ගොවි පුතා රජවුණත් ගොවිවරු මහපාරේ

ගොවි පුතකු මේ රටේ නායකයා වීමත් සමග ගොවි ජනතාවට හොඳ කලක්‌ උදාවනු ඇතැයි මේ රටේ ජනතාව මෙන්ම වැඩකරන ගොවි ජනතාව ද සිතූහ. ගොවි පුතා රජ වී දැන් වසර දෙක හමාරකි. ගොවියන්ට කුමක්‌ වීදැයි මඳක්‌ විමසා බලමු.

වීවලට සහතික මිලක්‌ නොමැති වීමෙන් වී ගොවියා මහ පාරේය. ගම්මිරිස්‌ පිටරටින් ගෙන්වීම හේතුවෙන් ගම්මිරිස්‌ ගොවියාත් මහ පාරේය. බුලත්වලට බද්දක්‌ අයකිරීම සහ බුලත් මිල පහත වැටීම හේතුවෙන් බුලත් ගොවියාත් මහ පාරේය. කුකුළු පාලනයට ද විවිධ බදු පැනවීම්, බිත්තර මිල පහත වැටීම් සහ කුකුළු කෑම මිල ඉහළ යැමෙන් කුකුළු ගොවියා ද මහ පාරේය. උඩරට පහත රට එළවළු ගොවීන්ටද සිදුව ඇත්තේ මේ ටිකමය. ගොවි පුතකු රජ වූවත් අපේ රටේ සමස්‌ත ගොවි පරපුරම මහ පාරට වැටීම අතිශය කනගාටුදායක ෙ€දවාචකයකි.

දැඩි නියඟයෙන් මේවන විට කන්න හතරක්‌ වී ගොවිතැන මුලුමනින්ම විනාශ වී ඇත. වෙළක වී ඇටයක්‌ නැත. ගසක පොල් ගෙඩියක්‌ නැත. ළිඳක වතුර පොදක්‌ නැති තැනට රට පත්ව ඇත. මේ දේව ශාපයක්‌ද?

පසුගියදා කුලියාපිටිය නගරයට රැස්‌වූ ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල වැනි ප්‍රදේශවල බුලත් ගොවීහු හඬනඟා ආණ්‌ඩුවේ බලධාරීන්ට කීවේ පොහොර සහනාධාරය යළි ලබාදෙන ලෙසත්, බුලත්වලට සාධාරණ මිලක්‌ ලබාදෙන ලෙසත්, බුලත් අපනයනයේදී පනවා ඇති අධික බදු ඉවත් කරන ලෙසත්ය. හෙට්‌ටිපොල නගරයට රැස්‌වූ බිත්තර නිෂ්පාදකයන් බිත්තර මහ පාරේ ගසමින් යහ පාලන ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේ තම වෘත්තීය අයිතිවාසිකම් රැකදෙන ලෙසටය. බදුල්ල හා ඇඹිලිපිටිය නගරවලට රැස්‌වූ ගම්මිරිස්‌ ගොවීහු එක හ`ඩින් කියා සිටියේ පිටරටින් ගම්මිරිස්‌ ගෙනඒම නවත්වා දේශීය ගම්මිරිස්‌ කිලෝවක්‌ සඳහා සාධාරණ මිලක්‌ ලබාදෙන ලෙසයි. තැන තැන ගොවීන් මෙලෙස උද්ඝෝෂණය කරන්නේ ජොලියට නොවන බව තවමත් ගොවි පුතාගේ ආණ්‌ඩුව තේරුම් ගෙන නැත. නියඟයෙන් බැට කෑ ගොවීන්ට ලැබෙන්නේද සොච්චම් වන්දියකි. මුළු රට පුරාම ඇසෙන්නේ ගොවීන්ගේ දුක්‌ අඳෝනාවන්ය.

ගොවියාගේ වී ටික පෞද්ගලික වෙළෙන්දන් කුණු කොල්ලයට ඩැහැගෙන යනවිට වී අලෙවි මණ්‌ඩලය මර නින්දේය. පොළොන්නරුවේ සහල් මාµsයාවක්‌ ක්‍රියාත්මක වන බව ගොවි පුතා හැර මුළු රටම දනී. රටට බත සපයන ගොවීන් මෝඩයාට අන්දන ආණ්‌ඩුව මසකට ලක්‌ෂ ගණනක්‌ කුලී ගෙවා කෘෂිකර්ම අමාත්‍යාංශයට බත්තරමුල්ලෙන් ගොඩනැගිල්ලක්‌ ලබා දී ඇත. ඒ ගොඩනැඟිල්ල ගැන ඇති කෝටි ගණනක මූල්‍ය වංචාව ගැන සියල්ලෝම නිහඬය. ගොවි ජීවිතත් සමඟ ආණ්‌ඩුව කරන මේ ඇටබෝල ගැහිල්ලෙන් ගොවියාට උදැල්ල පමණක්‌ නොව අමුඩයද අහිමි වන බව ආණ්‌ඩුව කල්පනා කළ යුතුය.

කේ. එම්. සී. කන්දෙගෙදර, කුරුණෑගල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.