උම්බෑ ජාතකය
කෙටි පයිංඩ පැනය


ඉක්‌බිති රිවි කරුණයා මහත් වූ වීරියෙන් කොමිසමට මුහුණ දෙනා යෑ. තුමූ වන් බලවත්, ජෙෂ්ඨ ඇමැට්‌ටකුගෙන් පැන විමසුමටැ තරම් නිදහසක්‌ පවත්නා නොවේ දැයි කොමිසමුන්ගෙන් පෙරළා පැන නඟනා යෑ. මා එකරුණ දැන ගතයුත්තේ ඇයි දැයි නොබියවැ අසනා යෑ. එසේ කොමිසමුන් නිරුත්තර කොටැ උහු සිංහ සෙයියාවෙන් පෙරළා පැමිණෙනා යෑ. එළියටැ පැමිණ, මාංශ වැදැල්ලක්‌ බුදිනට ලොල්වැ කට හයා සිටින්නා වූ සුනඛ රැළක්‌ සේ පිටතැ සිටි මැදි වැද්දන් රැළ මැදට කෙසරෙකු සේ වදිනා උහු, උන්ටැ නිබය වැ ෙµaස්‌ කොටැ උන් හොම්බෙන් යවනා යෑ. උන්ගේ අසීරු පැන වලටැ සුපුරුදු ලෙසැ තුමූ අපරබංස බසෙන් පිළිතුරු දෙනා යෑ. ඇසුවේ කිමෙක්‌දැ, කීවේ කිමෙක්‌ දැයි ලිහාගත නොහී මැදි වැද්දන් කරකවා අත හැරියා සේ සිටිනා කල්හි මේ නම් සතුරන්ගේ නොව තුමූ මිතුරන්ගේමැ කුමුතුරුණක්‌ බැව් හෙළි කරනා යෑ. තුමූ රටටැ කරනා සේවය නුරුස්‌නා වූ මිතුරන්ගේමැ වැඩක්‌ බැව් කියනා යෑ. නුදුරු දිනයේ මැ සත්‍ය හෙළි කරන බැව් ද කියනා යෑ.

එසේ කොටැ පෙරළා පැමිණ මොනාක නිවස්‌නයටමැ වැද සී කවුළුවෙන් සාගරය දෙස බලා ගෙනැ මෙවන් වූ කල්පනාවකටැ වැටෙන්නේ යෑ. ඉදින් කළ යුත්තේ බලා සිටීම යෑ. එක පතේ කෑ මිතුරන් කවුදැයි, කුමුතුරුණු මිතුරන් කවුදැයි එවිටැ බලා ගත හැකි වන්නේ යෑ. එසේ සිටිනා කල්හි කබර හසිමයා වහා කියන්නේ, අප සගයා අපමැ රැක ගත යුත්තේ යෑ. උහු වැරැදිකරුවකු සේ ඔප්පු වන තුරු උහු

නිවැරැදිකරුවෙක්‌මැ වන්නේ යෑ. තවද ඒකාබද්දයනටැ කරනා වූ නීතිය අපටැ වලංගු නොවන්නේ යෑ. සෙනරත් දන්තයා ද එකල්හි ඇසි පිය වනමින් කියන්නේ, රජපසයා කළා වූ සොරකම් හා බලන කළැ මේ නම් බිකක්‌ මැ වන්නේ යෑ. සකළ බැන්දුම්කරය මැ බික්‌ දෙකක්‌ මැ වන්නේ යෑ. එබැවින් බික හා බික්‌ දෙක පසෙකැ ලා රට සංවර්ධනය කළැ යුත්තේ යෑ. වෙල් විදානතුමාණන් මැදි වැද්දන්ටැ කඩා පැනැ කියන්නේ, රිවියා වනාහී සිඟන්නෙකු යයි තොප සිතන්නේ දැ? උහුටැ කෝලම්භ පුර නිවස්‌නයක්‌ මතු නොව මුළු කෝලම්භ පුරයමැ මිලට ගැනුම කඡ්ජක්‌මැ වන්නේ යෑ. උහු ඒ සා කහවනුපතියකු වන්නේ යෑ. උහු ඒ සා වූයේ කෙසේදැයි දැන ගැනුම තොපට ඇවැසි නොවන්නේ යෑ.

එකල්හි රිවියා ද, මුන් නම් මා කළණ සකියන්ම යෑ. මා මින් ගැලවී ගත් කල්හි මුනට කෙසේ කෙළෙහි ගුණ සැළකුවදැ තරම් නොවන්නේ යෑයි සිතමින් සිටින්නේ අසළැ දැවටෙමින් සිටින්නා වූ ඇඹේණිය දැක නැවැතැ පුෂ්පෝප්‍රාප්ත වන්නේ, 'එම්බල තී කැස කවන්නේ නැවැතැ මා අනුභව කිරීමටදැ? වහා ඉවත යව'යි ගුගුරනා යෑ. එබස්‌ ඇසූ ඇඹේණිය කියන්නේ, 'කෝප නොගනුව මැනැවැ ස්‌වාමිනී. අප මේ සියල්ල කරනුයේ තොප වෙනුයෙන් නොවේදැ. බලව,තොප නිබඳවැ පෙළනා වූ තෙල අමන බුකී වැසියන්ටැ අප දුවණිය දුන් පෝස්‌ටයෙන් උන් තක්‌කු හා මුක්‌කු වී ගියාහු යෑ. උන් තොප හසු කැරැ ගනු ලැබූයේ තෙල ඇලසියාගේ අත් බනු කෙටි පයිංඩ අකුරු දෙකක්‌ නිසා නොවේදැ? මා ඊටදැ කදිම වූ විසඳුමක්‌ සොයා ගන්නා ලද්දේවෙම් යෑ. අසව, තොප නැවැතැ කොමිසමටැ කැඳවූ කල්හි මෙසේ පිළිතුරු බඳව. එකී කෙටි පයිංඩ ඇලසියා විසින් යවනු ලැබ ඇත්තේ දිවා අහර ඇණැවුම් පිණිස යෑ. ආ_.කේ. වනාහී රතු කැකුළු යෑ. පී. ඇම්. වනාහී පොල් මැල්ලුම් යෑ. එබස්‌ අසනා තෙල කොමිසමුන්ටැ කට උත්තර නොමැතිවැ යනු ඇත්තේයෑ'යි මොනාක නිවස්‌න පැනය එසේ විසඳන ලද්දේ යෑ.



Ö නිමල් ෆ්‍රැන්සිස්‌
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.