පොහොර නිෂ්පාදනයටත් භාවිත කරනවා. වීදුරු, ප්ලාස්‌ටික්‌ සහ කඩදාසි යන ද්‍රව්‍ය තුනම ප්‍රතිචක්‍රීකරණය කරනවා. එමනිසා ඒ රටවල අපද්‍රව්‍ය නිසා පාරිසරික ප්‍රශ්න මතු වෙන්නේ නෑ.

අපේ රටේ මේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?

අපේ රටේ ප්‍රධාන වශයෙන් වීදුරු කර්මාන්ත ශාලා තිබෙන්නෙ එකයි. අපේ රට නිවැරදිව මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙලා තිබෙනවා නම් මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයක්‌ මුදාහරින විට එයින් සියයට අනූවක්‌ නැවතත් එම කර්මාන්තශාලාවට ලැබිය යුතුයි. නමුත් අපේ රටේ එය තිබෙන්නෙ සියයට 50 - 60 අතර ප්‍රමාණයකයි. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම අපේ රටේ ඉතාමත්ම අඩු මට්‌ටමකයි තිබෙන්නේ. අපේ රට සාක්‌ෂරතාවය ඉතාමත් ඉහළ මට්‌ටමක තිබෙන රටක්‌. ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුවත් කළොත් මේ අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්. වීදුරු කියන්නෙ සියයට සියයක්‌ම පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යයක්‌. එය ලැබෙන්නෙත් අපේක්‌ෂිත ප්‍රමාණයට වඩා සියයට 30-40 ක්‌ අඩුවෙන් නම් අනෙක්‌ ද්‍රව්‍ය ගැන අමුතුවෙන් කිවයුතු නෑ.

මහජනතාව දැනුවත් කිරීම වගේම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය රටක්‌ තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙන්න නම් එය සිදුකරන කර්මාන්තශාලාවලට කිසියම් දිරිගැන්වීමක්‌ තිබෙන්න ඕන. ප්ලාස්‌ටික්‌ වර්ග ආකාර දෙකකට අපේ රටේ තිබෙනවා. සියයට සියයක්‌ පිරිසිදු ප්ලාස්‌ටික්‌ සහ ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්‌ටික්‌ ඒ වර්ග දෙකයි. අපේ රටේ ඇතැම් ආයතන සහ ඊටම සකස්‌ කරගත් අණපනත් නිසා වර්ජින් නැතහොත් පිරිසුදු ප්ලාස්‌ටික්‌ අඩු මුදලකට පිටරටින් ගෙන එනවා. අපේ රට තුළ මේ පිරිසුදු ප්ලාස්‌ටික්‌ හදන්න හැකියාවක්‌ නෑ. එයට හේතුව අපේ රටේ තෙල් පිරිපහදු ක්‍රමවේද තවමත් තිබෙන්නෙ ප්‍රාථමික මට්‌ටමේ. තෙල් පිරිපහදුවේ දී ඇතිවන බොහෝ අතුරුඵල කුලුණ තුළදීම ගිනිතබා විනාශ කර දමනවා. ඉතාමත් පැරණි ක්‍රමවේද භාවිතා කරන ප්‍රාථමික අවදියේ තිබෙන අපේ රටේ රසායනික කර්මාන්ත නවීන තාක්‌ෂණය තුළින් වැඩි දියුණු කරන්නට කිසිම ආණ්‌ඩුවක්‌ කටයුතු කළේ නෑ.

මැලේසියාව වැනි රටවලින් පිරිසිදු ප්ලාස්‌ටික්‌ අඩුමුදලට ගෙන ඒම නිසා භාවිත කරන ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය කරන්නෙ නැතිව කසළ විදිහට ගොඩගහනවා. එමනිසා මුලින්ම කළ යුත්තේ අඩු මුදලට පිරිසිදු ප්ලාස්‌ටික්‌ පිටරටින් ගෙන්වීම නතර කරන්න ඕන. ඒ සමගම අපේ රටේ 40-50 පමණ ඇති ප්‍රතිචක්‍රීකරණ ආයතන දිරිගන්වන වැඩපිළිවෙළක්‌ ඇති කරන්නට ඕන. ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුව මැදිහත් වී හෝ ඇතිකරන්නට ඕන. අපද්‍රව්‍ය වර්ග කර ලබාදෙන ලෙස ජනතාව දැනුවත් කළාටම මදි. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ආයතනවලටත් දිරිගැන්වීම් ලබාදෙන්නට ඕන. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදුකරන ආයතනවල නිෂ්පාදනවලට වෙළඳපළක්‌ ඇතිකරල එම ආයතන දිරිගැන්වීමත් ආණ්‌ඩුවේ වගකීමක්‌.

මේ භාණ්‌ඩ කිහිප අවස්‌ථාවක්‌ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කරන්න පුළුවන්ද?

ඇතැම් වර්ග කිහිප වතාවකට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන්න අමාරුයි. නමුත් ඒවා වෙනත් නිෂ්පාදන සඳහා යොමු කරන්න පුළුවන්. තාරවලට මිශ්‍ර කිරීම වගේම විශ්වවිද්‍යාලයෙන් අප කළ පර්යේෂණයකට අනුව ඇවිදින මංතීරුවලට යෙදිය හැකි ගල් වර්ගයක්‌ මේවායින් නිෂ්පාදනය කරන්න පුළුවන්. බොහෝ ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කළ නොහැකි තැනට පත්වන්නේ දීර්ඝ කාලයක්‌ භාවිත කිරීමෙන් පසුවයි.

ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ක්‍රමවේද තුනක්‌ ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. එනම් මේවා ප්‍රතිචක්‍රීකරණය කර යළි යළිත් භාවිත කිරීම (රීයූස්‌), පරිහරණය හැකි තරම් අඩුකිරීම (රිඩියුස්‌) සහ මේ සියලු ද්‍රව්‍ය කසළ නොවන නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීම (රීසයික්‌ලින්). රීයූස්‌ - රිඩියුස්‌ සහ රීසයික්‌ලීන් යන මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ත්‍රීආර් සංකල්පය නමින්. මෑතකදී මේ ත්‍රීආර් සංකල්පයට රිෆියුස්‌ - එනම් පරිහරණය ප්‍රතික්‌ෂේප කරන්න - නමින් තවත් එකක්‌ එකතු වුණා. නමුත් පොලිතින්වල ප්‍රයෝජනයත් එහි ඇති වටිනාකමත් දන්නා ලෝකයේ උසස්‌ තාක්‌ෂණයකින් යුත් රසායනික කර්මාන්ත තිබෙන රටවල් රිෆියුස්‌ සංකල්පය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපේ රට රීයූස්‌, රිඩියුස්‌ සහ රීසයික්‌ලීන් සංකල්ප තුනම අතෑරල පොලිතීන් රිෆියුස්‌ කරන්න හදනවා. ඒ අපේ දැනුමේ තරම.


සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූපය - කමල් බෝගොඩ

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.